${article.image}
Published 19/09/2020 by Yashodha Jayalath / Views :

ගුණයෙන් පිරි ඇඹුල් ගෝවා.

පැසවීමටලක්කරන එළවළු අතරින් වඩා ජනප්‍රිය ආහාරයක්වන්නේ sauer kraut නොහොත් ඇඹුල් ගෝවාය. පෝෂණ ලෝකයේ ද පැසවන ලද ආහාර වලට ඉහල ඉල්ලුමක් පවතියි. ඒවාහි ප්‍රෝබයෝටික් අන්තර්ගත වන නිසා සෞඛ්‍යට හිතකර වන්නේ ය. ඇඹුල් ගෝවා හි ගුණය යෝගට් වල ගුණයට සමාන වන බව පැවසේ. ගුණදායක මෙන්ම කල්තබා ගත හැකි ඇඹුල් ගෝවා සාදන ආකාරය අප ඉගෙන ගනිමු. 

ඇඹුල් ගෝවා සෑදීමේ දී ලැක්ටික් අම්ල පැසවීම යොදා ගනියි. සාමාන්‍යයෙන් බොහෝ පළතුරු සහ එළවලු වල මෙන්ම ගෝවා හි මතුපිට ලැක්ටික් අම්ල බැක්ටීරියා ජීවත් වේ. මේ අතර lactobacillus නම් බැක්ටීරියාව ද සිටිනවා. යෝගට් වල අඩංගු වන්නේ ද lactobacillus නම් මෙම බැක්ටීරියාවයි. ලවණ ද්‍රවනයේ නොහොත් බ්‍රයින් ද්‍රවනයේ ගෝවා ගිල්වා තබන විට මෙම බැක්ටීරියා විසින් ගෝවා හි අඩංගු වන සීනි, ලැක්ටික් අම්ලය බවට පරිවර්ථනය කරනු ලබනවා. මෙම ලැක්ටික් අම්ලය පරිරක්ෂකයක් ලෙස ක්‍රියා කරමින් හානිදායක බැක්ටීරියා වර්ධනය වීම නිශේධනය කොට දමනවා.  මෙහි මා දක්වා තිබෙන්නේ ඇඹුල් ගෝවා කුඩා ප්‍රමාණයක් සදා ගත හැකි ආකාරයයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • මධ්‍යම ප්‍රමාණයේ  ගෝවා ගෙඩියක්
  • ලුණු ග්‍රෑම් 5.9 (තේ හැඳි 1 ක්)  පමණ
  • මධ්‍යම ප්‍රමාණයේ වීදුරු බෝතලයක් / ජෑම් බෝතලයක්
  • පිරිසිදු රෙදි කැබැල්ලක් සහ රබර් පටියක්

සාදන ක්‍රමය :

  • ඔබ භාවිතා කරන සියලුම උපකරණ සහ භාණ්ඩ හොදින් පිරිසිදු කර ගන්න.
  • ගෝවා ගෙඩියද කොළ ගලවා ලුණු මිශ්‍ර ජලයෙන් හොදින් සෝදා ගන්න.
  • මැලවී ඇති කොළ, හානියට පත් වී ඇති කොළ  සහ පිටතින් ඇති ගෝවා කොළ ඉවත් කර ගන්න.
  • ගෝවා ගෙඩියේ මැද ඇති තද කොටස ඉවත් කරන්න.
  • සිහින් පටි ආකාරයට ගෝවා කොළ කපා ගන්න.
  • සෑහෙන පමණ බදුනක් ගෙන එයට කපා ගත් ගෝවා කොළ ටික දමා ගෙන ලුණු කුඩු ටික ඉස ගන්න.
  • ලුණු කුඩු සමග ගෝවා හොදින් මිශ්‍ර කරන්න. විනාඩි 5ක් 10ක් මෙසේ මිශ්‍ර කිරීමේ දී දියර ගතියක් දක්නට ලැබේ වී.
  • ජීවානුහරණය කරගත් වීදුරු බෝතලය තුලට මෙම ගෝවා මිශ්‍රණය ඇතුළු කරන්න.
  • ලුණු දියර තුල ගෝවා හොදින් ගිල්වී තිබීමට වග බලා ගත යුතුවේ.
  • වීදුරු බෝතලයේ විවරය පිරිසිදු රෙදි කැබැල්ලෙන් වසා ගෙන රබර් පටියෙන් තද කර ගන්න.
  • පැය කිහිපයකට වරක් ගෝවා ද්‍රාවණය තුලට ගිල්වන සේ තද කරන්න. මේ සදහා ද ජීවානුහරණය කර ගත් කුඩා සිහින් වීදුරු බෝතලයක් භාවිතා කල හැකියි.
  • පැය 24 කට පසුව ද ගෝවා ගිල්වෙන පරිදි ලුණු දියරය සැකසී නොමැති නම්, ලුණු තේ හැන්දක් (ග්‍රෑම් 5.9ක් ) ජලය කෝප්ප එකක (මි.ලි. 250ක ) දිය කොට සාදාගත් ද්‍රාවණයකින් ගෝවා වැසෙන තරමට එකතු කරන්න.
  • මෙසේ සකසා ගත් ගෝවා දින 10 ක් පමණ පැසවීමට හරින්න. මෙහි දී හිරු එලිය නොවදින වියලි ස්ථානයක ගබඩා කොට තබන්න. සෙල්සියස් අංශක 18.33 ත් 23.89 ත් අතර උෂ්ණත්වය මේ සදහා ගැලපෙන උෂ්ණත්වය වේ.
  • ඇඹුල් ගෝවා විශාල ප්‍රමානයක් සකසනවා නම් මීට වඩා වැඩි කාලයක් පැසවීමට ලක් කල යුතුය. දින තුනකින් පසුව ගෝවා ස්වල්පයක් ගෙන වරින් වර රස බලන්න. ඔබ කැමති රසයක් ලැබෙන තුරු පැසවීමට ඉඩ හරින්න.
  • මෙසේ පැසවන විට ගෝවා මතු පිට වායු බුබුළු දක්නට ලැබේවී. පෙන ගතියක් දක්නට තිබේවි. මේවා පැසවීම හොදින් සිදුවන බවට ඇති සාධක වේ.
  • බෝතලයේ උඩින්ම ඇති ගෝවා වල පුස් දකින්නට තිබුනොත්  ඒවා ඉක්මනින් ඉවත් කරන්න. සෑම විටම ගෝවා ලුණු ද්‍රාවණය තුල ගිල්වා තැබීමට වග බලා ගත යුත්තේ මේ නිසයි.
  • ඔබට අවශ්‍ය රසය ලැබෙන තෙක් පැසවීමට ලක් කොට ශීතකරණයක තැන්පත් කොට තබාගන්න.
  • මෙසේ සකසා ගන්නා ඇඹුල් ගෝවා මාස කිහිපයක් කල් තබා ගතහැකිය.