ඔබ නොමැතිව සෙල්ලම් කිරීමට ඔබගේ සිගිත්තා පුරුදුකර ගැනීමේ ක්‍රම කිහිපයක්.

Yashodha Jayalath
${article.image}

ඔබගේ කුඩා දරුවා නිතරම ඔබගේ අවධානය ඉල්ලා සිටිනවාද ? ඔබට දරුවා ලගින් හෙල්ලෙනවත් දෙන්නේ නැතිද? ඔබගේ වැඩ රාජකාරිවලට එමගින් බාධාවක් සිදුවී තිබෙනවාද? මෙම ලිපියෙන් සාකච්චා කෙරෙන්නේ එවැනි දරුවකු වඩාත් කුතුහලය දනවන, විශ්වාසයෙන් පිරි  හා ස්වාධීන දරුවෙකු කිරීමට ඔහුට/ඇයට යම් වේලාවක් තනිවම  සෙල්ලම් කිරීමට/කාලය ගත කිරීමට උගන්වන්නේ කෙසේද  යන්න පිලිබදවයි.  

මෙසේ දරුවාට තනිවම සෙල්ලම් කිරීමට හෝ තනිවම කාලය ගත කිරීමට පුහුණු කිරීම කාර්යබහුල දෙමව්පියන්ට ප්‍රයෝජවත්වෙනවා පමණක් නොව එය කුඩා දරුවන්ට නිර්මාණශීලිත්වය සහ විවේචනාත්මක චින්තන කුසලතා ගොඩනඟා ගැනීමට ද උපකාරී වන බව මනෝවිද්‍යාඥ , අචාර්ය හිර්ෂ්-පැසෙක් සදහන් කරයි. 

කුඩා සිගිත්තා සම්පූර්ණයෙන්ම තනි කිරීම මින් අදහස් නොකෙරේ. කුඩා දරුවන් වැඩිහිටියෙකුගේ අධීක්ෂණය මත සිටිය යුතුවේ. නමුත් සෙල්ලම් කිරීම ආදී දේවල් තනිවම නොකර සෑම විටකදීම මව හෝ පියා සමග කාලය ගත කිරීමට  පෙළඹීම සහ මව හෝ පියා තමා සම්පයේම නොසිටි නම් කලබල කිරීම නිසා මවගේ සහ පියාගේ වැඩකටයුතු වලට බාධාවක් සිදු විය හැකියි. මෙනිසා යම් වේලාවක් තනිවම සෙල්ලම් කිරීමට දරුවා දිරිමත් කල යුතුය. මුලදී මෙය වඩා දුෂ්කර වනු ඇත. විශාල ඉවසීමක් සමග  විශේෂඥ උපදෙස් අනුව ඔබට මෙය කල හැකිය. 

සෙල්ලම් කිරීම තුලින්  ළදරුවන්ට සහ දරුවන්ට ලබාගත හැකි ප්‍රතිලාභ බොහොමයක් ඇත:  සැලසුම් කිරීමට, සංවිධානය කිරීමට, අන් අය සමඟ ඇසුරු කිරීමට සහ හැඟීම් නියාමනය කිරීමට ඔබේ දරුවාට ඇති හැකියාව ගොඩනැවීමට උපකාරී වේ. සෙල්ලම් කිරීම භාෂාව, ගණිතය සහ සමාජ කුසලතා වර්ධනය කරන අතර දරුවන්ට ඇතිවන  ආතතියට සාර්ථකව  මුහුණ දීමට පවා උපකාරී වේ. 

මුලදී, ඔවුන් හා එකතු වීම වෙනුවට ඔවුන් සෙල්ලම් කරන විට ඔවුන් අසල නිහඬව වාඩි වී සිටින්න. ඔවුන් කරන දෙයට ඔවුන්ගේ  සම්පූර්ණ අවධානය ලැබුණු   පසු, ඔවුන්ගේ අවධානය ඔබ වෙත නොලැබෙන පරිදි සීරුවෙන් ඔබට කාමරයේ වෙනත් කොටසකට යාමට උත්සාහ කළ හැකිය. 

කෙසේ නමුත්, ආරම්භයේ සිටම ප්‍රාතිහාර්යයන් බලාපොරොත්තු නොවිය යුතු වේ. දරුවාට කොපමණ කාලයක් තනිවම සෙල්ලම් කිරීමට හැකිද යන්න ඔවුන්ගේ වයස මත රඳා පවතී,

වයස අවුරුදු දෙක වන විට, කුඩා දරුවෙකු හට යමක් වෙත අවධානය යොමු කොට තබා ගත හැකි කාලය මිනිත්තු 5 - 6 පමණ වේ. අවුරුදු තුනක් වයසැති දරුවන්ට මිනිත්තු 8 ක් සහ අවුරුදු හතරක් වයසැති දරුවන්ට මිනිත්තු 10 ක් පමණ අවධානය පවත්වා ගත  හැකිය. ඔබේ  දරුවා ස්වාධීනව  සෙල්ලම් කිරීමට හුරු කිරීමේදී , මිනිත්තු 5 කින් ආරම්භ කර ක්‍රමයෙන් කාලය වැඩි කරන්න. මේ අනුව, අවුරුදු දෙකට අඩු දරුවන් සදහා තනිවම සෙල්ලම් කිරීම හුරු කිරීමට කලබල නොවිය යුතුවේ. ඔවුන්ගේ ක්‍රියාව අගය කිරීමට සෑම විටම මතක තබා ගන්න. 

නිසැකවම, ඔබේ කුඩා දරුවා තනිවම කරන්නේ කුමක් දැයි ඔබට දැනගැනීමට වුවමනා විය හැකි නමුත් ඔවුන් සතුටින් තනිවම සෙල්ලම් කිරීමට පටන්ගෙන ඇත්නම්,  එයට අතපෙවීමට  උත්සාහ නොකරන්න. ඔවුන් සෙල්ලම් කරන ස්ථානය සුවපහසු මෙන්ම ආරක්ෂිත බවට වග බලා ගන්න.  දුර සිට ඔබට අවධානය ලබාදිය හැකියි.  ඔබ ඉතා සමීප නම්, ඔබේ දරුවාට ඔබ වෙත අවධානය වොමු වී, ඔබේ මැදිහත්වීම ඉල්ලා නොසන්සුන් විය හැකිය. 

දරුවා සෙල්ලම් භාණ්ඩ සමග සෙල්ලම් කිරීමේදී, සෙල්ලම් කරන ආකාරය අනවශ්‍ය අයුරුන් වටහා දීමට උත්සාහ නොගත යුතුය.  ඔවුන්ම විවිධ ක්‍රම අත්හදා බලමින් සෙල්ලම් කරන අයුරු ඉගෙන ගනු ඇත. ඔබ එසේ මැදිහත් වුවහොත්, නිතරම ඔබගේ උපදෙස් පතන, ඔබ මත යැපෙන දරුවකු බිහිවිය හැකිය. 

සෙල්ලම් බඩු  ලබාදීමේදී ඔවුන්ගේ වයසට හා වර්ධන අවධීන්ට ගැලපෙන අයුරින් ලබා දෙන්න. ඔවුන්ගේ වයසට නොගැලපෙන, වඩා අභියෝගාත්මක හා සංකීර්ණ සෙල්ලම් භාණ්ඩ සමග සෙල්ලම් කිරීමට දරුවාට ඔබගේ සහාය වැඩිපුර අවශ්‍ය වනු ඇත.

එසේම, ලබා දෙන සෙල්ලම් බඩු  වල ගුණාත්මක බව පිලිබදව සැලකිලිමත් විය යුතුය. සෙල්ලම් බඩු  ප්‍රමාණයට වඩා වැදගත් වන්නේ ඒවාහි ගුණාත්මක බවයි.  ඕනෑවට වඩා සෙල්ලම් බඩු ලබාදීම,  සෙල්ලම් කිරීමේදී දරුවාගේ  අවධානය අඩු වීමට හේතු වේ. 

දරුවා ස්වාභාවිකවම කැමැත්තක් දක්වන්නේ කුමන දේවල් වලට දැයි හදුනාගැනීම,  ඔබගේ මැදිහත් වීමෙන් තොරව සෙල්ලම් කිරීම සදහා දරුවා දිරිමත් කිරීමට වැදගත් වේ. උදාහරණයක් ලෙස, ඔබගේ දරුවා නිතරම ඔබගේ රූපලාවන්‍ය භාණ්ඩ වෙත අවධානය ලබාදේ නම්  ඒවා අනුකරණය කොට නිපදවන ලද සෙල්ලම් බඩු  හෝ ඔබගේ පැරණි රූපලාවන්‍ය බුරුසු, පව්ඩර් ටින් ආදිය පිරිසිදු කොට ලබාදිය හැකියි. 

එසේම, සෙල්ලම් කරන වෙලාව නැවුම්ව තබාගත යුතු වේ.  කාලයක් යන විට සෙල්ලම් බඩු  මාරු කරන්න.  හැකි තරම් දරුවාට ගවේෂණය කිරීමට, නැවුම් අත්දැකීම් ලබා ගත හැකි පරිදි  නිර්මාණශීලි ක්‍රීඩා හදුන්වා දෙන්න. 

දරුවන් වැඩිහිටියන්ව අනුකරණය කිරීමට බොහෝ සෙයින් කැමතිය.  ඔබට දරුවා හට පුහුණු කරගත යුතු දෙයක් හෝ දරුවාගෙන් ලබාගත හැකි උදව්වක් දරුවාට පෙනෙන්නට කිරීම තුලින් දරුවා ඔබව අනුකරණය කරමින් සෙල්ලමින් එය ඉටු කර දීමට ඉදිරිපත් වේ. 

විවිධ භාවිතයන් ඇති වස්තුන් සෙල්ලම් කිරීමට දරුවා හට ලබාදීම තුලින් ගවේෂණාත්මක සහ නිදහස් චින්තනයක් සහිත දරුවකු බිහිකළ හැකිය. බිල්ඩින් බ්ලොක්ස්, කාඩ්බෝඩ් පෙට්ටි, බදුන්, පෑන්,  බොත්තම් හා සිපර් සහිත සෙල්ලම් බඩු  මේ සදහා කදිමට ගැලපේ. 

උදේ කාලයේ යම් වෙලවක් හා සහ දහවල් කාලයේ යම් වෙලාවක් ලෙස තනිව සෙල්ලම් කිරීම  ඔබේ දරුවාගේ දෛනික චර්යාවේ කොටසක් බවට පත් කරන්න. මුලදී  එය ආරම්භ කරන විට  දරුවන්ට නුහුරු බවක් දැනෙනු ඇත, නමුත් අවසානයේදී සියලු චර්යාවන් මෙන්, එය ඔවුන්ට හුරුපුරුදු වී, ඔවුන්ගේ ජීවිත රිද්මයේ කොටසක් බවට එය පත්වනු ඇත.

නමුත්, ඔබ  නිවසේ සිටින අතර තුර, ඔබ යම් කාර්යක නිරත වන අතර, ඔබගේ අධීක්ෂණය ඇතුව ඔබගේ දරුවාට තනිවම සිටීමට කාලයක් ලබා දිය හැකිය. එය ඔබටත් වඩා දරුවාට ඵලදායක වේ. එය දරුවන්ගේ  ස්වාධීනත්වය සහ ඔවුන්ගේ ස්වයං-සන්සුන් කුසලතා වර්ධනය වීමට උපකාරී වේ.

කෙසේ නමුත් දරුවා සතුටින් එම කාලය ගත කරන බවට ඔබ සහතික විය යුතුය. දරුවා කලබල කරයි නම් හෝ හඬයි නම් එමගින් කියවෙන්නේ තනිවම සෙල්ලම් කිරීම එපා වී ඇති බවයි. එහිදී ඔබගේ අවධානය ලබා දීමට පියවර ගන්න. දරුවෙකුගේ හැඩීමට දෙමව්පියන් හෝ දරුවා රැකබල ගන්නා අනිවාර්යයෙන් ප්‍රතිචාර දැක්විය යුතුය. දරුවා සැනසීමට උත්සාහ ගත යුතුවේ.