නිදන්ගත ප්‍රදාහය සහ යහපැවැත්ම.

Yashodha Jayalath
April 30, 2022
${article.image}

ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රිය වන්නේ ශරීරය තුලට වෛරස්, බැක්ටිරීයා, විෂ රසායනික ද්‍රව්‍ය ඇතුළු වීමක් හෝ ශරීරයට යම් තුවාලයක් වැනි ආපදාවක් ඇති වූ විටදී ය. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පළමු ප්‍රතිචාරය වන්නේ ප්‍රදාහක ප්‍රතිචාරයයි. ප්‍රදාහක ප්‍රතිචාර ඇතිවීමේ අවශ්‍යතාවය වන්නේ ශරීරයට ඇතුළු වූ ආගන්තුක ද්‍රව්‍ය විනාශ කිරීම හෝ ශරීරය සුවපත් කිරීමයි. සමෙහි ඇතිවන ඉදිමීම, රතුවීම, කැසීම, පලු දැමීම  සහ තැලුම් ස්වභාවය ආදිය ලෙසින් එය දැකගත හැකි අතර ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් සහ පටක වල ඇතිවන ප්‍රදාහය අපට දැකගත නොහැකි වේ. 

ප්‍රදාහය ආකාර දෙකකින් පවතියි.

ස්ථානීය ප්‍රදාහය : ඇගිල්ල කැපීම වැනි ශරීරයට හදිසියේ සිදුවන හානියක දී ඇතිවන්නේ ස්ථානීය ප්‍රදාහයයි. එහිදී තුවාලය සුව කිරීම උදෙසා ප්‍රදාහක සෛල තුවාලය සිදුවූ ස්ථානයට ගමන් කරයි.  

නිදන්ගත ප්‍රදාහය : මෙහිදී සිදුවන්නේ බාහිරින් සිදුවූ  අනතුරක් නොමැති විට දී පවා ප්‍රදාහක සෛල ක්‍රියාකාරී වීමට පටන් ගැනීමයි. නිදසුනක් වශයෙන්, රූමැටොයිඩ් ආතරයිටිස් රෝගයේ දී ප්‍රදාහක සෛල සහ ඊට අදාළ ද්‍රව්‍ය විසින් සන්ධි පටක වලට පහර දේ.  එමඟින් සන්ධි වල වේදනාව මෙන්ම විකෘතිතා හෝ සන්ධිවලට දැඩි හානි සිදු වීමේ හැකියාව ඇත. ශරීරයේ ආරක්ෂාව සදහා කටයුතු කරන යාන්ත්‍රණය වන ප්‍රදාහය මෙහිදී ශරීරය රෝගී කරන සතුරෙකු ලෙස හැසිරීමට පටන් ගනියි.   නිදන්ගත ප්‍රදාහය මගින්  හෘද වාහිනී රෝග, පිළිකා,  දියවැඩියාව, ඇදුම, ඇල්ෂයිමර් රෝගය ආදී  අනෙකුත් රෝග තත්වයන් ඇතිවිය හැකි බවට විද්‍යාත්මක සාධක ඉදිරිපත් වී ඇත. 

නිදන්ගත ප්‍රදාහය ආකාර කිහිපයකින් වර්ධනය විය හැක.

එක අකාරයක් වන්නේ ශරීරයට ඇතුළු වුනු ජීවියෙකු, හානිකර විෂ රසායනික ද්‍රව්‍යක් හෝ ආගන්තුක ද්‍රව්‍යක් ශරීරයෙන් ඉවත් කිරීමට නොහැකිවීම නිසා ප්‍රාදාහක ප්‍රතිචාරය දිගටම පැවතීමයි. අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කෙතරම් ශක්තිමත් වුවද ඇතැම් ව්‍යාධිජනකයින් අපගේ ප්‍රතිශක්තිකරණයට තද ප්‍රතිරෝධීතාවයක් දැක්වීමේ හැකියාවෙන් යුතුය. මෙනිසා දිගින් දිගටම ප්‍රදාහය පැවතීමේ හැකියාව ඇත. 

නිදන්ගත ප්‍රදාහය ඇතිවීමේ තවත් එක අකාරයක් වන්නේ අපගේ ශරීරය තුල කිසිදු සැබෑ උවදුරක් නැතත් ශරීරයේ ප්‍රතිශක්තිකරණය එසේ උවදුරක් ඇතිවාක් මෙන් හැසිරීමට පටන් ගැනීමයි. ස්වයං-ප්‍රතිශක්තිකරණ රෝග වලදී  ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශරීරයේම නිරෝගී සෛල හා පටකවලට “තර්ජන” ලෙස හදුනාගැනීම සිදුවේ. එතුලින්  සන්ධි, බඩවැල් හෝ වෙනත් අවයව හා පටක වලට හානි කරයි.

ස්ථානීය ප්‍රාදාහය සදහා නිසි ප්‍රතිකාර ලබා නොදීම නිසා ද නිදන්ගත ප්‍රදාහ තත්වය ඇතිවිය හැකිය. 

සෞඛ්‍යයට අහිතකර ජීවන රටාව ද, නිදන්ගත ප්‍රදාහය  ඇති කිරීමට හේතු වේ. දුම්පානය, අධික ලෙස මධ්‍යසාර භාවිතය, ස්ථුල ශරීරය, නිතිපතා ව්‍යායාම කිරීමට අපොහොසත් වීම මෙන්ම අධික ලෙස ව්‍යායාම කිරීම, පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර නිතර ගැනීම සහ දිගු කාලයක් ආතතියෙන් පසුවීම ආදී කාරනා  නිදන්ගත ප්‍රදාහය ඇතිවීමට හේතු  විය හැකිය. ලොව පුරා සිදුවන මරණ වලට ප්‍රධාන හේතු සාධක වන හෘද රෝග, ආඝාතය, දියවැඩියාව, පිළිකා සහ නිදන්ගත ස්වසන රෝග ඇතුළු බොහෝ රෝගවල වැළදීමේ  අවදානම නිදන්ගත ප්‍රදාහ තත්වය නිසා වැඩිවේ. 

නිදන්ගත ප්‍රදාහයේ රෝග ලක්ෂණ ස්ථානීය ප්‍රදාහයේ රෝග ලක්ෂණ මෙන් පැහැදිලි ලෙස විද්‍යාමාන නොවේ. නිදන්ගත ප්‍රදායහ ශරීරයේ පුරා පැතිරී තිබීමට මෙන්ම ශරීරයේ නිශ්චිත ප්‍රදේශවලට සිමා වී තිබිමේ හැකියාව ඇත.  එබැවින් රෝග ලක්ෂණ ද සැලකිය යුතු ලෙස වෙනස් විය හැකිය. ඒවා නම්, 

  • තෙහෙට්ටුව සහ ශරීර ශක්තිය මදිකම 
  • මානසික අවපීඩනය, කාංසාව
  • මාංශ පේශි වේදනාව සහ සන්ධි වේදනාව
  • මලබද්ධය, පාචනය සහ අනෙකුත් ආමාශ/ අන්ත්‍ර සම්බන්ධ අපහසුතා 
  • බර හෝ ආහාර රුචිය වෙනස් වීම
  • හිසරදය
  • පැහැදිලිව සිතීමේ හැකියාව දුර්වල වීම 

නිදන්ගත ප්‍රදාහ තත්වයෙන් මිදීමට මෙන්ම නිදන්ගත ප්‍රදාහය ඇතිවීම වලක්වා ගැනීමට අපට කල හැකි දෑ වන්නේ,

  • ඇරොබික්ස් ව්‍යායාම වල යෙදීම අනවශ්‍ය ප්‍රදාහය වලක්වා ගැනීමට ද උපකාරිවනවා. 
  • බර අඩු කර ගැනීම, විශේෂයෙන්ම උදරයේ මේදය තැන්පත් වීම වලක්වා ගැනීම ප්‍රදාහය වලක්වා ගැනීමට වැදගත් වනවා. 
  • සුවබර නින්දක් ලබා ගැනීම. ප්‍රමාණවත් නින්දක් ලබා නොගැනීම මගින්  ඔබට ශක්තිය සහ ඵලදායිතාව අහිමි කරනවා පමණක් නොව, එය ප්‍රදාහය ද ඉහළ නංවනවා. එය විශේෂයෙන්ම  හෘද සෞඛ්‍යයට අනතුරුදායක වේ.
  •   දුම් පානයෙන් වැලකීම. 
  • මධ්‍යසාර භාවිතය අඩු කිරීම.
  • දිගුකල් පවතින ආතතියෙන් මිදීම. නිදන්ගත ආතතිය මගින්  ප්‍රදාහය  වර්ධනය කිරීමට හේතු විය හැකි අතර රූමැටොයිඩ් ආතරයිටිස්, හෘද වාහිනී රෝග, මානසික අවපීඩනය සහ IBS වැනි බඩවැල් ආශ්‍රිත රෝග ආදී  ගැටළු ඇති කිරීමට හේතු විය හැකිය.
  • ආහාර රටාව පිලිබදව සැලකිලිමත් වීම සහ අවශ්‍ය පරිදි වෙනස් කම් කිරීම. 

මහජන සෞඛ්‍ය පිළිබද වූ හාවර්ඩ් විද්‍යාලයේ (Harvard School of Public Health)  පෝෂණ දෙපාර්තමේන්තුවේ පෝෂණ හා වසංගත රෝග පිළිබඳ මහාචාර්ය ෆ්‍රෑන්ක් හූ පවසන ආකාරයට ආහාර සහ පානවල අඩංගු වන සංඝටකවලට ප්‍රතිප්‍රදාහක ගුණ පවතින බව බොහෝ පර්යේෂණාත්මක අධ්‍යයනවලින් පෙන්නුම් කොට ඇත. ඔබ නිදන්ගත ප්‍රදාහක තත්වයෙන් පිඩා විදියි නම් ප්‍රති - ප්‍රදාහක ආහාර රටාවකට යොමු වීම වඩා හිතකර වේ. විශේෂයෙන් ශාක ප්‍රභව  මත පදනම් වූ ආහාර රටාවකට යොමු වීම යහපත් වනවා. ප්‍රදාහය අඩුකර ගැනීම සදහා පහත දැක්වෙන ආහාර හැකිතාක් වළක්වා ගැනීමට හෝ සීමා කිරීමට උත්සාහ කරන්න,

  • සුදු පාන් සහ පේස්ට්‍රි වැනි පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට්
  • ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සහ අනෙකුත් බදින ලද ආහාර 
  • සෝඩා සහ අනෙකුත් පැණිරස පාන වර්ග
  • රතු මස් සහ සැකසූ  මස් වලින් සාදන ලද හොට් ඩෝග්, සොසේජස් ආදී ආහාර වර්ග 
  • මාගරින් සහ මේද තැවරුම් වර්ග 

දෙවන වර්ගයේ දියවැඩියාව සහ හෘද රෝග වැනි නිදන්ගත රෝග ඇතිකිරීමට  වැඩි දායකත්වයක් දෙන සමහර ආහාර ශරීරයේ අතිරේක ප්‍රදාහය තත්වයක් ඇති කිරීමට ද  සම්බන්ධ වන බව  ආචාර්ය හූ පවසයි. 

අනවශ්‍ය ප්‍රදාහ තත්වයක් ශරීරයේ ඇතිවීම වලක්වා ගැනීමට බැදපු ආහාර, රසකැවිලි, රතු මස් සහ සුදු පිටි නිෂ්පාදන වලින් වැළකී සිටීම මෙන්ම දොඩම්, නෙල්ලි, උගුරැස්ස, ස්ට්‍රෝබෙරි ආදී පලතුරු වර්ග, කොළ පැහැති එළවළු, තක්කාලි,  අල වර්ග, සම්පූර්ණ ධාන්‍ය, ආමන්ඩ් වැනි ඇට වර්ග, සහ ඔලිව් තෙල් ආහාර වේලට වැඩි පුර එකතු කර ගැනීමත් සම ඉවත් කල කුකුල් මස්, මුහුදු ආහාර, බිත්තර, මුදවපු කිරි ආදිය සුදුසු පරිදි ආහාර වේලට එකතු කර ගත හැකිය. ප්‍රති ප්‍රදාහක ආහාර ඔබගේ ජිවිතයට එකතු කර ගැනීමෙන් නිදන්ගත රෝග වලින් වැලකිසිටීමට හේතුවනවා. 

අපගේ බඩවැල් වල ජීවත් වන බැක්ටීරියාවන්ගේ ජාන වලට අපගේ සෞඛ්‍යයට බලපෑම් කළ හැකි බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. ඉහත සදහන් කල ප්‍රති ප්‍රදාහක ආහාර වැඩිපුර ආහාරයට ගන්නා පුද්ගලයන්ට බඩවැල් වල පිළිකා, අක්මාවේ මේදය තැන්පත් වීම සහ වෙනත් බරපතල රෝග වැලදීම අඩු බවට විවිධ පර්යේෂණ වලින් තවුරුවී තිබෙනවා. මෙයට හේතුවක් ලෙස බඩවැල් වල ජිවත්වන ක්ෂුද්‍රජීවින්ගේ සිදුවන වෙනස්වීම් බව පර්යේෂකයින් විශ්වාස කරනවා. 

ප්‍රදාහය අඩු කිරීමට අමතරව, හැකිතාක් ස්වාභාවික මෙන්ම අඩුවෙන්  සැකසූ ආහාර වේලක් මගින්  ඔබේ ශාරීරික හා චිත්තවේගීය සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි සේම ඔබගේ මනෝභාවය සහ සමස්ත ජීවන තත්ත්වය  වැඩිදියුණු කිරීම සඳහා ද ප්‍රයෝජනවත් වන බව අමතක නොකරන්න.