${article.image}
Published by Yashodha Jayalath / Views :

දියවැඩියාව සහ ජීවිතය

රුධිරගත ග්ලුකෝස් ප්‍රමාණය නැතිනම් සීනි ප්‍රමාණය දීර් ඝ කාලීනව අසාමාන්‍ය ලෙස ඉහල යාම දියවැඩියාව ලෙස හැදින්විය හැකිය. එයට හේතු වන්නේ ඉන්සියුලින් නම් හෝමෝනය නිපදවීමේ ඌනතාවයක් හෝ එහි ක්‍රියාකාරිත්වයේ ඌනතාවයක් හෝ ඒ දෙකෙහිම ඌනතාවයක් විය හැකිය. 

දියවදියා රෝගය නිසා ශරීරයේ ඕනෑම ඉන්ද්‍රියකට මෙන්ම පද්ධතියකට බලපෑම් ඇතිවිය හැකිය. 

දියවැඩියාවේ ප්‍රධාන ආකාර දෙකකි. 

  1.  පලමු වර්ගයේ දියවැඩියාව
  2. දෙවන වර්ගයේ දියවැඩියාව 

මීට අමතරව ගැබිණි  අවධියේ දී ඇතිවන දියවැඩියාව ලෙස දියවැඩියාවේ තවත් ආකාරයක් ඇත.

පළමු වර්ගයේ දියවැඩියාවේදී අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන සෛල විනාශ වී යාම නිසා ඉන්සියුලින් නිපදවීමේ අඩුවීමක් හෝ සම්පූර්ණයෙන්ම නතරවීමක් සිදු වේ. මෙම තත්වය සදහා ඉන්සියුලින් ලබාදීම අවශ්‍යවන අතර ඖෂධ ප්‍රතිකාර නොමැත.   

දෙවන වර්ගයේ දියවැඩියාවේ දී ශරීරය තුල ඉන්සියුලින් අවශ්‍ය තරම් නිපදවනු ලැබුවද සෛල මගින් ඒවා භාවිතා වීම  සිදු නොවේ. ජානමය සාධක, ශාරීරික ව්‍යායාම අඩුවීම, තරබාරු බව ආදිය මීට හේතුවිය හැකිය. 

ඖෂධ ප්‍රතිකාර මෙන්ම ආහාර පාලනයත් ඇතැම්විට ඉන්සියුලින් ලබාදීම මගිනුත් ප්‍රතිකාර සිදුකරයි. 

ගැබිණි අවධියේ දියවැඩියාව ඇතිවන්නේ එම අවධියේදී ශරීරයට ප්‍රමාණවත් තරමින් ඉන්සියුලින් නිපදවීමට නොහැකි වූ විටය. මෙහිදී ගැබිණි මවගේ රුධිරගත ග්ලුකෝස් ප්‍රමාණය නියමිත අගයට වඩා වැඩි අගයක් ගන්නා අතර සාමාන්‍යයෙන් දරු ප්‍රසුතියෙන් පසුව මෙම තත්වය පහව යනු ලැබේ. 

මෙහිදී රුධිර ග්ලූකෝස් (රුධිර සීනි) මට්ටම සාමාන්‍ය මට්ටමක තබා ගැනීම ප්‍රතිකාරයන්හි ප්‍රධාන අරමුණ වේ. එයට විශේෂ ආහාර සැලසුම් මෙන්ම නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් කිරීම ද  ඇතුළත් විය හැකිය. දිනපතා රුධිර ග්ලූකෝස් පරීක්ෂාව සහ ඉන්සියුලින් එන්නත් ලබාදීම ද  ඇතුළත් විය හැකිය.

දියවැඩියා රෝගයේ ලක්ෂණ 

  • ශරීරිය කෙට්ටු වීම 
  • මුත්‍රා පිටවන වාර ගණන වැඩිවීම 
  • අධික පිපාසය 
  • තෙහෙට්ටුව හා අප්‍රානිකත්වය 
  • ආහාර රුචිය ඉහළයාම හා නිතර බඩගිනි දැනීම 
  • නිතර අසාදන වලට ලක්වීම 
  • පෙනීම අඩුවී යාම 

ඇතැම් අවස්තාවලදී දියවැඩියාව වැලදී ඇති රෝගීන්ට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා තිබිය හැකිය. මේ නිසා දියවැඩියා රෝගය සම්බන්ධයෙන් පවුලේ ඉතිහාසයක් ඇති අය රුධිරගත සීනි මට්ටම පරික්ෂා කර ගැනීම වැදගත්ය. 

දියවැඩියා රෝගයේ සංකූලතා 

රුධිරයේ සීනි මට්ටම තිබිය යුතු අගයට වඩා වැඩි අගයක කාලයක් පැවතීම සිරුරේ ඕනෑම අවයවයකට මෙන්ම ඉන්ද්‍රිය පද්ධතියකට අහිතකර ලෙස බලපෑ හැකිය. මෙනිසා දියවැඩියා තත්වය පාලනය කර ගැනීම ඉතා වැදගත් වේ. 

දියවැඩියා රෝගය කලක් පවතින විට එය ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරන අතර අත්, පා හිරිවැටීම, සමේ සංවේදනය නැතිවී යාම, දෙපාවලට හානි සිදුවීම මෙන්ම  හදවත සහ වකුගඩු ආදි ඉන්ද්‍රියන්ගේ ස්නායු වලට පවා හානි වීම සිදුවේ. 

එසේම දියවැඩියාව නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණ සෛල විජලනයට ලක්වීම හා ඒවායේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ග්ලුකෝස් නොලැබී යාම නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණය දුර්වල වේ. මෙම හේතුව නිසා දියවැඩියා රෝගීන් නිතරම විවිධ අසාදන වලට ගොදුරු වේ. දෙපා වල සිදුවන අසාදන හේතුවෙන් දෙපා අහිමි වීමද සිදුවිය හැකිය. 

දියවැඩියා රෝගයෙන් පෙලෙන බොහෝ දෙනෙකු පසු කාලීනව වකුගඩු අබාධවලට ලක්විය හැකිය. මෙසේ වන්නේ වකුගඩු වල ඇති සියුම් කේශ නාලිකා වලට හානි පැමිණීම නිසයි. නිසි කලට ප්‍රතිකාර නොලබුනහොත් වකුගඩු සම්පූර්ණයෙන්ම අක්‍රියවීම සිදුවිය හැකිය.  වකුගඩු ආබාධ හදුනාගත හැකි ප්‍රධානම ලක්ෂණ වන්නේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම හා අධිරුධිර පිඩනයයි.

දියවදියාව නිසා ඇතිවන තවත් සංකූලතාවයක් වන්නේ අන්ධ භාවයට පත්වීමයි. මෙහිදී රුධිරයේ සීනි ප්‍රමාණය දිගු කාලීනව ඉහල මට්ටමක පැවතීමේ ප්‍රතිඵලයක් ලෙස ඇසෙ දෘෂ්ටි විතනයට හා කාචයට හානි පැමිණීම සිදුවේ. එමෙන්ම ඇසේ සුද ඇතිවීමටද හේතුවේ. මෙනිසා දියවැඩියා රෝගියෙකු වසරකට වරක්වත් තම ඇස් පරික්ෂා කර ගත යුතු වන්නේය. 

දියවැඩියා රෝගය පාලනය කර ගැනීමෙන් මෙම රෝගය නිසා ඇතිවන සංකූලතා  වලක්වා ගැනීම හෝ සංකූලතා ඇතිවීම පමා කරගැනීම සිදුකල හැකිවේ. එමෙන්ම සංකූලතා නිසා දරන්නට සිදුවන වියදම අඩුකර ගැනීමටත්, වඩාත් ඵලදායිව සතුටින් ජීවත් වීමටත් හැකියාව ලැබේ.