${article.image}
Published 13/11/2020 by Yashodha Jayalath / Views :

උදෑසන ආහාරය සදහා වෙනස් විදිහක කිරිබතක් හදමු.

නිවාඩු දිනයක උදෑසන ආහාරය සදහා සෞඛ්‍ය සම්පන්න කිරිබතක් හදන විදිහ මෙම ලිපියෙන් මා ඉදිරිපත් කරන්නට සිතුවා. ඇත්තෙන්ම මෙය කිරිබතක් සැදීමට වඩා ආහාර වේලක් ප්ලෑන් කර ගැනීමක් ලෙස හදුන්වන්නට පුළුවනි. එනම් පළතුරු, එළවළු, ඇට වර්ග,කිරි ආහාර, ධාන්‍ය සහ කුළුබඩු ආදී සෞඛ්‍යට හිතකර සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අවම පිසීමකට ලක්කොට එක් ආහාර වේලකට එකතු කරගන්නා ආකාරයකි. එසේ ආහාර ද්‍රව්‍ය ආහාර වේලකට එකතු කරගන්නා  අයුරු ගොඩක් දෙනෙකුට නොතේරෙන දෙයක්. මීට හේතුව වී තිබෙන්නේ අපගේ බත් සහ ව්‍යංජන ආහාරයට ගැනීමේ රටාව නිසා අප දන්නේ එළවළු හෝ ධාන්‍ය වර්ග පිස ව්‍යාංජන ලෙස ආහාරයට ගන්නයි. පළතුරු වලින් පළතුරු සලාදයක් සදාගන්නවාට වඩා වැඩි යමක් අප සිතන්නේ නැහැ. එයත් අතුරුපසක් ලෙස ආහාරයට ගන්නවා විනා ප්‍රධාන ආහාර වේලක් ලෙස එකතු කරගන්නේ නැත. පළතුරු, එළවලළු, ධාන්‍ය වර්ග, ඇට වර්ග (නට්ස්) ආදිය ආහාර වේලක් සදහා එකතු කර ගැනීමට ඇති හොඳම ආකාර වන්නේ ස්මුතිස් සැදීම, සුප් සැදීම සහ විවිධ බත් වර්ග සැදීමයි. එසේ පොල් කිරි, හාල්, අඹ, කෙසෙල්, මී පැණි, ආමන්ඩ් ඇට, සූරියකාන්ත ඇට හා කුරුඳු එකතු කොට ගෙන උදෑසන ආහාර වේලක් සදහා කිරිබතක් සකස් කරගන්නා ආකාරය අපි දැන් බලමු. 

අවශ්‍ය ද්‍රව්‍ය : 

  • පිස ගත් බත් කෝප්ප 2ක් 

  • පොල් කිරි කෝප්ප 1 

  • මී පැණි තේ හැඳි 1/2 

  • ගාගත් පොල් මේස හැඳි දෙකක් (කබලේ බැද ගන්න)

  • සූරියකාන්ත ඇට (තිබේනම්) මේස හැඳි 2ක්  (නැතිනම් තල ඇට ගන්න)

  •  කැබලි කපාගත් ආමන්ඩ් ඇට මේස හැඳි දෙකක් (කොට්ටම්බා ඇට)

  • කුඩා කොටු හැඩයට කපාගත් ඉදුණු අඹ කෝප්ප 1/2 

  • පෙති කපා ගත් කැමති වර්ගයක කෙසෙල්  

  •  කුරුඳු කුඩු තේ හැඳි 1/4 ක්

සාදන ක්‍රමය : 

සාස්පානක් ගෙන එයට බත් ටික දමා පොල් කිරි සහ මීපැණි එකතු කරන්න. මීපැණි යනු ඖෂධීය ගුණ රැසක් පිරි ආහාරයකි. (එහි ගුණ පිලිබදව මා ලියු ලිපිය කියවන්න.) මදගින්නේ හැඳි ගාමින් උකු වන තුරු පිස ගන්න. නමුත් දිය ගතිය නැතිවන තුරු ලිපේ තියන්නට එපා. 

සුප් බදුනක් ගෙන එයට බත් අවශ්‍ය ප්‍රමාණයට දමා ගන්න. එය මතට ගාගෙන කබලේ බැදගත්  පොල්, කපාගත් ආමන්ඩ් ඇට, සූරියකාන්ත ඇට, කපාගත් අඹ සහ කෙසෙල් ලස්සනට අසුරා ගන්න. එය මතින් කුරුඳු කුඩු ටිකක් ඉස උනුවෙන්ම ආහාරයට ගන්න. කුරුඳු යනු ඖෂධීය ගුණ රැසකින් පිරි කුලුබඩුවකි. එහි ගුණ දැනගැනීමට ම ලියු කුරුඳු පිළිබද ලිපිය කියවන්න.