ආහාර ජීර්ණය සහ සුවතාවය

Yashodha Jayalath
${article.image}

ආහාර ජීරණය යනු අප ගන්නා ආහාර ශරීරයට අවශෝෂණය කර ගත හැකි තත්වයට පත් කර ගැනීම ලෙස සරලව හදුන්වන්නට පුළුවන්. එහිදී ආහාරයේ අඩංගු සංකීර්ණ පෝෂක සංඝටක කුඩා, සරල සංඝටක බවට පත් වේ. බටහිර විද්‍යාවට අනුව ආහාර ජීර්ණ ක්‍රියාවලිය  සම්පූර්ණ වීමට පැය 36 ගත වන බව පැවසේ. ආයුර්වේදයට අනුව ආහාර ජීර්ණය සම්පූර්ණ වීමට දින 36ක් ගත වන බව පැවසේ. එහිදී ශරීරයට අවශෝෂණය කර ගන්නා පෝෂක කොටස් මගින් “ඕජාව” නිර්මාණය වන බව සදහන් වේ. ඕජාව යනු පුද්ගලයෙකුගේ “සාරය” ලෙස හැදින්විය හැකිය.  ආහාර ජීර්ණය නියමාකාරව සිදුවීම තුලින් පුද්ගලයාව ආහාරයේ සාරය සමග සම්බන්ධ කරන බවත් ඒ තුලින් එම ආහාරය ලබාදුන් මහ පොළොව සමගත් පුද්ගලයාව සම්බන්ධ කරන බව එහි තවදුරටත් සදහන් වේ. ඒ අනුව පුද්ගලයෙකුගේ සුවතාවය කෙරෙහි ආහාර ජීර්ණය ඍජුවම බලපාන බව අපට වටහාගත හැකිය.  

ආහාර ජීර්ණය නිසි පරිදි සිදු නොවීම, හෝමෝන අසමතුලිතතාවය මෙන්ම කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ආශ්‍රිත ගැටලුවලට ද හේතුවිය හැකි බව සනාථ වී ඇත. 

අයහපත් ජීවන රටාව , තන්තු අඩු ආහාර ගැනීම, නොගැලපෙන ආහාර පරිභෝජනය, ආතතිය සහ විවිධ ආසාදන අහාර ජීර්ණය කෙරෙහි බලපාන අතර එමගින් බද පුරවාදැමීම, පාචනය, බඩේ වාතය පිරිම, උදරාබාධ, ඔක්කාරය, වමනය සහ මලබද්ධය ඇතිවිය හැකිය.  

එසේම IBS, ආහාර අජීර්ණ තත්ත්ව, බඩපපුව  දැවිල්ල,ආහාර අරුචිය වැනි තත්වයන් ද මේ හා සම්බන්ධ වේ.   

ජිවන රටාවේ සිදුකරගත හැකි වෙනස්කම් තුලින් ආහාර ජීර්ණය ශක්තිමත් කර ගැනීමටත්  ජිවිතයට සුවපහසුවක් ගෙන ඒමටත් හැකි වේ. එවන් සුළු වෙනස්කම් කිහිපයක් පිලිබදව මෙම ලිපියෙන් සාකච්චා කෙරේ.  

උදෑසන හයට පෙර අවදි වීම. හිරු උදාවීමට පෙර අවදිවී තම ශරීරය පිරිසිදු කරගෙන, දත් සහ දිව මැද, උගුර සෝදා හැර ප්‍රබෝධමත් වීම සෞඛ්‍ය සම්පන්න ජිවිතයකට සුදුසු බව පුරාණ වෙද පොත්වල සදහන්ව ඇත.  මෙසේ ශරිරය පිරිසිදු කර ගැනීමෙන් අනතුරුව අධ්‍යාත්මික කටයුත්තක නිරත වීම, සන්යමන අභ්‍යාස වල යෙදීම, යෝග අභ්‍යාස වල නිරතවීම තුලින් මනස පැහැදිලි කරගෙන දවස ආරම්භ කල හැකිය. 

රාත්‍රී නින්දට පැයකට පෙර සියලුම එලෙක්ට්‍රොනික උපාංග ආදිය ඔබ වෙතින් ඉවත් කොට හුස්ම ගැනීමේ අභ්‍යාසයක, මෛත්‍රී භාවනාව, යෝග ව්‍යායාම, ස්වයං  කථනය, නවකතාවක් කියවීම ආදී දෙයක නිරත වීමෙන් නින්දට සූදානම් විය යුතුවේ.  රාත්‍රී 10 ට පෙර නිදා ගැනීම සිදු කල යුතුය.  නිදාගැනීමට පැය 2කකට පෙර රාත්‍රී ආහාරය ගෙන අවසන් කල යුතුවේ.

ආහාර ගැනීමට විනාඩි 20-30කට පෙර මද උණුසුම් ජලය පානය කිරීමෙන් ආහාර ජීර්ණ ක්‍රියාවලිය ශක්තිමත් කර ගත හැකිය. 

ආහාර ගන්නා විට සියලුම ඉලෙක්ට්‍රොනික උපකරණ ඔබ වෙතින් ඉවත් කොට, ආහාර ගැනීම පිලිබදව සිහිය යොමුකොට ආහාර ගැනීම කලයුතුවේ.  එසේම පහසුවෙන් ජීර්ණය කල හැකි සරල ආහාර වේලකට ඔබ හුරුවිය යුතුය.  ආහාර ගැනීමට නිශ්චිත වෙලාවක් තබා ගත යුතුය. 

උදා - උදෑසන 9ට පෙර උදෑසන ආහාරය ලබාගැනීම 

දහවල් 1ට පෙර දිවා ආහාරය ලබා ගැනීම

රාත්‍රී 8ට පෙර රාත්‍රී ආහාරය ලබා ගැනීම 

ආහාර වේල් දෙකක් අතර පැය 6ක වෙනසක් තබාගන්න. එසේම ආහාර ගැනීමේදී හොදින් ආහාර විකන්න. කුස ආහාර වලින් පිරි තිබෙන විට නැවත ආහාර ගැනීම ආහාර ජීර්ණය අසම්පූර්ණව සිදුවීමට හේතු විය හැකිය. 

ඔබට ඇත්තෙන්ම බඩගිනි ඇතිවිටදී ආහාර ගැනීම කල යුතුය. එසේ ඇතිවන බඩගින්න නිරෝගී බඩගින්නකි. බොරු  බඩගිනි ඇතිවන විට ඒවා හදුනාගැනිමට ඔබ දක්ෂ විය යුතුය. බොරු බඩගින්න,  ඔබට කම්මැලි සිතෙන විට, මානසිකව ව්‍යාකූලව සිටින විට, ඔබ දුකෙන් සිටින විට, ඔබ විඩාවට පත්ව සිටින විට ඇතිවිය හැකිය.  ආහාර තුලින් මානසිකව සුවදායක හැගීමක් ලඟා කරගැනීමට බොරු බඩගිනි ඇති වේ. එසේ බොරු බඩගින්නක් ඇතිව තිබෙනවිට ආහාර ගැනීමට ඉක්මන් නොවී පොඩි විවේකයක් ලබා ගැනීම, ඇවිදීම, මද උණුසුම් ජලය පානය කිරීම ආදී දෙයක් සිදු කල යුතුවේ.  මෙවැනි ක්‍රියාකාරකම් වල යෙදෙන විට බොරු බඩගින්නක් ඇතිව තිබේ නම් එය නැති වී යයි. නමුත් මෙවැනි ක්‍රියාකාරකම් සිදු කල පසුත් බඩගිනි දැනේ නම් ඔබට සැබෑ බඩගින්නක් ඇතිව තිබේ. 

ආහාර තෝරාගන්නා විට දී එකිනෙකට ගැලපෙන ආහාර තෝරාගත යුතුය. නොගැලපෙන ආහාර එකට ගන්නා විටදී ජිර්ණපද්ධතියේ සමතුලිතතාවයට එය බාධා කල හැකිය. 

ආහාර ජීර්ණයට බාධා කල හැකි පුරුදු වලින් මිදීම . 

ශීත කල බීම වර්ග, ශීත කල ජලය නිතර පානය කිරීම ආහාර ජීර්ණ ශක්තිය හීන වන බව ආයුර්වේදයේ සදහන් වේ. එසේම, ආහාර ගත් විගස ජලය විශාල ප්‍රමාණයක් පානය කිරීම ද හිතකර නොවේ.  අධික ලෙස නිදා ගැනීම, පමණ ඉක්මවා ආහාර ගැනීම, ඉතිරිවන ආහාර අහක දැමිය නොහැකි නිසා ආහාර ගැනීම, දුක/ සතුට ආදිය වෙනුවෙන් ආහාර ගැනීම ආදිය ජිවන රටාවෙන් ඉවත් කල යුතුවේ. 

ආහාර ගැනීමට පෙර ඇවිදීම, ආහාර ජීර්ණය ශක්තිමත් කිරීමට උපකාරිවනවා. ආහාර ගැනීමෙන් පසු අසුනෙන් නැගිටීමට පෙර හොඳ ගැඹුරු හුස්මක් ගැනීමට පුරුදු වීම ගුණදායකය. 

මීට අමතරව ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිදු කර ගැනීම ඉඳ හිට හෝ කල යුතුවේ. මේ සදහා එක් දිනක් දියරමය ආහාර ලබා ගැනීම හෝ දින ½ ජලය පමණක් ලබා ගැනීම ආදිය කල හැකිය. එසේම සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ මඟපෙන්වීම මත විරේක කර ගැනීම සුදුසුය. 

ප්‍රෝබයෝටික්ස් අඩංගු ආහාර ගැලපෙන පරිදි ආහාර රටාවට එකතු කර ගැනීමත්, ඉඟුරු තේ පානය කිරීමත් ආහාර ජීර්ණය ශක්තිමත් කරගැනීමට උපකාරී වේ.