විස්මිත ගුණ ඇති කොත්තමල්ලි ගැන දැන ගනිමු.
ශ්‍රී ලාංකිකයන් වන අපට කොත්තමල්ලි යනු ආගන්තුක දෙයක් නොවෙයි. උණක්, සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදුනු විට දී කොත්තමල්ලි තම්බාගෙන පානය කිරීම අපට සාමාන්‍ය දෙයක්. නමුත් උණට සෙම්ප්‍රතිශ්‍යාවට පමණක් පානය කරන කොත්තමල්ලි වලින් වෙනත් සෞඛ්‍ය ප්‍රතිලාභ බොහොමයක් ඇති බව ඔබ දැනගෙන සිටියා ද? මෙම ලිපියෙන් සාකච්චා කෙරෙන්නේ කොත්තමල්ලි වල ඇති විස්මිත ඖෂධීය ගුණ පිළිබදවයි.
කොත්තමල්ලි, කුළුබඩුවක් ලෙස සූපශාස්ත්‍ර භාවිතයන් හා ඖෂධීය භාවිතයන් සහිත බීජ සහ කොළ නිපදවන ශාකයක් ලෙස ලොව පුරා භාවිතා වේ. කොත්තමල්ලි ශාකයේ විද්‍යාත්මක නාමය Coriandrum sativum වන අතර එය පාස්ලි පවුලට (Apiaceae) අයත් වේ. කහ-දුඹුරු ගෝලාකාර ඵල කොත්තමල්ලි බීජ ලෙසද කොළ සිලන්ත්‍රෝ (Cilantro) හෝ චීන පාස්ලි ලෙසද හැඳින්වේ.
කොත්තමල්ලි ඇට සහ කොළ තන්තු, කැල්සියම්, මැග්නීසියම්, මැන්ගනීස් සහ යකඩ වැනි ඛනිජ ලවණ, විටමින් A, විටමින් C සහ විටමින් K වැනි විටමින්, ලිනලූල් (linalool), ක්වෙර්සෙටින් (Quercetin) සහ රූටින් (Rutin) වැනි ප්‍රතිඔක්සිකාරකවල හොඳ ප්‍රභවයකි.
ලිනලූල් (linalool) සහ ඩෙකනල් (decanal) යනු කොත්තමල්ලි වල අඩංගු සගන්ධ තෙල් වන අතර ඒවා එහි සුවඳට මෙන්ම චිකිත්සක ගුණයට දායක වේ.
කොත්තමල්ලි වල අඩංගු එවැනි සංයෝග, රුධිර පීඩනය අඩු කිරීමට, රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කිරීමට, කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට, ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීමට සහ ආසාදන වලට එරෙහිව ප්‍රතිශක්තිය වැඩි කිරීමට හේතු විය හැකි බව විවිධ පරියේෂණ වලින් තහවුරු වී ඇත.
මෙවැනි බොහෝ හේතූන් නිසා, කොත්තමල්ලි ආයුර්වේදයේ සහ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී අතීතයේ සිට භාවිතා වී ඇත.
කොත්තමල්ලි ශාකයෙන් ලබාගත හැකි ප්‍රයෝජන කිහිපයක් පහත සදහන් වේ.
පිරිසිදු කිරීමේ ගුණය - කොත්තමල්ලි වල විෂ ඉවත් කිරීමේ ගුණය ඇති බවත් ශරීරය තුල මේදය තැන්පත් වීම හා එමගින් ඇතිවිය හැකි පටක විනාශ වීම වලක්වාලීමට හැකිබවට මූලාශ්‍ර ඇත. අක්මාව පිරිසිදු කිරීමට හැකියාව ඇති බැවින් අක්මාවේ මේදය තැන්පත් වීමේ රෝගය (Fatty Liver disease) සදහා ප්‍රතිකාරයක් ලෙස භාවිතයට ගැනීමේ සම්භාවිතාවයක් ඇත.
හදවතට හිතකරයි - සමහර අධ්‍යයනයන්ට අනුව කොත්තමල්ලි වලට අධි රුධිර පීඩනය සහ LDL කොලෙස්ටරෝල් (නරක කොලෙස්ටරෝල්) මට්ටම වැනි, හෘද රෝග ඇති කිරීමට මුල්වන අවදානම් සාධක අඩු කිරීමේ හැකියාව ඇත. ශරීරයේ අමතර සෝඩියම් සහ ජලය ඉවත්කිරීම තුලින් රුධිර පීඩනය අඩු කිරීමට කොත්තමල්ලි වලට හැකිය. කොත්තමල්ලි ඇටවල ලිනොලෙයික් අම්ලය, ඔලෙයික් අම්ලය, පැල්මිටික් අම්ලය, ස්ටියරික් අම්ලය සහ ඇස්කෝර්බික් අම්ලය (විටමින් C) වැනි ප්‍රයෝජනවත් අම්ල අඩංගු වන අතර රුධිර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට ඒවා දායක වේ.
තරබාරුකම වැළැක්වීම - ආහාර සමග ට්‍රයිග්ලිසරයිඩ අධික ලෙස පරිභෝජනය නිසා ප්ලාස්මා ට්‍රයිග්ලිසරයිඩ් සාන්ද්‍රණය වැඩි වේ. එමගින් ශරීරය තුල ප්‍රදාහය ඇති වීමට හේතු වන අතර මේදය දහනය වීම සීමා වීමත්, ශරීරයේ ඉන්ද්‍රියන් වටා මේද තැන්පත් වීමට හේතු වේ. කොත්තමල්ලි සාරය, ප්‍රතිඔක්සිකාරක ගුණය සහිත ෆ්ලේවනොයිඩ් සහ ෆීනෝලික් සංයෝග සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු නිසා මේද සෛල නිපදවීම හා මේදය තැන්පත් වීම අඩු කිරීමට හැකියාව ඇත.
ප්‍රතිශක්තිකරණ වැඩි දියුණු කිරීමේ ගුණය - බැක්ටීරියා, දිලීර සහ පරපෝෂිත ආසාදන වලට ප්‍රතිකාර කිරීමට සාම්ප්‍රදායික වෙදකමේ දී කොත්තමල්ලි භාවිතා වේ.
දියවැඩියාව වැලැක්වීමේ ගුණය - දෙවන වර්ගයේ දියවැඩියාවට තුඩු දෙන ඉන්සියුලින් ප්‍රතිරෝධය, දිගුකාලීනව පවතින නිදන්ගත ප්‍රදාහය නිසා ඇති විය හැක. පොලිෆෙනෝල් සංයෝග වලට ප්‍රදාහයට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් ඇත. කොත්තමල්ලි ඇට සාරය තුළ එම ප්‍රයෝජනවත් පොලිෆෙනෝල් අඩංගු වන අතර, එමඟින් රුධිරයෙන් සීනි ඉවත් කිරීමට ක්‍රියා කරන ඇතැම් එන්සයිම සක්‍රීය කිරීමෙන් රුධිරයේ සීනි ඵලදායී ලෙස අඩු කිරීමේ හැකියාව ඇත. එබැවින් රුධිරයේ සීනි අඩු පුද්ගලයින් සහ දියවැඩියා ඖෂධ ලබා ගන්නා පුද්ගලයින් එය ප්‍රවේශමෙන් භාවිතා කළ යුතුය.
ප්‍රතිප්‍රදාහක ගුණය - කොත්තමල්ලි වල ප්‍රතිඔක්සිකාරක කිහිපයක්ම අඩංගු වේ. ඒවා ශරීරයේ ඇතිවන ප්‍රදාහයට එරෙහිව සටන් කරන බව පෙන්වා දී ඇත. මෙම ප්‍රතිඔක්සිකාරක ප්‍රදාහයට එරෙහිව සටන් කරනවා පමණක් නොව, මුක්ත ඛණ්ඩක (Free Radicals) මගින් සිදුවන සෛලීය හානි වැලැක්වීමටත් එමගින් පිළිකා ඇති වීම වැලක්වීමටත් ස්නායු හායනය වීමෙන් ඇතිවන රෝග වලට එරෙහිව ආරක්ෂාවත් ලබා දෙයි. සතුන් භාවිතා කොට සිදුකර ඇති අධ්‍යයනවලින් පෙනී යන්නේ කොත්තමල්ලි වල ඇති ප්‍රතිඔක්සිකාරක වලට මතකය වැඩි දියුණු කිරීමට මෙන්ම කාංසාවේ රෝග ලක්ෂණ අඩු කිරීමටත් හැකි බවයි. මෙය තවදුරටත් සනාථ කිරීමට මිනිසුන් යොදා සිදුකරන පර්යේෂණ අවශ්‍ය වේ. 2021 දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, මෙතනෝල් නම් ද්‍රාවකය භාවිතා කොට, කොත්තමල්ලි ඇට වලින් ලබාගන්නා සාරය, කැරැජිනන් නිසා ඇතිවන ප්‍රදාහයෙන් (carrageenan-induced inflammation) ආරක්ෂා වීමට භාවිතා කල හැකි බවයි. කැරැජිනන් යනු ආහාර ආකලන ද්‍රව්‍යයක් (food additive) වන අතර, එය රතු මුහුදු පැලෑටි වලින් නිපදවයි. තෛලෝදකාරකයක් (emulsifier) ලෙස, සැකසූ ආහාර ඝණ කිරීමට (thickening agent), සහ ස්ථාවර කිරීමට (stabilizer ලෙස) බහුලව භාවිතා වේ. FDA (Food & Drug Administration) ආයතනය මගින්, සාමාන්‍යයෙන් කැරැජිනන් ආරක්ෂිත යැයි හඳුනා ගත්තද, සමහර අධ්‍යයනවලින් පෙනී යන්නේ එය මහා බඩවැලේ පිළිකා තත්ව ඇති කිරීමට මුල්වන ආහාර ජීර්ණ ගැටළු සහ ආහාර ජීර්ණ පද්ධතිය තුල ප්‍රදාහය ඇති කළ හැකි බවයි.
ආහාර දිරවීමට උපකාරී වේ - කොත්තමල්ලි යනු සගන්ධ තෙල් වලින් පොහොසත් ප්‍රභවයක් වන අතර, එම සංයෝග වලට ආහාර ජීර්ණ එන්සයිම සහ ආහාර ජීර්ණ යුෂ නිසි ලෙස ස්‍රාවය කිරීමට හැකියාව ඇති නිසා සහ ක්‍රමාකුංචන චලනය උත්තේජනය කිරීම නිසා ආහාර දිරවීමට උපකාරී වේ.
කොත්තමල්ලි වල ඇති සිනෝල්, බෝර්නියෝල්, ලිමොනීන්, ඇල්ෆා-පියිනීන් සහ බීටා-ෆෙලන්ඩ්රීන් වැනි සංයෝග සතුව ප්‍රතිබැක්ටීරීය ක්‍රියාකාරීත්වයක් දැකිය හැකි අතර ක්ෂුද්‍රජීවී ක්‍රියා නිසා ඇතිවන පාචනය සමනය කිරීමට කොත්තමල්ලි උපකාරී කරගත හැකිය. IBS (Irritable Bowel Syndrome) ඇති පුද්ගලයින් අත්විඳින බඩ පිපීම, ආහාර අජීර්ණය වැනි අපහසුතා අඩු කළ හැකිය. සමහර පුද්ගලයින් තුළ ආහාර රුචිය වැඩි කිරීමට ද කොත්තමල්ලි භාවිතා කල හැක.
Coriandrum sativum නොහොත් කොත්තමල්ලි වල අංඩගු වන පොලිෆීනෝල් සංයෝග පිළිබඳ ප්‍රකාශයට පත් කොට ඇති පර්යේෂණ වාර්තා සමාලෝචනය කිරීමෙන් පෙනීයන්නේ ඒවාට ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිප්‍රදාහ ගුණ ඇති බවත්, නිදහස් මුක්තඛණ්ඩ සහ ඔක්සිකාරක ආතතිය නිසා සිදුවන වයස්ගතවීම හා සෛල පරිහානියට පත්වීමේ රෝග වලින් ශරීරයේ සෛල ආරක්ෂා කර ගැනීමට මෙන්ම එමගින් නිරෝගීකම වැඩි දියුණු කිරීමට කොත්තමල්ලි ප්‍රයෝජනවත් විය හැකි බවයි.
Coriandrum sativum ශාකයේ සියලුම කොටස් ආහාරයට ගත හැකි නමුත් එහි බීජ සහ කොළ බොහෝ විට ආහාර පිසීමේදී භාවිතා වේ. බීජ සහ කොළ වල රසය බෙහෙවින් වෙනස් ය. බීජ, ව්‍යංජන, අච්චාරු සහ බැදපු එළවළු රසවත් කිරීමට භාවිතා කරන අතර සමහර විට බීජ බැද, ජලයේ තම්බා ඖෂධීය තේ පානයක් ලෙස ප්‍රයෝජනයට ගනු ලැබෙයි. කොත්තමල්ලි කොළ, සුප් හෝ පැස්ටා සලාද, නැවුම් තක්කාලි සලාද හෝ නූඩ්ල්ස් කෑම වැනි සීතල ආහාර අලංකාර කිරීම සඳහා භාවිතා වේ.
කොත්තමල්ලි වල ඇති බොහෝ ඖෂධීය ගුණ සහ ආහාර වේලට ඇතුළත් කිරීමේ පහසුව නිසා දෙවිවරුන්ගෙන් මිනිසුන් හට ලැබුණු ත්‍යාගයක් ලෙස සැලකිය හැකිය.