${article.image}
Published by Yashodha Jayalath / Views :

සරම්ප - එය හුදෙක්ම සමේ ඇතිවන කුෂ්ටයක් නොවේ.

සරම්ප යනු වෛරසයක් මගින් පහසුවෙන් බෝවන රෝගයකි. අසාදිත පුද්ගලයෙකු කහිනවිට දී, කිවිසුම් ඇරිමේ දී මෙන්ම හුස්ම ගැනීම නිසා වාතාශ්‍රයට සරම්ප වෛරසය එකතුවන අතර පැය 2ක් පමණ වාතයේ රැදී පැවතීමේ හැකියාව ඇති නිසා තවත් අයට පහසුවෙන් බෝවේ. ඕනෑම අයෙකුට සරම්ප වැළදීමේ හැකියාව ඇති නමුත් කුඩා ළමුන්ට සරම්ප වැළදීමේ වැඩි අවධානමක් ඇත. 

සරම්ප රෝගයේ දී ස්වසන පද්ධතිය පළමුව ආසාදනය වී පසුව එය ශරීරය පුරා පැතිරයයි.  සරම්ප වෛරසය ශරීරගත වී දින 10ත් 14ත් අතර කාලයක් ගත වූ පසු රෝග ලක්ෂණ මතු වේ. තද උණ, කැස්ස, හොටු දියර ගැලීම හා ශරීරය පුරා කුෂ්ටයක් මතුවීම රෝග ලක්ෂණ ලෙස දැක්විය හැකිය.. මුහුණ හා බෙල්ල ආශ්‍රිතව ඇතිවන කුෂ්ටය පසුව අත් හා කකුල් කරා පැතිරේ. 

සරම්ප රෝගයෙන් ආරක්ෂා වීමට ඇති හොඳම ක්‍රමය වන්නේ එන්නත්කරණයයි. සරම්ප එන්නත ආරක්ෂිතමෙන්ම  ඵලදායී සහ ලාභදායි වේ. සරම්ප එන්නත හදුන්වාදීමට පෙර, සාමාන්‍යයෙන්  වසර දෙක තුනකට වරක් ලොව පුරා සරම්ප වසංගත තත්වයක් ඇති වන අතර වසරකට මිලියන 2.6ක් පමණ ඉන් මරණයට පත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එන්නත හදුන්වාදීමෙන් පසුව වුවද සරම්ප රෝගය නිසා වයස අවුරුදු 5ට අඩු ළමයින් මරණයට පත්වන බව වාර්තා වන අතර එම ළමයින් බොහොමයක් එන්නත්කරණයට ලක් නොවූ දරුවන් හෝ එන්නත්කරණය සම්පූර්ණ නොවූ දරුවන්ය. ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අනුව වයස මාස 9 සහ අවුරුදු 3 දී සරම්ප එන්නත ලබාදීමෙන් එන්නත්කරණය සම්පූර්ණ කරයි. මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් හා විටමින් A ඌනතාවයෙන් පෙලෙන දරුවන් සරම්ප රෝගයට පහසුවෙන් ගොදුරුවේ. එසේම HIV වෛරසය නිසා ප්‍රතිශක්තිකරණය දුර්වල වූ දරුවන්ට ද පහසුවන් සරම්ප රෝගය වැළදේ. 

සරම්ප රෝගය නිසා දරුණු සංකූලතා මතුවිය හැකිය. අන්ධ බව, මොළයට හානි වීම, පාචනය සහ විජලනය, කන් අසාදනය තුලින් බිහිරි බව, නියුමෝනියාව සහ මරණය ඒ අතර වේ.  සරම්ප රෝගය වැලදී සුව වූ ඇතැම් දරුවන් වසර 5-6කට පසුව වුවද මොළයට  හානිවීම හේතුවෙන් අබාධිත තත්වයට පත්වීමට මෙන්ම මරණයට පත්වීමටත් හැකියාව ඇත. මෙම තත්වයට තවම ප්‍රතිකාර සොයාගෙන නොමැත. 

ගැබිණි මවකට සරම්ප රෝගය වලදීම නිසා මව මෙන්ම කුස තුල වැඩෙන දරුවාට ද එයින් හානි විය හැකිය.  අඩු උපත් බරකින් යුතු නොමේරු ළදරුවකු බිහිවීමට එය හේතු විය හැකිය. 

සරම්ප වැළදුණු අයෙකුව රැකබලා ගන්නේ කෙසේද? 

  • සරම්ප රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති අතර රෝග ලක්ෂණ සමනය කිරීම, පුද්ගලයාට  සුවපහසුව ඇති  කිරීම සහ සංකූලතා වැලැක්වීම කෙරෙහි සැලකිල්ල යොමු කළ යුතුය.
  • ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම සහ විජලනය සඳහා ප්‍රතිකාර කිරීම මගින් පාචනය හෝ වමනය හේතුවෙන් අහිමි වන තරල ප්‍රතිස්ථාපනය කළ හැකිය. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම ද වැදගත් ය.
  • නියුමෝනියාව සහ කන් සහ අක්ෂි ආසාදන සඳහා ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන් ප්‍රතිජීවක භාවිතා කළ හැක.
  • බොහෝවිට සරම්ප වැළදුණු  දරුවන්ට හා වැඩිහිටියන්ට පැය 24 ක පරතරයකින් විටමින් A අතිරේක මාත්‍රා දෙකක් ලබාදේ.  එමගින්  අක්ෂි හානි සහ අන්ධභාවය වළක්වා ගැනීමට හැකිවේ. විටමින් A අතිරේක මගින් සරම්ප මරණ සංඛ්‍යාව ද අඩු කළ හැකිය.

සරම්ප වැළැක්වීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ ප්‍රජාව  පුරා එන්නත් කිරීමයි. සියලුම දරුවන්ට සරම්ප එන්නත ලබා දිය යුතුය.