${article.image}
Published 11/06/2022 by Yashodha Jayalath / Views :

ජල භීතිකාව නොහොත් පිස්සු බලු රෝගය.

අසාදිත සතුන්ගෙ ඛේටය මගින් මාරාන්තික ජලභීතිකා වෛරසය (රේබිස් වෛරසය) මිනිසුන්ට බෝවේ. සාමාන්‍යයන් වෛරසය අසාදනය වී සිටින සත්වයෙකුගේ සපාකෑම මගින් හෝ සත්වයාගේ කෙල වලින් අපවිත්‍රණය  වී ඇති නිය  මගින් සිරීම තුලින් රේබිස් වෛරසය සම්ප්‍රේෂණය වේ. මිනිසුන්ට ජලභීතිකා වෛරසය අසාදනය වන ප්‍රධානම ආකාරය අසාදිත බල්ලන් සපා කෑම තුලින් වන නිසා මෙය පිස්සු බලු රෝගය ලෙස හදුන්වයි. ඒ නමුදු වවුලන්, නරි, මුගටි, වදුරන්, පූසන්, උරුලැවන්, රිලවුන්, ගවයින්, එළුවන්, රැකූන් ආදී සතුන්ගෙන් ද බෝවීමේ හැකියාව පවතියි. ජලභීතිකා රෝගය බෝවන්නේ ක්ෂීරපායි සතුන්ට පමණක් වේ. 

වෛරසය ශරීරගත වීමෙන් පසුව ස්නායු සෛල ඔස්සේ රේබිස් වෛරසය මොලය කරා ගමන් ගනියි. මොලය තුලදී මෙම වෛරසය වේගයෙන් ගුණනය වීමට පටන් ගනියි. ඒ නිසා මොලයේ සහ සුෂුම්නාවේ දරුණු ප්‍රදාහ තත්වයක් ඇති වේ. මෙසේ වෛරසයස්ථාපිත වූ පසුව ජලභීතිකා රෝගය සුව කිරීමට අපහසුය. ජලභීතිකාව හේතුවෙන් වසරකට ලොවපුරා පුද්ගලයින් 56,000 ක් පමණ මියයන බව ඇමෙරිකාවේ රෝග පාලන හා වැලක්වීමේ මධ්‍යස්ථානය (Center For Disease Control & Prevention - CDC) පවසයි.  

වෛරසය ශරීරගත වීමේ සිට රෝග ලක්ෂණ විද්‍යාමාන වීමට ගත වන කාලය වෛරසයේ  වර්ධන කාලය (incubation period) වේ.  සාමාන්‍යයෙන් රේබීස් වෛරසය සදහා මෙම කාලය මාස 2-3 ක් වේ. ඇතැම්විට එය සති 1 සිට වසරක කාලයක් දක්වා වෙනස් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වර්ධන කාලය  රදාපවතින්නේ ශරීරයට වෛරසය ඇතුළු වුනු ප්‍රමාණය මත සහ ශරීරයේ  සපාකෑමට  ලක්වූ ස්ථානය මතය. 

රෝගය ආරම්භක අවස්ථාවේදී ඇතිවන්නේ,උණ, මාංශ පේශි දුර්වලතාවය සහ හිරි වැටීම වැනි උණ ඇතිවන විට දක්නට ලැබෙන  ලක්ෂණයි. මීට අමතරව තුවාලය අවට දැවිල්ල ඇති විය හැකිය.  තවදුරටත් වෛරසය ගුණනය වන අතර මධ්‍ය ස්නායු පද්ධතියට ප්‍රදාහයට පත් වේ. මේ හේතුවෙන් ආකාර දෙකකින් ජලභීතිකා රෝගය විද්‍යාමාන වේ.  පළමු ආකාරය වන්නේ ප්‍රකෝපකාරී ජලභිතිකාවයි. මෙම තත්වයට පත් වූ පුද්ගලයින් අධි ක්‍රියාකාරිත්වයක් දක්වන අතර  සහ උද්වේගකර වන මෙන්ම  අක්‍රමවත් හැසිරීම් ප්‍රදර්ශනය කළ හැකිය. ඊට අමතරව නින්ද නොයාම, කාංසාව, කැළඹීම, මායා රූප හෝ ශබ්ද ඇසීම, මුඛයෙන් කෙල වැගිරීම  හෝ පෙණ දැමීම, ගිලීමේ ගැටළු ඇතිවීම සහ  ජලයට සහ සුළං වැදීමට බිය වීම දැකගත හැකිය. දින කිහිපයකට පසු හෘදය සහ ශ්වසනය නතර වීම හේතුවෙන් මරණය සිදු වේ.

අංශභාග ජලභීතිකා රෝගය එහි දෙවැනි ආකාරය වේ. ජලභීතිකා රෝගයේ මෙම ස්වරූපය ස්ථාපිත වීමට  වැඩි කාලයක් ගතවේ. මෙහිදී ආසාදනය වූ  පුද්ගලයින්ගේ මාංශ පේශි ක්‍රමයෙන් අක්‍රිය වීමෙන් සෙමෙන් අංශභාග තත්ත්වයට පත් වී, අවසානයේදී කෝමා තත්ත්වයට පැමිණ මිය යනු ලබයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මානව ජලභීතිකා රෝගීන්ගෙන් 20% ක් අංශභාග ජලභීතිකා රෝගයට ලක් වේ. 

ජලභීතිකා රෝගය ඇති සතුන් සපාකෑමෙන්  හෝ  ඔවුන් සම මත ඇති කරන සීරීම් හරහා ඔවුන්ගේ ඛේටයේ අඩංගු වන වෛරසය වෙනත් සතුන්ට සහ මිනිසුන්ට සම්ප්‍රේෂණය වේ. කෙසේ වෙතත්, ආසාදිත සතුන්ගේ කෙල මිනිස් ශ්ලේෂ්මල පටලවල  හෝ විවෘත තුවාලයක් සමඟ සෘජුව සම්බන්ධ වුවහොත් වෛරසය සම්ප්‍රේෂණය විමේ හැකියාව ද ඇත. 

ජලභීතිකා රෝගය වැළදීමට වැඩි අවධානමක් ඇති පුද්ගලයින් වන්නේ,   

පශු වෛද්‍යවරුන්, වනජීවී නිලධාරින්, සත්වෝද්‍යාන සේවකයින් ආදී සතුන් සමග රාජකාරී කටයුතු වල නියැලෙන පුද්ගලයින්, වනාන්තර සහිත ප්රෙදේශ වල ජිවත් වන පුද්ගලයින්, නිවෙස් වල සුරතල් සතුන් ඇති කරන්නන්, රේබිස් වෛරසය සම්බන්ධ රසායනාගාර පර්යේෂණ සිදුකරන්නන්, 

ජලභීතිකා රෝගය ඇති විය හැකි වනසතුන් සමඟ ගැටීමට ඉඩ ඇති ක්‍රියාකාරකම්, එනම් වවුලන් ජීවත් වන ගුහා ගවේෂණය කිරීම හෝ වන සතුන් කඳවුරු භූමියෙන් ඈත් කිරීමට පූර්වාරක්ෂාවන් නොගෙන කඳවුරු බැඳීම වැනි ක්‍රියාකාරකම්වල නියැලෙන්නන් වේ. 

ඔබව  කිසියම් සතෙකු සැපුවොත්  හෝ ජලභීතිකා රෝගය වැළඳී ඇතැයි සැක කරන සතෙකුට ඔබව නිරාවරණය වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. ඔබේ තුවාල සහ නිරාවරණය සිදු වූ තත්ත්වය මත පදනම්ව, ජලභීතිකා රෝගය වැළැක්වීම සඳහා ප්‍රතිකාර ලබා ගත යුතුද යන්න ඔබේ වෛද්‍යවරයාට තීරණය කළ හැකිය

ඔබව  සපාකෑවේදැයි  ඔබට හරියටම විශ්වාස නැති වුවද, වෛද්‍ය උපදෙස් කරා යොමුවීම හිතකර වේ.  නිදසුනක් වශයෙන්, ඔබ නිදා සිටියදී ඔබේ කාමරයට පියාසර කරන වවුලෙකු පැමිණ සිටියේ නම් ඔබව අවදි නොකර ඔබව සපාකෑමට වවුලාට හැකිය නිසා ඔබ නින්දෙන් අවදි වීමේදී කාමරය තුල වවුලකු සිටියේ නම් ඌ  ඔබව  සපා කා ඇතැයි උපකල්පනය කරන්න. එසේම කුඩා දරුවෙකු හෝ ආබාධිත පුද්ගලයෙකු වැනි දෂ්ට කිරීමක් වාර්තා කළ නොහැකි පුද්ගලයෙකු අසල වවුලෙක් හමු වුවහොත්, එම පුද්ගලයාව  සපා කා  ඇතැයි උපකල්පනය කොට කටයුතු කල යුතුය. 

ජල භීතිකා රෝගය වලක්වා ගැනීම සදහා,

ඔබේ සුරතල් සතුන් එන්නත් කරන්න. ජලභීතිකා රෝගයට එරෙහිව බළලුන් සහ  බල්ලන් එන්නත් කළ හැකිය. ඔබේ සුරතල් සතුන්ට කොපමණ වාරයක් එන්නත් කළ යුතුද යන්න ඔබේ පශු වෛද්‍යවරයාගෙන් විමසන්න.

ඔබේ සුරතල් සතුන් පරිස්සම් කර තබන්න. ඔබේ සුරතල් සතුන් නිවස ඇතුළත තබාගන්න. ඔවුන් නිවසින්  පිටත සිටින විට හොදින් අධීක්ෂණය කරන්න. මෙය ඔබේ සුරතල් සතුන් අයාලේ යන  සතුන් සහ වන සතුන් සමඟ සම්බන්ධ වීමෙන් වළක්වා ගැනීමට උපකාරී වේ.

විලෝපිකයන්ගෙන් කුඩා සුරතල් සතුන් ආරක්ෂා කරන්න. හාවුන් සහ ගිනියා ඌරන් වැනි කුඩා සුරතල් සතුන් වන සතුන්ගෙන් ආරක්ෂා වන පරිදි ඇතුළත හෝ ආරක්ෂිත කූඩුවල තබා ගන්න.මෙම කුඩා සුරතල් සතුන්ට ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කළ නොහැක.

අයාලේ යන සතුන් ගැන පළාත් පාලන ආයතන වෙත හෝ ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ආයතන වෙත වාර්තා කරන්න. 

වන සතුන් ළඟට නොයන්න. ජලභීතිකා රෝගය ඇති වන සතුන් මිනිසුන්ට බිය නොවන බවක් පෙනෙන්නට තිබේ. වන සතෙකු මිනිසුන් සමඟ සුහදව සිටීම සාමාන්‍ය දෙයක් නොවේ, එබැවින් බිය නොවන බව පෙනෙන ඕනෑම සතෙකුගෙන් ඈත් වන්න.

වවුලන්ට ඔබේ නිවසට ඇතුළුවීමට ඉඩ නොදෙන්න.   වවුලන් ඔබේ නිවසට ඇතුළු විය හැකි ඕනෑම ඉරිතැලීමක් හෝ  හිඩැසක් මුද්‍රා තබන්න. ඔබේ නිවසේ වවුලන් සිටින බව ඔබ දන්නේ නම්, වවුලන් ඒම වළක්වා ගැනීමට සහ උන් පලවා හැරීමට ඒ පිලිබදව විශේෂඥයෙකු සමඟ වැඩ කරන්න.

ඔබ සංචාරය කරන්නකු නම්  නම් හෝ බොහෝ විට ජලභීතිකා රෝගය ඇති විය හැකි සතුන් අසල ගැවසීමට සිදුවේ නම් ජලභීතිකා එන්නත ලබා ගැනීම කෙරෙහි සලකා බලන්න. ඔබ ජලභීතිකා රෝගය බහුලව පවතින රටකට ගමන් කරන්නේ නම් සහ ඔබ දිගු කාලයක් එහි සිටින්නේ නම්, ඔබට ජලභීතිකා එන්නත ලබා ගත යුතුද යන්න ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න. වෛද්‍ය ප්‍රතිකාර සොයා ගැනීමට අපහසු දුෂ්කර ප්‍රදේශවලට ගමන් කිරීමේදී ද  මේ පිලිබදවසලකා බැලිය යුතුය. 

ඔබ පශු වෛද්‍යවරයකු ලෙස සේවය කරන්නේ නම් හෝ ජලභීතිකා වෛරසය සහිත රසායනාගාරයක සේවය කරන්නේ නම් ජලභීතිකා එන්නත ලබා ගන්න