ගතවන මොහොතක් පාසා සැනසීමෙන් ජීවත්වන්නට නම්…
හැගීම් හා ආවේදන යනු මනුෂ්‍යභාවයේ කොටසකි. අප දුකින් සිටින විට, සතුටින් සිටින විට, භයෙන් සිටින විට, තරහින් සිටින විට, ආශාවෙන් පෙළන විට මෙන්ම යමක් කෙරෙහි තණ්හාවෙන් සිටින විට අපට දැනෙන්නේ හැගීම් සහ ආවේදනයි.
ලෝකය අත්විදීමේ දී ලෝකය පිළිබද ව සුන්දර දැක්මක් හෝ අසුන්දර දැක්මක් ඇති කිරීමට දායකත්වය සපයන්නේ හැගීම් සහ ආවේදනයි. ඒ නිසා මෙම හැගීම් සහ ආවේදන නිසි ලෙස කලමනාකරණය කර නොගැනීම තුලින් ලෝකය දෙස ධනාත්මකව දැකීමට හා යහපත් අත්දැකීම් ලබා ගැනීමට අපට ඇති හැකියාව අඩුවීමට අවස්ථාව තිබෙනවා.
උදාහරණයකින් මෙය පැහැදිලි කලහොත්, යමෙකුගේ පැරණි අමිහිරි අත්දැකීමක් හේතුවෙන් පුද්ගල සම්බන්ධතා පිළිබද ව සෘණාත්මක ආකල්පයක් ඇති වී ඇත්නම් එම පුද්ගලයා නැවත මිනිසුන් ඇසුරු කිරීමේදී අනවශ්‍ය ආකාරයට සීමා පනවා ගෙන ඇත්නම් හෝ තමා වටා සිටින තමන්ගේ සහකරු/කාරියට, දරුවන්ට එලෙස අනවශ්‍ය ලෙස සීමා පනවා ඇතිනම් ඔවුන්ට ජීවිතය අත්දැකීමේදී අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිදුවනවා. එසේම, අයහපත් සම්බන්ධතා වලින් මිදීමට අපට ඇති හැකියාව දුර්වල කර දමන්නටත් හැගීම් මුල්වනවා. ජීවිතය වැරදි මාර්ගයක ගමන්කරවීමටත් පළිගැනීම් ආදි සෘණාත්මක හැසීරීම් කෙරෙහි අපව යොමු කරවීමට නිසි ලෙස කලමනාකරණය කර නොගත් හැගීම් වලට පුළුවනි.
හැගීම් යනු පුද්ගලයා නොවේ. නමුත් සිතේ හැගීම් ඇති වන විට එම හැගීමට පුද්ගල සිත බද්ධ වී ඇති බැවින් පුද්ගලයාත් හැගීමත් එකක් ලෙස දැනෙයි. මේ නිසා හැගීම් යනු ඔබ නොවන බවටත් එම හැගීම් ඔබ විසින් කළමනාකරණය කල යුතු බව මෙන්ම ඔබට එය කල හැකි බවටත් ඔබ වටහා ගත යුතුය. බුදු දහමට අනුව සිත කියා ස්ථිර දෙයක් නොමැත. ක්ෂණයක් පාසා නොනැවතී ඇතිවන සිත් ගණනාවක් ”එක සිතක්” ලෙස පුද්ගලයා හට දැනෙයි. ඒ ඇති වන සිත් සමග ඇලීම් හා ගැටීම් ඇති වීමෙන් හැගීම් ඇති වේ. එක් සිතක් හා ඇලීමක් ඇති වු විට ඊට අදාලව ඊළග සිත පහළ වේ. මෙය ඉතා වේගයෙන් සිදුවේ. ගතවන මොහොතක් පාසා සැනසීමෙන් ජීවත්වීමට නම් මෙසේ තමා තුල ඇතිවන සිත් පිළිබදව අවධානයෙන් සහ අවබෝධයෙන් සිටිමින් තමා තුල සෘණාත්මක හැගීමක් ඇති කිරීමට මුල්වන සිතක් ඇති වූ විට එම මොහොතේම එම සිතුවිල්ල අත්හැරිය යුතුය. කරදරකාරී සිතුවිලි දිගටම ඇතිවේ නම් හිතාමතාම යහපත් වෙනත් අරමුණකට සිත යෙදවිය යුතුය. එසේම ඔබගේ සිතුවිල්ල අයහපත් නම් ඊට සමගාමීව අයහපත් හැසීරීමක් (කායික හෝ වාචික) ඇති වීම වළකාගෙන එම සිතුවිල්ලට ප්‍රතිවිරුද්ධ යහපත් සිතුවිල්ලක් සිතට අරමුණු කොට යහපත් කායික හෝ වාචික ක්‍රියාවකට යොමු වීමට පුහුණු විය යුතු වේ.
කේන්ති සහගත සිතුවිලි වලින් සිත පීඩාවට පත් වේ නම් මෛත්‍රීය, කරුණාව ආදිය පුරුදු කරන්න. ඊර්ෂ්‍යා සහගත සිතුවිලි වලින් සිත පීඩාවට පත් වේ නම්, මුදිතාව පුහුණු කරන්න. සමාජයේ විවිධ අසාධාරණ කම්, මදිපුංචිකම්, නපුරුකම් නිසා සිත පීඩාවට පත්වේ නම් උපේක්ෂාව පුහුණු කරන්න. මෙය සිතින් පුරුදුකරන අතරම කයින් හා වචනයෙන් ද පුහුණු කරන්න.
කරුණාවන්ත වීමෙන් ඔබට ඔබව මෙන්ම අනෙක් පුද්ගලයින්ව ද සතුටු කල හැකිය.
යම් අයෙකු වෙනුවෙන් යම් යහපත් දෙයක් කිරීමෙන් පසු සිතට දැනෙන සතුට ඔබ අත්විද ඇත්නම් ඔබ ඊට ඇබ්බැහිවනු ඇත. එතරම්ම ප්‍රීතියක් සිතට දැනෙනු ඇත. නමුත්, එම උදව්ව ලබන කෙනාගෙන් ස්තූතියක් වත් බලාපොරොත්තු නොවන්න හොදින් මතක තබා ගන්න. මන්ද සියල්ලන්ම කෘතගුණවන්ත නැත. එසේම අප කොතෙක් උදව් උපකාර කලද, කාරුණික වුවද ඒ පිළිබදව සියල්ලන් ම සතුටු වන්නේ නැත. ඒ නිසා ඔබ උදව් උපකාර කළයුත්තේ ඔබේ සිතේ ප්‍රීතිය උදෙසාය. කවුරුන් හෝ ඔබ විසින් කළ උදව් උපකාර අමතක කර දමා හෝ ඔබ ගැන අපහැදීමෙන් පසුවන්නේ නම්, ඔබ විසින් කරන ලද උපකාර හෑල්ලුවට ලක් කරයි නම් එම පුද්ගලයින්ට නැවත උදව්කරන්න වෙහෙසෙන්න එපා. නමුත් අනෙක් අයට උදව් කිරීම කෙදිනකවත් නවත්වන්න එපා. මේ ලෝකයේ කාගේ හෝ උදව්වක් ලැබෙන තුරු දෑස් දල්වාගෙන බලාගෙන හිදින අහිංසක සිත් දහස්ගානක් තිබෙනවා. කෙලෙහිගුණ නොමැති කිහිපදෙනෙකු නිසා ඔබ ඔබගේ කරුණාවන්ත සිත නැති කරගත්තේ නම්, අර අහිංසක සිත් වලට කවදාවත් උදව් උපකාර නොලැබී යාවි. ඔබටත් සතුටු වීමට අවස්ථා නැති වී යාවී. මේනිසා උදව් උපකාර කිරීමට සිතීම හා එයට යොමු වීම ඔබගේ දුර්වල බවක් ලෙස කෙදිනකවත් සිතන්නට එපා.
උදව් උපකාර කරනවිට අහඹුලෙස උදව්කරන්න. ඔබ වැඩකරන ස්ථානයට හෝ පන්ති කාමරයට පැමිණෙන විට රසකැවිලි රැගෙන යන්න ඔබට පුළුවනි. ඒවා අන් අය හා බෙදා දී ඔවුන් ඒවා රසකරමින්, විහිළුකතා කියමින් විනෝදයෙන් භුක්තිවිදින අයුරු බලා අහිංසකව සතුටුවන්න. කුසගින්නේ සිටින සතෙකුට කෑම ටිකක් ආහාරයට දෙන්න. පැළයක් වවන්න, එය රැක බලාගන්න. ඔබේ යහළුවාගේ යහපත් ගුණයක් ඇත්නම් එය අගයන්න. ඔබ ඉගෙනගන්නා අයෙකුනම් යහළුවෙකුට සටහන් ටික ලියාගන්න උදව්කරන්න. නොතේරෙන පාඩම් කියලා දෙන්න. අහඹුලෙස් ඔබගේ පවුලේ අයෙකුට/ යහළුවෙකු හට කුඩා තෑග්ගක් තිළිණ කරන්න. උපන්දින, සංවත්සර ආදියට සුභපැතුම්පතක් යවන්න. මෙවැනි ක්‍රියා මගින් ඔබගේ සිත ප්‍රීතියෙන් තබා ගන්න. ඒ වෙනුවෙන් කිසිම දෙයක් ඔවුන්ගෙන් නැවත බලාපොරොත්තු නොවන්න.
ලෝකයට යහපත් දේවල් වැඩිවැඩියෙන් කිරීමට ඔබගේ ආර්ථිකයත් වැදගත් වනවා. මුදල් වලට සතුට මිලදී ගත නොහැකි වුවත් අපට සතුට ලබාදෙන දේවල් පහසුවෙන් ලබා ගැනීමට සහ කිරීමට මුදල් වලට පුළුවනි. අසරණ පවුලකට ආර්ථිකව සහයක් ලබා දීමට, ඔබගේ දෙමව්පියන්ගේ රෝගාබාධ වලට හොද ප්‍රතිකාර ලබාදීමට, ඔබගේ මානසික යහපැවැත්ම උදෙසා දේශීය - විදේශීය සංචාර වල යෙදීම ආදී දේ සිදුකල හැක්කේ ඔබට හොද ආර්ථිකයක් ඇති නම් පමණි. ඇතැම් විට ආර්ථික අපහසුතා නිසා මෙවැනි දේවල් කිරීමට නොහැකි වූ විට තම සිතේ ඒවා තිබෙන අය කෙරෙහි ඊර්ෂ්‍යාවක්, තරහක්, වෛරයක් ඇති වන්නට පුළුවනි. මේ නිසා මුදිතාව ප්‍රගුණ කරන අතරම තමන්ගේ ආර්ථිකයත් ශක්තිමත් කර ගැනීමට උනන්දුවන්න. යම් කුඩා මුදලක් හෝ මාසිකව ඉතිරිකරන්න.
ගෙවෙන හැම මොහොතකම සතුටින් ඉන්න නම්, කාසියේ දෙපැත්තම බලාපොරොත්තුව සිටින්න. එනම්, අටලෝ දහමට කම්පා නොවී සිටින්න පුරුදුවන්න. අට ලෝ දහම යනු, දුක - සැප, ලාභ - අලාභ, යස - අයස, නින්දා - ප්‍රශංසා යන ලෝක ධර්ම අටය. මෙහි යුගල වශයෙන් පවතින ධර්මතාවල එක් ධර්මතාවයක් නොපවතින තැන එහි අනෙක් ධර්මතාවය ද පවතින්නේ නැත. සැප ලෙස හදුනාගත හැකි දෙයක් නැතිනම් දුක ලෙස හදුනාගත හැකි දෙයක් නැත. එසේම සැප බලාපොරොත්තු වේ නම් දුක ද බලාපොරොත්තු විය යුතුය. ජීවිතයේ යහපතම අපට හමුනොවේ. මේනිසා ජීවත්වීමේදී යහපත මෙන්ම අයහපත ද සම සිතින් විද දරාගැනීමට පුහුණුවන්න.
ඔබ තුල ඇතිවන අයහපත්, සෘණාත්මක, දුෂ්ථ, වරදකාරී සහ සිත පීඩාවට පත් කරන සිතුවිලි ඇති වූ වහාම ඒ සමග ඇලෙන්නට හෝ ගැටෙන්නට නොයා එම පීඩාකාරි සිතුවිල්ල අත්හැර දමන්න. මේ සදහා ඔබේම සිතුවිලි කෙරෙහි අවධානයෙන් සහ අවබෝධයෙන් සිටිය යුතුය. එසේ සිහිය පවත්වා ගැනිමට චිත්තානුපස්සනා භාවනාව පුරුදු පුුහුණු කරනන්නට ඔබට පුළුවනි.