අම්ලා ලෙස නැතහොත් ඉන්දියානු ගූස්බෙරි ලෙස ඉංග්‍රීසියෙන් හඳුන්වන නෙල්ලි, එහි ප්‍රතිඔක්සිකාරක ගුණය, ප්‍රතිප්‍රදාහක ගුණය සහ පරිවෘත්තීය ක්‍රියා නියාමනය කිරීමේ හැකියාව නිසා සුපිරි පලතුරක් ලෙස හැදින්විය හැකිය. එය ඉන්දියාව ප්‍රධාන කොට ඒ අවට රටවල ස්වභාවිකව වර්ධනය වේ. සපුෂ්ප ශාකයක් වන මෙහි ඵල වටකුරු සහ දීප්තිමත් කොළ පැහැයෙන් යුක්ත වේ. රසය ඇඹුල්, පැණි රස, තිත්ත, කහට යන රසයන් මිශ්‍රණයකි. එයට Emblica officinalis සහ Phyllanthus emblica යන විද්‍යාත්මක නම් දෙකක් ඇත.
නෙල්ලිවල විටමින් C විශාල වශයෙන් අන්තර්ගත වේ. නැවුම් නෙල්ලි ගෙඩි ග්‍රෑම් 100 ක (ගෙඩි 2-3) දොඩම් ගෙඩි 20 ක ඇති විටමින් C අඩංගු වේ. විටමින් සී යනු ඉතා අස්ථායි විටමිනයකි. ඒ නිසා ඉතා වේගයෙන් විනාශ වීමට පටන් ගනියි. නෙල්ලි ගෙඩි වල ස්වාභාවික අඩංගුවන ටැනින් මගින් විටමින් C ස්ථාවර කරන බැවින් එය ඉක්මනින් විනාශවීම වළක්වයි. විටමින් C වලට අමතරව, නෙල්ලිවල තන්තු හොඳින් අඩංගුවන වන අතර විටමින් A, B1 සහ E මෙන්ම කැල්සියම් සහ යකඩ වැනි ඛනිජ ලවණ ද අඩංගු වේ. එසේම, අඩංගු වන සීනී ප්‍රමාණය ද අඩුවේ.
නෙල්ලි වල අඩංගු වන ප්‍රතිඔක්සිකාරක වලට උදාහරණ වන්නේ, එම්බ්ලිකැනින් ඒ සහ බී, කොරිලජින්, ජෙරානින්, අයිසොකොරිලජින්, පෙඩුන්කුලජින්, ෆිලනෙම්බ්ලිනින් ඒ-එෆ් සහ පුනිග්ලුකොනින් ය.
නෙල්ලි වලින් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබදව පුළුල් ලෙස අධ්‍යයනය කර ඇත. සාක්ෂි මත පදනම් වූ අධ්‍යයනවලින් ලබාගත් සොයාගැනීම් වලට අනුව සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක් මෙන්න:
මතකයට සහ මොළයේ සෞඛ්‍යයට හිතකරයි.
ශරීරයේ සිදුවන පරිවෘත්තීය ප්‍රතික්‍රියා අතරතුර දී නිදහස් මුක්තඛණ්ඩ සෑදේ. එම මුක්තඛණ්ඩ මගින් මොළයේ සෛල වලට පහර දී හානි කළ හැකිය. එමඟින් කාළයත් සමග ස්නායු පරිහානීය ආබාධ ඇති වීම සහ මතක ශක්තිය නැති වීම සිදුවිය හැක. නෙල්ලි වල ඇති ෆයිටොනූට්‍රියන්ට් සහ ප්‍රතිඔක්සිකාරක එම නිදහස් මුක්තඛණ්ඩ වලට එරෙහිව සටන් කිරීමෙන් මොළයේ සෛල හා නියුරෝන ආරක්ෂා කරයි. නොඑපිනෙප්‍රින් (Norepinephrine) යනු මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා වැදගත් වන ස්නායු සම්ප්‍රේෂකයකි. නෙල්ලි වල ඇති ඉහළ විටමින් සී නොඑපිනෙප්‍රින් (Norepinephrine) නිපදවීමට ඔබේ ශරීරයට සහාය වේ.
ප්‍රතිශක්තිය වැඩි කිරීම -, නෙල්ලි වල විටමින් C වැඩිපුර ඇති නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කිරීමට හැකියාව ඇත. එහි ප්‍රතිඔක්සිකාරක ගුණය මගින් සෛලීය හානි සහ ප්‍රදාහය අඩු කළ හැකි අතර එය ශරීරයේ ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගැනීමට හේතු වේ. ආයුර්වේදයේ දී, ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීම සඳහා නෙල්ලි යුෂ භාවිතා කරයි. එයට සුදු රුධිරාණු නිෂ්පාදනය ද වැඩි කළ හැකි බව පැවසේ.
අක්මා සෞඛ්‍යය - නෙල්ලි සාරය, පරිවෘත්තිය ක්‍රියාවලදී ශරීරයේ නිපදවෙන විෂ ඉවත් කිරීම සහ අක්මාවේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට යොදා ගත හැකි බව පර්යේෂණ මගින් සනාථ වී ඇත.
ඇලනීන් ට්‍රාන්ස්ඇමිනේස් (ALT), ඇස්පාර්ටේට් ට්‍රාන්ස්ඇමිනේස් (AST), ගැමා ග්ලූටමයිල් ට්‍රාන්ස්ෆෙරේස් (GGT) සහ සීරම් බිලිරුබින් වැනි අක්මාවේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට යොදාගන්නා පරාමිතීන් වලට නෙල්ලි යුෂ මගින් ඇති කල හැකි බලපෑම අධ්‍යනය කිරීමට පර්යේෂණ සිදු කර ඇත. (1725505808-ISARJST-902024-GP.pdf)
එම සොයාගැනීම් වලට අනුව පෙනී යන්නේ නිතිපතා නෙල්ලි යුෂ පරිභෝජනය කිරීමෙන් අක්මා එන්සයිම වන ඇලනීන් ට්‍රාන්ස්ඇමිනේස් (ALT) සහ ඇස්පාර්ටේට් ට්‍රාන්ස්ඇමිනේස් (AST) සැලකිය යුතු ලෙස අඩු වීමත්, සීරම් බිලිරුබින් වැඩි කිරීමත් සහ ලිපිඩ පැතිකඩ කෙරෙහි යහපත් බලපෑමක් ඇති කිරීමටත් හැකි වී ඇති බවයි. අධ්‍යයනවලින් තවදුරටත් පෙන්වා දෙන්නේ නෙල්ලි යුෂ භාවිතය නව අක්මා සෛල වර්ධනය වීම ප්‍රවර්ධනය කිරීමට මෙන්ම හානි වූ පටක සුව කිරීමට ද උපකාරී වන බවයි.
එක් අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ නෙල්ලි සාරය අඩංගු අතිරේකයක් දිනකට 1000-2000 mg ප්‍රමාණය සති 8 සිට 12 දක්වා කාලයක් තුළ භාවිතා කිරීම තුලින් LDL කොලෙස්ටරෝල් 10% සිට 20% දක්වා අඩු කළ හැකි බවයි. (Upadya H et al. “A randomized, double blind, placebo controlled, multicenter clinical trial to assess the efficacy and safety of Emblica officinalis extract in patients with dyslipidemia.” BMC Complementary and Alternative Medicine, vol. 19 (2019): 27)
අක්මාව ආශ්‍රිතව ඇතිවන රෝග තත්වයන් සඳහා සහ අක්මාවේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට සමකාලීන ප්‍රතිකාරයක් (contemporary treatment) ලෙස නෙල්ලි සාරය භාවිතා කිරීමට හැකියාවක් තිබුණ ද, විවිධ ජනගහනයන් සඳහා ප්‍රතිකාරයක් ලෙස භාවිතා කිරීමට සුදුසු ප්‍රශස්ත මාත්‍රා තීරණය කිරීම සඳහා තවදුරටත් විද්‍යාත්මක සාක්ෂි අවශ්‍ය වේ.
ආහාර ජීර්ණය - නෙල්ලි වල අඩංගු පොලිෆීනෝල් සංයෝග වලට ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීමට හැකියාවක් ඇති බව අධ්‍යයන වලින් සනාථ වී ඇත. හෙලිකොබැක්ටර් පයිලෝරි යනු ආමාශයික වණ ඇති කරන බැක්ටීරීයාවකි. නෙල්ලි වල අඩංගු වන ජෛව ක්‍රියාකාරී සංයෝගවල එක් බලපෑමක් වන්නේ හෙලිකොබැක්ටර් පයිලෝරි බැක්ටීරියාව නිෂේධනය කිරීමේ හැකියාවයි . සත්වයන් භාවිතා කොට කරන ලද අධ්‍යයනයන්හි දී, නෙල්ලි සාරය මගින් අමාශයේ අම්ල ස්‍රාවය සහ ආමාශයේ සහ ආන්ත්‍රික වණ ඇති වීම අඩු කරන බව ද සොයාගෙන ඇත. (Functional and Nutraceutical Significance of Amla (Phyllanthus emblica L.): A Review - PMC)
නෙල්ලි වල තවත් එක් සෞඛ්‍ය ප්‍රතිලාභයක් වන්නේ GERD ((GastroEsophageal Reflux Disease) නිසා ඇතිවන දැවිල්ල අඩු කිරීමයි.
විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව, නෙල්ලි සාරය (500 mg ප්‍රමාණයක් දිනකට දෙවරක්) දිනපතා පරිභෝජනය කිරීම තුලින්, පාලක කාණ්ඩයට (Placebo group) සාපේක්ෂව පරීක්ෂණ කාණ්ඩයේ අයගේ, අනුභව කරන ලද ආහාර නැවත උගුරට ඒමේ (regurgitation) වාර ගණනත් එමගින් ඇතිවන බඩ පපුව දැවිල්ලෙහි ත්‍රීවෘරතාවයත් අඩු කොට ඇත.
නෙල්ලි වල ඇති ද්‍රාව්‍ය සහ අද්‍රාව්‍ය තන්තු නිසා මළපහ වල ප්‍රමාණය (bulk) වැඩි වේ. එමගින් බඩවැල්වල චලනය පහසුවීම මෙන්ම බඩවැල්වල ක්‍රමානුකූල ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට හැකිවීම ද යහපත් ආහාර ජීර්ණ ක්‍රියාවලියක් සදහා වැදගත් වේ.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව, නෙල්ලි වලට දෝෂ තුනම සමතුලිත කළ හැකි අතර එයට ශරීරය සිසිල් කිරීමේ ගුණයක් ද ඇත. ශරීර සංයුතිය සහ එය පෝෂණය කිරීමට ඇති හැකියාව නිසා බොහෝ ආයුර්වේද ඖෂධ වල නෙල්ලි අඩංගු වනවා. නෙල්ලි වලට ශරීරයේ ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම ශරීරයේ ජීව ශක්තිය වන ඕජාව ප්‍රබල කිරීමට ද හැකි බව ආයුර්වේදීය පිළිගැනීමයි.
වයසට යාමේ වේගය අඩු කිරීම - විටමින් C යනු ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි. නෙල්ලි යනු විටමින් සී යහමින් අඩංගු ප්‍රභවයකි. ප්‍රතිඔක්සිකාරක, නිදහස් මුක්තඛණ්ඩ සමඟ සටන් කිරීම නිසා නිදහස් මුක්තඛණ්ඩ මගින් සිදුවිය හැකි සෛලීය හානි වළක්වයි. එය වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී වීමට හේතු විය හැක.
කොලජන් යනු ශරීරයේ බහුලවම පවතින ව්‍යුහාත්මක ප්‍රෝටීනය වේ. එය සම, අස්ථි, බන්ධනීයන්, කණ්ඩරාවන් සහ කාටිලේජ ඇතුළු විවිධ පටක සඳහා ව්‍යුහය සැකසීමේදී මෙන්ම එම පටක වල ශක්තිය සහ සවිමත් බව ලබාදීමට වැදගත් වේ. මිනිසුන් වයසට යන විට, කොලජන් නිෂ්පාදනය අඩු වන අතර, එමගින් රැළි වැටීම් සහ එල්ලා වැටීම් වැනි වයසට යාමේදී ඇතිවන සලකුණු ඇති කරයි. නෙල්ලිවල අඩංගු විටමින් C කොලජන් බිඳවැටීම වැළැක්වීමට ද උපකාරී වේ. එසේම විටමින් C වලට හිසකෙස් වැටීමට දායක වන එන්සයිමයක් නිශේධනය කල හැකිය. විටමින් C වලට අමතරව, නෙල්ලිවල සැලකිය යුතු ප්‍රමාණයක් විටමින් A අඩංගු වන අතර එය වයසට යාමේදී ඇතිවන අක්ෂි පරිහානිය වැළැක්වීමට සහ ඇස්වල පෙනීම දිගුකල් පවත්වා ගැනීමට ද උපකාරී වේ.
දියවැඩියාව පාලනය කිරීම -නෙල්ලි වල අඩංගු වන ද්‍රාව්‍ය තන්තු ශරීරය තුලදී ඉක්මනින් දියවීම නිසා, සීනි අවශෝෂණය මන්දගාමී වේ.
එසේම නෙල්ලි වල ඉහළ විටමින් C අන්තර්ගතය මගින් ඉන්සියුලින් සංවේදීතාව වැඩි කරන අතර දියවැඩියා සංකූලතා සඳහා ප්‍රධාන සාධකයක් වන ඔක්සිකාරක ආතතිය අඩු කරයි.
නෙල්ලි යුෂ වල අඩංගු විටමින් C, පොලිෆීනෝල් වර්ග සහ ටැනින් වර්ග වල තවත් ප්‍රතිලාභයක් වන්නේ, ඉන්සියුලින් වලට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට සෛල හට ඉඩ දීමෙන් ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය සහායවීමයි. නෙල්ලි සතුව පවතින ප්‍රතිඔක්සිකාරක ගුණාංග අග්න්‍යාශයේ බීටා සෛල වලට සිදුවිය හැකි හානිවලින් හා ප්‍රදාහමය තත්වයන්ගෙන් ආරක්ෂා කිරීමට දායක වන අතර දිගු කාලීනව ඉන්සියුලින් නිෂ්පාදනය හොදින් සිදුවීම සහතික කරයි.
නෙල්ලි අතිරේක, කුඩු වශයෙන්, වියළි පලතුරු වශයෙන් මෙන්ම නෙල්ලි නිස්සාරකයක් ලෙසට ද සාදනු ලැබේ. කෙසේ වෙතත්, මුළු නෙල්ලි ශාකයේ විවිධ කොටස් දේශීය වෛද්‍ය විද්‍යාවේ භාවිතා වනවා.
ඔබේ දෛනික ජීවිතයට නෙල්ලි ඇතුළත් කර ගත හැකි විවිධ ආකාර මොනවාද?
නෙල්ලි ගෙඩි අමුවෙන්,අච්චාරු දමා හෝ පැසවීමට ලක්කිරීම මගින් ආහාරයට ගත හැකිය, එසේම යුෂය ජලය සමග මිශ්‍ර කර පානය කිරීම හෝ වියළා කුඩු කර ඖෂධීය තේ පානයක් ලෙස ද බීමට ගත හැකිය. උපරිම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා උදෑසන හිස් බඩ මත භාවිතා කිරීම වඩාත් සුදුසුය.
- අමුවෙන් නෙල්ලි ගෙඩි අනුභව කිරීමේදී රසය වැඩිකර ගැනීම සඳහා හෝ ලුණු සහ මිරිස් කුඩු ඉසගත හැකිය.
- වියළා ගත් නෙල්ලි ගෙඩි වල පෙති කෑමට ගත හැකිය. වියළන විට ලෙමන් යුෂ සහ ලුණු ස්වල්පයක් නෙල්ලි පෙති සමඟ මිශ්‍ර කිරීමෙන් රසය වැඩි කර ගත හැකිය. .
- කහ සහ ලුණු දැමූ ජලයේ තම්බා ගත් පසු නෙල්ලි ගෙඩි කෑමට ගැනීමෙන් තිත්ත රසය නැති කර ගත හැකිය.
- නෙල්ලි අච්චාරු හෝ නෙල්ලි චට්නි සාදා ආහාරයට ගැනීමට ද හැකිය.
- නෙල්ලි ගෙඩි වල යුෂ හෝ නෙල්ලි කුඩු ජලය සමඟ මිශ්‍ර කර උදෑසන හිස් බඩ මත පානය කිරීමේ දී මීපැණි එකතු කරන්න.
මධ්‍යස්ථ ලෙස භාවිතා කිරීමේ දී, සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුට නෙල්ලි පරිභෝජනය ආරක්ෂිත යැයි සැලකේ. අඩු රුධිරගත සීනි ඇති පුද්ගලයින්, රුධිරගත සීනි අඩු කිරීමට ඖෂධ ලබා ගන්නා දියවැඩියාව ඇති පුද්ගලයින් (එය ඉන්සියුලින් සංවේදීතාව සහ ග්ලූකෝස් අවශෝෂණය වැඩි දියුණු කළ හැකි නිසා), රුධිරය තුනී කිරීමේ ඖෂධ ලබා ගන්නා අය (නෙල්ලි වල ස්වාභාවිකව රුධිර තුනී කිරීමේ ගුණ ඇත), වකුගඩු ආබාධ ඇති පුද්ගලයින් (නිතර හෝ විශාල ප්‍රමාණවලින් නෙල්ලි පරිභෝජනය අවදානම වැඩි කළ හැකිය), ගර්භනී සහ කිරි දෙන කාන්තාවන් (නෙල්ලි සාමාන්‍යයෙන් ගර්භණී සමයේදී ආරක්ෂිත සහ ප්‍රයෝජනවත් වේ, අධික ලෙස පරිභෝජනය කිරීම ආමාශ ආන්ත්‍රික අපහසුතාවයන් සහ පාචනය ඇති කළ හැකිය), සංවේදී ආමාශයක් ඇති පුද්ගලයින් සහ ඇතැම් ආහාර අසාත්මිකතා සහ සංවේදීතාවන් ඇති පුද්ගලයින් නෙල්ලි කුඩු අතිරේක (supplements) භාවිතා කිරීමට පෙර සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගත යුතුය.
සාරාංශයක් ලෙස දැක්වීමේ දී, නෙල්ලි ඔබේ දෛනික ජීවන චර්යාවට ඇතුළත් කර ගැනීම තුලින් අක්මාවේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට, විෂ ඉවත් කිරීමට සහාය වීමට සහ සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීමට ස්වභාවික ක්‍රමයක් ලෙස භාවිතා කල හැකිය. කෙසේ වෙතත්, අතිරේක ලබා ගැනීමේදී හෝ ප්‍රතිකාරයක් ලෙස භාවිතා කිරීමේදී පුද්ගල සෞඛ්‍ය තත්වයන් සලකා බැලීම වැදගත් වේ.
Author - Yashodha P. Jayalath
MSc in Food Science & Technology, PGIA University of Peradeniya, Sri Lanka.
BSc in Health Promotion, Rajarata University of Sri Lanka.
Pg Dip in Psychological Counselling & Psychotherapy, Institute of Psychological Studies Sri Lanka.
Associate Member of Sri Lanka National Institute of Professional Counsellors, Registration number 2015/1526
