බබාගේ බර ඔබටත් ගැටළුවක් වෙලාද ?

බොහෝ මව්වරුන්ව අසහනයට පත්කරන කාරණයක් වන්නේ බබාලාගේ බර අඩු වීමයි. උපතින් පසු මාස 4-6ක් පුරා මව්කිරි වලින් පමණක් පෝෂණය වන බිළිදා ඉන් පසුව මව්කිරිවලට අමතරව වෙනත් ආහාර වලින් ද පෝෂණය කල යුතුවේ. බබාගේ බර අඩුවීම සම්බන්ධයෙන් මව්වරුන් පිඩාවට පත්වන්නේ අනෙකුත් බබාලා සමග තම දරුවා සංසන්දනය කිරීමත්, ඇතැම් පුද්ගලයින් තම දරුවා හරිහැටි වැඩී නැතිබවට කරන ප්‍රකාශ ආදියත් නිසාය. සෙමින් බර වැඩි වීම සෑම විටම ගැටලුකාරී නොවේ. ඇතැම් දරුවන් ස්වභාවයෙන්ම ප්‍රමාණයෙන් කුඩයි. නමුත් සමහර දරුවන්ගේ අඩු බර තුලින් ඔවුන්ගේ වර්ධනයේ ගැටළුවක් පෙන්විය හැකිය.
මෙම ලිපියෙන් සාකච්චා කෙරෙන්නේ බබාලාගේ බර වැඩිවීම සම්බන්ධව සාමාන්‍ය තත්වයත් ඇත්තෙන්ම ඒ ගැන වදවියයුත්තේ කුමන අවස්ථාවන් හිදී ද යන්නත් පිළිබදවය.
බිළිදෙකුගේ බර උපතින් පසු අඩුවී සති දෙකක් යන විට නැවත උපත් බර ලඟා කරගත යුතුය. හොදින් මව්කිරි බොන බබෙකුගේ බර සාමාන්‍යයෙන් මාසයකට ග්රෑම් 500 කට වඩා වැඩි වේ. කෙසේ නමුත් සෙමින් බර වැඩිවන නිරෝගී දරුවෙකුගේ බර ඒකාකාරී වර්ධනයක් පෙන්නුම් කරයි. නමුත් මාසිකව මනින බර එකම අගයක පැවතීම හෝ බර පහල යාම ගැටලුකාරී අවස්ථා ලෙස හදුනාගත හැකිය.
සීග්‍රයෙන් වැඩෙන දරුවෙකුහට අවශ්‍ය පෝෂණය නිසියාකාරව ලැබෙන බව සහතික කර ගැනීමට මාසිකව බර මැනීම ඉතා වැදගත් ය. දරුවන්ගේ වර්ධනයට සහ සංවර්ධනයට අවශ්‍ය පෝෂණය හා ශක්තිය නිසියාකාරව නොලැබුණහොත් ඔවුන්ගේ ඇවිදීම, කථනය පමා වීම සේම පාසල් යන වයස වනවිට ඉගෙනගැනීමේ දුර්වලතා ඇතිවන්නට පුළුවනි.
සෙමින් බර වැඩිවුන ද දරුවන්ගේ උස නියමිත ලෙස මාසිකව වැඩිවීමත් හිසේ වටප්‍රමාණය නිසියාකාරව වැඩිවීමත් නිරෝගී බව පෙන්නුම් කරයි.
මාස 4-6 වන විට උපත් බර මෙන් දෙගුණයක බර ලබා ගෙන තිබීම සහ අවුරුද්දක් වන විට උපත් බර මෙන් තුන් ගුණයක බර ලබා තිබීම ද නිරෝගී වර්ධනයක් පෙන්නුම් කරයි. එසේම අවුරුද්දක් වනවිට උපතේදී උස මෙන් 1.5 ගුණයක් උසද වැඩිවී තිබිය යුතුය.
දරුවාගේ පෝෂණය සම්බන්ධයෙන් සැලකිලිමත් වියයුතු කාරණා වන්නේ,
- වයස අවුරුදු 3ට අඩු දරුවෙකු හට දිනකට 5-6 වතාවක් ආහාර ලබා දිය යුතුය. මෙහිදී ප්‍රධාන ආහාර වේල් 3ක් කෙටි වේල් 2ක් ලෙස ආහාර ලබා දිය යුතුය. කෙටි වේල් සදහා ප්‍රධාන ආහාර වේලේ ප්‍රමාණය මෙන් අඩක් වන්නට ලබා දිය යුතු අතර පළතුරක්, යෝගට්, චීස් ආදී ලෙස ලබාදිය හැකිය.
- ආහාර පිසීමේදී මේදය එකතු කල යුතුය.
- දිනපතා තද කොළ පැහැති එළවලු ආහාරයට එකතුවිය යුතුය.
- ආහාර ලබාදෙන කෝප්ප, පිගන්, බෝතල් ආදිය හොදින් පිරිසිදු කොට භාවිතා කල යුතුය. ආරක්ෂාකාරී ලෙස තබා ගැනීමට ද කටයුතු කල යුතුවේ.
- දරුවාගේ ආහාර වේලට විවිධත්වයෙන් යුතු ආහාර එක් කල යුතුය.
- දරුවාගේ ආහාරය පිළියෙළ කොට වැඩිවෙලාවක් නොතැබිය යුතුය.
- මාළු ලබා දීමේදී කුඩා මාළු වර්ග ලබා දිය යුතුය.
ගැටලුකාරී බර අඩු වීමකදී බබාට අවශ්‍ය පෝෂණය හා ශක්තිය නිසි ලෙස නොලැබේ නම්, පහත ලක්ෂණ දැකිය හැකිය.
- අවට පරිසරය පිලිබදව ඇති උනන්දුව අඩු වේ.
- නිතරම නිදි මතේ සිටියි.
- නිතරම හඩමින් කලබලකාරී ලෙස හැසිරේ.
- කායික ක්‍රියාකාරකම් වන පෙරලීම, වාඩිවීම, ඇවිදීම ආදිය සිදු නොකරයි.
වර්ධනය අඩාල වීමට හේතු,
- කැලරි අවශ්‍ය පමණින් නොලැබීම.
ෆෝමියුලා ලබා දෙන බබාලා හට ජලය සහ ෆොමියුලා අනුපාතය හරිහැටි මිශ්‍ර නොකිරීම, මව්කිරි ලබාදීමේ ගැටළු, ඝන ආහාර පටන් ගැනීම, බබාගේ බඩගින්න දනවන සංඥා පිලිබදව ඇති අනවබෝධය හේතුවෙන් බබා බඩගින්නේ සිටීම.
- යහමින් ආහාර නොගැනීම
සමහර දරුවන්ගේ සංවර්ධනයේ ඇති ප්‍රමාදයන් නිසා ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරති. ඇතැම් දරුවන් තෝරා බේරාගෙන ආහාර ගැනීමට පුරුදු වී ඇත. ආහාර සැපිමේ සහ ගිලීමේ අපහසුතා ඇති දරුවන් ද ආහාර ගැනීමට අකමැති වේ. මීට අමතරව ඔටිසම් තත්වය සහිත දරුවන් සමහර ආහාර ගැනීමට අකමැත්තක් දක්වති. මේ හේතු නිසා දරුවන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් ආහාර ලබා දීම දෙමව්පියන්ට අපහසු වේ. අසනීප වී සුවය ලැබූ දරුවන් ද ආහාර ගැනීමට අකමැත්තක් දක්වයි. එසේම දත් එන අවදියේදී ආහාර රුචිය අඩුවන නිසා ද, එකම කෑම වර්ගය නිතරම දෙන නිසා ද, බඩගිනි ඇතිවීමට පෙර ආහාර දීම නිසා ද දරුවෝ ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරයි.
- බබා ලබාගන්නා ආහාර වලින් පෝෂණය ශරීරයට නිසියාකාරව උරා ගැනීමේ ගැටළුවක්, එනම් ආහාර ජිර්ණයේ ගැටළුවක් තිබීම.
GERD තත්වය, සිස්ටික් ෆයිබ්රෝසිස්, නිදන්ගත අක්මා රෝගය, සිලියැක් රෝගය ආදී හේතු මත දරුවන් පෝෂණීය ආහාර ලබා ගත්තද බර වැඩි නොවිය හැකිය.
- ආහාර හා කිරි වලට ඇති අසාත්මිකතා. විශේෂයෙන් යෝගට් සහ චීස් වලට සංවේදී වීම නිසා කිරි ආහාර ලබා ගත නොහැකි දරුවෝ සිටිති.
- නොමේරු දරු උපත් : නොමේරු දරුවන් නියමිත් බර ලබා ගැනීමට ගන්නා කාලය සාමාන්‍යයෙන් වැඩිය.
- විවිධ ආසාදන
- පරිවෘර්තිය අක්‍රමතා නිසා ආහාර බිඳ වැටීම නිසියාකාරව සිදු නොවන බැවින් වමනය ඇති වේ. මෙවන් දරුවන් ද ආහාර අඩුවෙන් ලබා ගන්නේ අඩුවෙනි.
- අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිත රෝග, හර්ධයේ ගැටළු, ස්වසන පද්ධතියේ ගැටළු, හෝමෝන අක්‍රමිකතා ආදී වෛද්‍යමය හේතු සහිත දරුවන්ට වැඩි කැලරි ප්‍රමාණයක් අවශ්‍ය වේ.
- ආහාර සදහා රුචියක් නොමැති වීම
මීට අමතරව, බබාගේ වර්ධනයට අවශ්‍ය පෝෂණීය ආහාර ප්‍රමාණවත් තරමින් නොලැබීම, මව්පියන්ගේ ආර්ථික තත්වය, දවසේ වැඩි වෙලාවක් දරුවා තනිව ගත කරන්නේ ද යන්න(වැඩි අවධානය පෙන්වීමක්, උත්තේජනය කිරීමක් දරුවන්ට අවශ්‍ය වේ), දෙමව්පියන්ගේ කායික සහ මානසික නිරෝගීභාවය ආදී භාහිර සාධක ද දරුවන්ගේ බර වැඩිවීමට හේතු වේ.
දෙමව්පියන් ද කුඩා කාලයේදී ප්‍රමාණයෙන් කුඩා වීම වැනි ජානමය හේතු නිසා ද දරුවන්ගේ බර සෙමින් වැඩිවිය හැකිය.
ඔබගේ දරුවාගේ බර සෙමින් වැඩිවේ නම් හෝ ඔහුගේ/ ඇයගේ වර්ධනය අදාළ වී යැයි ඔබට සැකයක් ඇතිනම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. එම තත්වය බියවිය යුතු කාරණයක් නොවේද නැතිනම් අවධානය යොමුකළ යුතු කාරනාවක් දැයි වෛද්‍යවරයාට තීරණය කල හැකිය. දරුවාගේ තත්වය අනුව බර අඩුවීමට නිවැරදි හේතුව සොයා ගැනීමට විවිධ පරීක්ෂණ ආදිය ද වෛද්‍යවරයා නිර්දේශ කල හැකිය. එමගින් නිවැරදි හේතුව සොයා ගෙන ඊට පිළියම් යෙදීම කලයුතුය. ආහාර විකිමේ හෝ ගිලීමේ අපහසුවක් ඇතිනම් ඔහු විසින් ඒ සම්බන්ධව පුහුණුවලත් විශේෂඥයෙකු වෙත දරුවා යොමු කරනු ඇත.
ඔටිසම් තත්වය ඇති දරුවෙකු සදහා ආහාර වල ස්වභාවය, රසය, සුවද සහ පෙනුම බලපෑම් ඇති කල හැකි බැවින් ඒවා හදුනාගෙන අවශ්‍යතාවය අනුව එම වෙනස්කම් සිදුකොට ආහාර ලබා දිය හැකිය.
බබා සදහා ආහාර සැලසුමක් සකසා ගැනීමට සුදුසුකම්ලත් පෝෂණවේදියෙකුගේ සහය පැතීම වඩා සුදුසුය.
මව්පියන් ගේ ආර්ථික තත්වය නිසා දරුවෙකු හට පෝෂණීය ආහාර ලබා දීමට නොහැකි වී ඇතිනම් ඒ පිලිබදව කටයුතු කරන සමාජ සේවකයෙකු වෙත යොමු කල යුතුවේ. මවගේ සතුට සහ නිවසේ සාමාජිකයන් අතර සාමකාමී බවද දරුවන්ගේ බර කෙරෙහි බලපෑම් ඇතිකරන බැවින් ඒ සම්බන්ධ හේතුවක් නිසා දරුවාගේ වර්ධනය අඩු වේ යැයි නිරීක්ෂණය වන විට සුදුසුකම්ලත් මනෝඋපදේශකයෙකු හෝ පවුල් උපදේශනය සදහා යොමු වීම/ කිරීම වැදගත් වේ.
කෙසේ නමුත්, කිසිදු විටක කිසිදු අයෙක් දරුවාගේ බර අඩු වීම හේතුවෙන් මව හට පිඩාවක් වන අයුරුන් කටයුතු නොකළ යුතු අතර මවව ඒ සදහා ශක්තිමත් කිරීමට, දැනුවත් කිරීමට සහ මවට උපකාරී වීමට සමාජයක් ලෙස අප සියල්ලෝම උත්සාහ ගත යුතුවේ.