${article.image}
Published by Yashodha Jayalath / Views :

ගැටලුවකින් තොරව බිළිදා හට මව්කිරි ලබා දෙමු.

අලුත උපන් බිළිදාගේ පළමු මාස 4- 6 කාලය තුල අවශ්‍යවන පරිපූර්ණ පෝෂණය මව්කිරි වලින් ලබාගත හැකිය. දරුවකු බිහි කරන ලද කාන්තාවක තුල ස්වභාවිකව කිරි නිපදවන නිසා බිළිදාට අවශ්‍ය වන ඕනෑම මොහොතක නියමිත උෂ්ණත්වයෙන් පහසුවෙන්ම මව්කිරි ලබා දිය හැකිය. එසේම, මවගේ ගර්භාෂය ගර්භනී වීමට පෙර පවතී ප්‍රමාණයට නැවත සංකෝචනය කිරීමට ද මව්කිරි උපකාරී වේ. මවට පියයුරු පිළිකා වැළදීමේ අවධානම ද අඩු කිරීමට මව්කිරි වලට හැකිය. මීට අමතරව, මව්කිරි ලබා දීම ආර්ථිකව ද විශාල සහනයක් වේ. මව්කිරෙන් පෝෂණය වන දරුවන් මන්දපෝෂණයට සහ අනෙකුත් ලෙඩ රෝග වලට ලක්වන්නේ අඩුවෙනි. 

බොහෝ  අලුත් මව්වරුන්ට ඇති ප්‍රධාන ගැටළුවක් වන්නේ බිලිදාට අවශ්‍ය පමණින් මව්කිරි නිපදවීමට තමන්ට හැකිවේද යන්නත් තමන් ඒ සම්බන්ධයෙන් සාර්ථක වේද යන්නත් ය. මෙහිදී ඔබට සතුටු වීමට ඇති කාරනාව වන්නේ, මව්කිරි ලබා දීම යනු ඉගෙනගතහැකි හැකියාවක් (learned skill ) වීමයි. මේ සදහා ඔබට දැනුම ලබා ගත හැකි සහ උපකාර ලබාගත හැකි මූලාශ්‍ර බොහොමයක් තිබෙනවා. වෛද්‍යවරු, හෙදියන්, පවුල් සෞඛ්‍ය  සේවා නිලධාරිනියන්, කිරිදීම සම්බන්ධව උපදෙස් ලබාදීමට පුහුණුවලත්  උපදේශකයින්, සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන් මෙන්ම මේ පිලිබදව ලියවුනු පොත් පත්, සගරා, වීඩියෝ, වෙබ් අඩවි හා උපකාරක කණ්ඩායම් බොහොමයක් පවතිනවා. 

මෙම ලිපියෙන් සාකච්චා වන්නේ මව්කිරි ලබාදීම සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කල යුතු කාරනා කිහිපයක් සම්බන්ධව හා ඔබගේ ආත්ම විශ්වාසය වැඩි කර ගෙන සාර්ථකව මව්කිරි ලබා දීමේ හැකියාව වර්ධනය කර ගන්නා ආකාරය ගැනයි. 

මව්කිරි දීම ගැන කතා කරන විට අවධානය ලබා දිය යුතු  පළමු කාරණය නම්, මව හොඳ විවේකයක් ලබා ගැනීමයි. දරුවා බිහිකරිමෙන් පසු පළමු සති කිහිපය ඔබට ඉතා වෙහෙසකාරී කාලයකි. මෙම කාලය තුල මව ලබන විවේකය ඉතා වැදගත්ය. අනෙකුත් කටයුතු කෙරෙහි අනවශ්‍ය ලෙස සිතන්නට නොයා මේ දිනවල දරුවාට කිරි දීමත් විවේකය ලබා ගැනීමටත් කටයුතු කල යුතුය. බිලිදා නිදනවිට මවත් නින්දක් ලබා ගැනීම සුදුසුය. දිනපතාම කෙටි නින්දක් ලබා ගන්න. 

සාමාන්‍යයෙන් අලුත් උපන් දරුවෙකුට  දිවා රාත්‍රී දෙකෙහිම පැය 2-3කට වරක් හෝ  කිරි අවශ්‍ය වන සෑම  වෙලාවකදීම (on  demand ) කිරි දීම අවශ්‍යයි.  මේ නිසා මව වෙහෙසට පත්වනවා. එම ආතතිය හේතුවෙන් මව්කිරි නිපදවීම අඩුවීමට පුළුවනි. මව සැහැල්ලුවෙන් තැබීමට ස්වාමිපුරුෂයා සහ පවුලේ අනෙකුත් සාමාජිකයින් වගබලා ගත යුතු වන්නේ මේ නිසයි. 

අලුත උපන් බිලිදා සහ මව එකම කාමරයක සිටිය යුතුය. මව්කිරි ලබාදීමට වෙනම ස්ථානයක් සකසා ගැනීම වැඩ සුදුසුය. සැපපහසු පුටුවක් මේ සදහා යොදාගැනීම යෝග්‍ය වනවා. එහා මෙහා යාම අඩු කිරීමට මවට පහසුවෙන් ලගාවිය හැකි ලෙස බිලිදාගේ ඩයපර්ස් , වෙට් වයිප්ස්, නැපිස්  ආදිය තබා ගත යුතුය. එසේම මව්කිරි ලබා දීමේදී  නිතරම පිපාසය දැනෙන නිසා වතුර බෝතලයක්, පලතුරු යුෂ ආදිය ලබාගැනීමට පහසුලෙස තබා ගන්න. මීට අමතරව කෙටි ආහාර ආදිය ද තමා අසන්නයේ තබා ගැනීමෙන් මවට වෙහෙස වීම අඩු කර ගැනීමට පුළුවනි. මව්කිරි දෙන අතරතුර සිත සන්සුන් වන සංගීතයකට සවන් දීම සුදුසුය.  පවුලේ වෙනත් කුඩා දරුවන් සිටිනම් ඔවුන්ව බලාගැනීමට යම් අයෙකු තබා ගැනීම ඔබට පහසු වේවි. 

මව්කිරි දීමේදී පහසුවෙන් සිටීමට අවශ්‍ය දේවල් පෙර සිටීම සුදානම් කර තබා ගන්න. ෆීඩින් පිලෝ, පිටට හේත්තු වීමට කොට්ටයක්,  කකුල් දෙක ඔසවා තබාගැනීමට අවශ්‍ය නම් කුඩා බැංකුවක් ආදිය තබා ගන්න. 

මව්කිරි වල සංයුතිය පහත පරිදි වේ.

මේදය 3% -5% 

ප්‍රෝටීන් 0.8% - 0.9% 

ලැක්ටෝස් 6.9% - 7.2%

ඛනිජ ලවණ 0.2% 

ජලය 87%

මීට අමතරව ප්‍රතිදේහ, ජෛව ක්‍රියාකාරී සංයෝග, වර්ධනයට අවශ්‍ය සාධක අඩංගු වේ. 

මව්කිරි වල ප්‍රධාන අවධි 03ක් ඇත. 

උපතෙන් පසු පළමු දින කිහිපය තුල එරෙන කිරි කොලේස්ට්‍රම් වේ. කොලේස්ට්‍රම්හි ප්‍රෝටීන වැඩිපුර අඩංගු වේ. එසේම මේදයේ දියවන විටමින් හා ඛනිජ ලවණ  ද අඩංගු වේ. ප්‍රතිදේහ වැඩි වශයෙන්  අඩංගු වන නිසා ළදරුවාගේ ප්‍රතිශක්තිය සදහා මෙම කිරි ඉතා වැදගත් වේ. මෙසේ ලබන ප්‍රතිශක්තිය තුලින් බිලිදාව බොහෝ බැක්ටීරියා හා වෛරස ආසාදන වලින් ආරක්ෂා වේ. 

ඉන් පසුව සති දෙකක් පමණ එරෙන කිරි සංක්‍රාන්ති කිරි (transitional milk) ලෙස හැදින්විය හැකිය. එහි ලැක්ටෝස් සිනි හා ජලයේ දියවන විටමින් අඩංගු වේ. කොලේස්ට්‍රම් වලට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් මෙම කිරි වල අඩංගු වේ. 

කිරි වල අවසාන අවධිය වන්නේ මේරු කිරි (mature milk) ය. එහි 80% ක් ජලය අඩංගු වේ. එමගින් ළදරුවා විජලනයෙන් ආරක්ෂා වේ. කබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛනිජ ලවණ අඩංගු වේ. මේවා ළදරුවාට ශක්තිය ලබාදීමට මෙන්ම වර්ධනය සදහා ද  අවශ්‍ය වේ. 

මේරු කිරි ආකාර දෙකකි. 

පෙර කිරි : කිරි වේලක් ලබාදීම ආරම්භයේදී එරෙන කිරි පෙර කිරි ලෙස හදුන්වයි. එහි ජලය, ප්‍රෝටීන හා විටමින් අන්තර්ගත වේ. 

පසු කිරි : කිරි වෙලේ පළමු හරිය අවසන් වනවිට එරෙන මේදය වැඩි කිරි පසු කිරි වේ. බිලිදාගේ බර වැඩි වීමට බලපාන්නේ මෙම පසු කිරිය. 

ළදරුවාගේ අවශ්‍යතාවය අනුව මව්කිරිවල පරිමාව හා   සංයුතිය වෙනස් වේ. ළදරුවාගේ වයස, මව්කිරි දෙන වෙල් ගණන, වෙලාව අනුව මෙම වෙනස්වීම් සිදුවේ. 

ශ්‍රී ලංකාව මව්කිරි ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියෙන්ම සිටින රටකි. නමුත්, වර්තමානයේ බොහෝ මව්වරුන්ට කිරි එරිමේ විවිධ ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවී ඇති බවත් ෆෝමියුලා දීමට සිදුවීමත් දක්නට ලැබෙනවා. 

බිලිදාට ප්‍රමාණවත් තරමින් මව්කිරි එරීමට කල යුතු හා නොකළ යුතු දේ පිලිබදව දැන් සාකච්චා කරමු. 

දරුවාට මව්කිරි ලබාදීමට තමාට හැකි බවට මව තුල විශ්වාසයක් තිබිය යුතුවේ. දරු උපත සිදුවී පැයක් ගත වීමට පෙර මව්කිරි ආරම්භ කල යුතුය.එසේම, බිලිදා කිරි උරණ ඉරියව්ව ඉතා වැදගත් වේ. දරුවාට කිරි දීමේදී ප්‍රධාන ඉරියව් 4ක් ඇත. 

  1. තොටිලි ක්‍රමය නොහොත් cradle ක්‍රමය : මෙහිදී බිළිදා  කිරි උරා බොන පියයුර පවතින පසේ අත මත දරුවා තබාගෙන,  කිරි දීම සිදුකරන අතර අනෙක් අත නිදහස්ව පවතී. එය මවට පහසුවකි. කිරි දීමේ ජනප්‍රියම  ක්‍රමය මෙයයි. 
  2. හරස්  තොටිලි ක්‍රමය නොහොත් cross cradle ක්‍රමය: මෙහිදී කිරි උරා බොන පියයුර පවතින පස නොව අනෙක් පස අත මත දරුවා තබා ගෙන, දරුවාගේ හිස එම අතේ අත්ල මත තබාගෙන අලාගෙන, අනෙක් අතින් පියයුර අල්ලා ගෙන කිරි දීමේ ක්‍රමයයි. මෙම ක්‍රමය කිරි උරා බීම සදහා  තන පුඩුවට සම්බන්ධ වීමට අපහසු බිලිදුන් හට වඩා සුදුසු වේ. 
  3. පාපන්දු  ක්‍රමය : ඔබ සිසේරියන් සැත්කමෙන්  සුවය ලබන්නේ නම් හෝ විශාල පියයුරු තිබේ නම් මෙම ඉරියව්ව හොඳ තේරීමක් විය හැකිය. කිරි උරා බොන පියයුර පවතින පෙදෙසේ පැත්තකින් බිළිදා  තබාගෙන, ඔබේ අත බිළිදාගේ පිටුපසටත් ඔබේ ඇඟිලි මගින් බිළිදාගේ බෙල්ලට මෘදු ලෙස, අල්ලා ගන්න.  ඔබගේ  අනෙක් අතින් පියයුර අල්ලා ගත හැකිය. එසේම, දරුවාගේ ශරීරයට ආධාරයක් වීම පිණිස  කොට්ටයක් භාවිතා කල හැකිය. නිවුන් දරුවන්ට කිරිදීමට සුදුසු ඉරියව්ව වන්නේද මෙම ක්‍රමයයි.
  4. පැත්තට වැතිර ගෙන කිරි දීමේ ක්‍රමය: මවට විවේකයක් ලබා ගෙන කිරිදීමට ඇති හොඳම ක්‍රමය මෙම ක්‍රමය වේ. මව ඇද මත පැත්තකට වැතිර ගෙන බිළිදා  මවට  සමීප වන පරිදි, බඩට බඩට සිටින සේ මවගේ  පැත්තට හරවා තබා  ගෙන බිලිදාගේ මුව පියයුරුවට මදක් පහලින් තිබෙන අයුරින් තබා ගෙන කිරි දීම මෙහිදී සිදුකරයි. මවගේ නිදහස් අතින් දරුවාගේ පිටට ආධාරයක් සපයන අතර කොට්ටයක්  යොදාගෙන මවගේ බෙල්ලට සහ පිටට  ආධාරයක් සපයා ගත හැකිය. 

 

මෙම ක්‍රම සතරෙන් තමුන්ට පහසුම ක්‍රමය තෝරාගන්න. 

කිරි උරනවිටදී නිවැරදි ඉරියව්වක නොපිහිටීම නිසා ප්‍රමාණවත් තරම් කිරි නොනිපදවීම, තන පුඩුව පැලීම හෝ තුවාල වීම, කිරි උරාබීම දරුවා ප්‍රතික්ෂේප කිරීම ඇතිවිය හැකිය. 

දරුවා හොදින් කිරිඋරා බොන ලක්ෂණ වන්නේ, 

  • ළදරුවාගේ මුළු සිරුරම මව දෙසට හැරී තිබීම
  • ළදරුවා දීර්ඝ සහ ගැඹුරු ලෙස ක්‍රි ඉරීම 
  • මවට තන පුඩුවේ වේදනාවක් නොදැනීම 
  • දරුවා සැහැල්ලුවෙන් හා සතුටෙන් පසුවීම 

නිවැරදි ඉරියව්වක සිට මවගේ තන පුඩුවෙන් දිවා රාත්‍රී දෙකෙහිම බිලිඳා කිරි උරාබොන විට සෑම මවකටම පාහේ ප්‍රමාණවත් තරම් මව්කිරි නිපදවීමට පුළුවනි. දරුවෙකුගේ හැඩීම මගින් දරුවා බඩගින්නේ සිටින බව පමණක් නොහැගවේ. මවගේ උණුසුම, සිප වැලද ගැනීම, ස්පර්ශය ආදිය අවශ්‍ය වූ විට දී මෙන්ම තම ආශ්වාදය පිණිස නිකම් තන පුඩුව ඉරීමට අවශ්‍ය වූ විටද දරුවෝ හඩති.  මේ නිසා දරුවා හැඩීම  හේතුවෙන් මවක් තමන්ට ප්‍රමාණවත් තරම් කිරි නිපදවිය නොහැකි බවට ආතතියට පත්විය යුතු නැත.

මීට අමතරව, මව ලබා ගන්නා ආහාර වල පෝෂණය, වෙලාවට ආහාර ගැනීම, ප්‍රමාණවත් තරමින් දියර වර්ග පානය කිරීම සහ මවට ලැබෙන විවේකය, දරුවාට ප්‍රමාණවත් තරමින් කිරි එරීම සදහා දායක වේ. 

දරුවාට තන පුඩුවෙන් කිරි උරා බීම කල නොහැකි නම් කිරි දොවා ගෙන දරුවාට ලබා දිය යුතුය. ෆෝමියුලා කිරි අලුත උපන් බිළිදුන්හට ලබා දීමේදී කිරි බෝතලයෙන් දෙනවා වෙනුවට හැන්දකින් හෝ කෝප්පයකින් ලබා දීමට උපදෙස් දෙන්නේ බිළිදා මවගෙන් කිරි උරා බීම නවතා දැමිය හැකි බැවිනි. එයට  හේතුව වන්නේ, මවගෙන් කිරි උරා බොන ආකාරය සහ කිරි බෝතලයෙන් කිරි උරා බොන ආකාරය වෙනස් නිසා දරුවා ව්‍යාකූල වීමයි. බෝතලයෙන් කිරි උරා බීම පහසු නිසා දරුවා තෝරා ගන්නේ බෝතලයයි. ෆෝමියුලා  කිරි දෙන අතර මව්කිරි ලබා දීමට සෑම විටම මව උත්සාහ ගත යුතු වේ. 

මව්කිරි එරීම වැඩිකරන ආහාර වර්ග ලෙස, කඩල, උළුහාල්, කරවිල, පොලොස්, තල ඇට, බාර්ලි, ආමන්ඩ් ඇට, කජු, දෙළුම්, ඕට්ස්, සුදුලූණු, සූදුරු, බතල, ටෝෆු, පලා වර්ග, පරිප්පු, කිරි, රතු බත්, පැපොල්, බීට්රූට් සහ ඉඟුරු හදුන්වාදිය හැකිය. 

මව්කිරි දෙන මවක විසින් මධ්‍යසාර භාවිතයෙන් සහ පෙපර්මින්ට් හා මෙන්තෝල්  භාවිතයෙන් වැළකිය යුතුය. 

කිරි එරීම වැඩිකර ගැනීමට දෛනික ජීවන රටාවේ සිදුකල හැකි වෙනස්කම් ද ඇත. 

පියයුරු සම්භාහනය කිරීම : මේ සදහා ඔබගේ ඇගිලි තුඩු භාවිතා කරන්න. පියයුරේ ඉහල සිට පහළටත් පසුව තන පුඩුව උඩින් ගොස් එතැන් සිට පියයුරේ පහළටත් සෙමින් සහ මෘදුව සම්බාහනය කරන්න.   

යෝග ව්‍යායාම: යෝග ව්‍යායාම අතරින් බුජන්ගාසනය (cobra pose), රෝද එරියව්ව (wheel pose), සහ සූර්ය නමස්කාරය මේ සදහා යෝග්‍ය වනවා. 

භාවනා කිරීම: මෛත්‍රී භාවනාව සහ හුස්ම ගැනීම කෙරෙහි අවධානය යොමුකිරිම මගින් ඉහිල්වීම මානසික ආතතිය දුරු කිරීමට සුදුසු වේ. 

මෙම ක්‍රම වලට අමතරව කිරි නිපදවීම උත්තේජනය කිරීම සදහා ආයුර්වේදයේ විවිධ ප්‍රතිකර්ම මෙන්ම  බටහිර වෛද්‍ය විද්‍යාවේ විවිධ  ඖෂධ භාවිතා වනවා. මේවා ඒ පිලිබදව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත ලබා ගත යුතුය.