විදර්ශනා වඩන්නට පුහුණු කරමු!

පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ සදහම් දේශනාවක් අනුසාරයෙන් සැකසූ මුහුණු පොතෙන් කියවීමට ලැබුණු ලිපියක් ධර්ම දානය උදෙසා මෙහි පළ කරන්නනෙමු.
වැරදි සිතිවිලි නිසා, වැරදි කාය කර්ම, වචී කර්ම උපදිනවා. එවිට පාප කර්මමයි සිදුවෙන්නෙ. පාපී සිතුවිලි උපන්නහම ඒවා තමන් විසින් කැමැත්තෙන්ම පෝෂණය කරනවා. ඉන් මෝහයෙන් යුත් සිතේ යම් මිහිරකුත් ඇතිවන නිසා කැමති වෙන්නෑ වෙන්වෙන්න. බුදුරජාණන් වහන්සේ තමයි සිතිය යුතු, නොසිතිය යුතු දේ වශයෙන් වහාම ප්‍රහාණය කළ යුතු අකුසල ධර්ම වදාළේ.
ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූල නිසයි අකුසලයන් හටගන්නෙ. ඒවායින් සැපයක් නැහැ. මානසික පීඩාවන් තමයි ඇතිවෙන්නේ. ලෝභ, ද්වේෂ එක්ක සහජාතව මෝහය එනවා. රිදුමක් හිතේ ඇතිවෙනවානම් එතන මෝහය තියෙනවා. සැබෑ මානසික තෘප්තියක් බලාපොරොත්තු වෙනවානම් ලෝභ, ද්වේෂ, මෝහ දුරු නොකර ඒක ලබන්න බෑ. කවුරු මොනවා කිව්වත් බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා දක්නා නුවණින් වදාළ සියල්ල සත්‍ය නිසා එය එසේමයි. ඔබ වුණත්, මම වුණත් නොකළ මනා දෙයක් කළා නම් ශාන්තියක් ඇතිවෙන්නෑ වගේම බුදුපියාණන් වහන්සේ විසින්, කළ යුතු යැයි වදාළ දෙයක් කළොත් ශාන්තියක් ඇතිවෙනවමයි.
ඒ නිසා හිතාගන්න බුදුරජාණන් වහන්සේ කරන්න කියලා වදාළ දේවල්ම සිදුකරනවා. එපා කිව්ව දේවලින් මිදෙනවා. ඉන්න ටික කාලෙදී අවෛරයෙන් මෛත්‍රියෙන් ජීවත්වෙන්න උත්සාහ කරනවා කියලා. සුවසේ නින්දක්වත් යන්නෑ නරක් වූ, නපුරු හිත් තියෙන අයට. එවන් අයට කොච්චර අවවාද අනුශාසනා දුන්නත් පළක් නෑ මෝහයේ අඳුරෙන් වසඟ වෙලා නිසා. කෙලෙස් වසඟය තරම් වසඟයක් ලොවේ නෑ. මිනිස් ජීවිතයේදී පවා නීච තත්ත්වයකට වට්ටන්න පුලුවන් ඒවාට.
කෙලෙස් ගැන හරිහැටි තේරුමක් නැති නිසයි ඒවාට අහුවෙන්නෙ.ඒ නිසා ඒ ගැන දැන ඉගෙන තිබීමම පවා වටිනවා. බුදුරජාණන් වහන්සේ කළ මනා නොකළ මනා දේවල්, යා යුතු නොයා යුතු මඟ, ඇසුරු කළ යුතු නොකළ යුතු අය ගැන මහා කරුණාවෙන් තෝරා දුන්නා. දුරු කරන ලද ලෝභ, ද්වේෂ, මෝහය, මානය ඇති කෙනා ශාන්ත වූ පිරිනිවීමෙන් සැනසෙනවා. එය ලැබීම පිණිස පුද්ගලයෙකුගේ මනෝ භාවය සකස්විය යුතු විදියට ඉමහත් මෛත්‍රියෙන් උන්වහන්සේ අපට වදාළා. ක්‍රෝධය, එකට එක කිරීම, මානය ඉවත් කරගත යුතුම බව කියාදුන්නා. දෙව්රම් වෙහෙරේ වැඩසිටියදී වදාළ මේ දෙසුම අපට ඒ සඳහා මහෝපකාරී වේවි.
ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඔවුන්ට පහත සදහන් විලසින් සිතුවිලි හිතේ ඇතිවුණ විට එයින් යහපතක් වෙන්නෙ නෑ.
"මගේ සතුරා දුර්වර්ණ කෙනෙක් වෙනවානම් හොඳයි, කායිකව අවලස්සන වෙනවානම් හොඳයි" කියන හැඟීම. ඇයි එහෙම හිතක් ඇතිවෙන්නෙ? හතුරෙක් හතුරෙකුගේ වර්ණවත්භාවය බලාපොරොත්තු වෙන්නෙ නැහැ. පෙනුමට ලස්සනට ඉන්නවා දකින්න කැමති නෑ. ක්‍රෝධයෙන් වෛරයෙන් මානසික ගැටීමෙන් යුක්ත කෙනාගෙ ඒ හිත් එහෙමත් පහළ වෙනවා. අනෙකාගේ අවලස්සන ප්‍රාර්ථනා කරනවානම්, එයා කොයිතරම් ලස්සන, පිරිසිදුව කණකර ආභරණ පළඳගෙන සුවඳ විලවුන් ගල්වගෙන හිටියත් එයා ක්‍රෝධයෙන් පටිඝයෙන් ඇවිලීගෙන නම් ඉන්නෙ, ලස්සන පිළිවෙල ගැන අනුමෝදන් වෙන්නැතිනම් එයාත් නොදැනුවත්වම දුර්වර්ණයටම පත්වෙනවාමයි. හේතුව එයා ක්‍රෝධය නම් අකුසලය හිතේ දරාගෙනයි සැරසී ඉන්නෙ. බාහිරින් ලස්සන වෙන්න හැදුවට එතකොට පලක් නැහැ. ගැහැණු පිරිමි දෙපිරිසිටම මේ කරුණ පොදුයි.
ඇතැම් වෛරක්කාරයෝ හිතනවා "මගේ මේ සතුරා වෛරක්කාරයා දුක සේ නිදාගන්නවානම් හොඳයි" කියලා. සතුරාට සුවසේ නින්ද ලැබෙනවාටවත් කැමති නැහැ. හතුරෙක්, හතුරෙක්ගේ සුවපහසු නින්ද සැප පහසු දිවිගෙවන ජීවිත දැකලා අනුමෝදන් වෙන්නෑ. එහෙම ක්‍රෝධ කරන කෙනා සුව පහසු කොට්ට මෙට්ට ඇතිරිලි වල ඉන්නවා වුණත් එයාට කවදාවත් හොඳ නින්දක් ලැබෙන්නෙ නෑ. මොකද එයා හිත ඇතුළෙන් අනෙකාගේ සුවසේ දිවි ගෙවීම, සුවසේ නිදාගැනීම, අවදිවීම අනුමෝදන් වීමක් සිදුවෙන්නැති නිසා. බලන්න වෛරය, ක්‍රෝධය, පටිඝයේ ආදීනව. ඔබ සුවපහසු ජීවිතයක්, බබලන රුවක්, සමෘද්ධිමත් ජීවිතයක් බලාපොරොත්තු වෙනවානම් පටිඝයෙන් වෛරයෙන් වෙන් විය යුතුමයි.
"මගෙ මේ සතුරාට බොහෝ ධන සම්පත්, භව භෝග යස ඉසුරු නැතිවෙලා දුප්පත් වෙනවානම් හොඳයි" කියලා හිතනවා. බලන්න වෛර කරන පුද්ගලයෙකුගේ හිත. තව කෙනෙක් දුප්පත් වෙනවාටයි කැමති. අනර්ථය, අලාභය උපදවන දේවල් කරමින් එයම අර්ථයයි කියලා හිතනවා. යහපත් දේ ගැන, අයහපත් කියලා හිතනවා. ක්‍රෝධයෙන් මැඩුනු පුද්ගලයාගේ හිත ඒ වගේ මිසදිටු අදහස් සමාදන් වෙලා මහා දුකකට වැටෙනවා. මේ දෙකෙන්ම අන්තිමට වෙන්නෙ ඒ කෙනා මහා දුකකට අගාධයකට වැටීමමයි. කවදාවත් අන් කෙනෙකුගේ පරිහානියක් අපේක්ෂා කරන්න එපා. දියුණුවම පතන්න. එයින් මුදිතා භාවනාව, කුසලයකුයි වැඩෙන්නෙ. හිතන විදිය වෙනස් කරගත්තම උදේ දවල් පින් වඩාගන්න ක්‍රම හැදෙනවා. මිල මුදලිනුත් තොරව මෙලොව පරලොව යහපතටම හේතු සැකසෙනවා. ක්‍රෝධයෙන් මැඩුනු කෙනාට මොන තරම් උගතෙක් වුණත් ද්වේෂයට නතුවුණාම හරිවැරැද්ද පේන්නෑ. ක්‍රෝධයෙන්, වෛරයෙන් සමාදන් වුණාම සත්‍යය පෙනෙන්නෙ නෑ. වෛරයෙන් සැනසුන, එකට එක කරලා දිනපු එක කෙනෙක්වත් ඉතිහාසයේ නෑ. ක්‍රෝධ නොකිරීමෙන්මයි ක්‍රෝධ කරන්නාව ජය ගත හැක්කේ. දන් දීමෙන් මසුරුකමත්, මෛත්‍රියෙන් වෛරයත් ජයගත යුතුයි කියලයි බුදුපියාණන් වහන්සේ වදාළේ.
ඔවුනොවුන්ට වෛර කරන අය අනෙකාට භව භෝග නොලැබෙනවානම් හොඳයි කියලා හිතනවා. ගොයම්, ධාන්‍ය, භව භෝග නොලැබේවායි හිතනවා. හතුරෙක් හතුරෙකුට භව භෝග ලැබෙනවා දැකලා කවදාවත් සතුටුවෙන්නෑ. ද්වේෂය ඇතිවෙනවා. අනෙකාගෙ දේවල් දැකලා "අනේ මෙයාට මේවා නැතිවෙනවානම්" කියලා හිතනවානම් ඒක මහා පාපයක්. ක්‍රෝධයෙන් වෛරයෙන් උමතුවෙලා ඉන්න කෙනා, ධර්මානුකූලව ඉපැයුවත් තව කෙනෙකුගේ භව භෝග ගැන ඉරිසියාව, ද්වේෂය හටගන්නවානම් ධාර්මිකව ඉපැයු දේවල් පවා අහිමි වෙනවා ඒ කෙනාට. හම්බ කරපුවාට මොනවා වුණාද කියලා හිතාගන්න බැරි විදියට විනාශ වෙලා යනවා. ඒ නිසා අනුන්ගේ සැප සම්පත් අනුමෝදන් වෙන්න. නැතිනම් නොසිතූ විදියට රැකියා, ඉන්න තැන්, යාන වාහන ආදිය නැතිවීම් සිදුවෙන්න පුලුවන්. මේ දේවල් මේ ජීවිතයෙදිම පවා එහෙම වෙනවා.
තමන් වෛර කරන කෙනාට කීර්ති නාමයක් ඇතිවෙනවාට කැමති නැහැ. හතුරෙක්, හතුරෙකුගේ කීර්ති නාමය දැකලා සතුටු වෙන්නෑ. ක්‍රෝධයෙන් වෛරයෙන් මත්වුණාම එහෙමයි. ඒ කෙනා ඇත්තටම සමාජයේ ධර්මානුකූලව හැකියාවෙන් කීර්තිමත් වෙච්ච කෙනෙක්වුණත් එයාට ඒ දේවල් අහිමිවෙනවා, අන් අයගේ කීර්ති නාමයන් දිහා බලලා අනුමෝදන් නොවුන නිසා. ඒකට අකැමති වුණ නිසා. ඒ නිසා කෙනෙකුගේ කීර්ති නාමය, ජනප්‍රිය භාවය, යස ඉසුරු අනුමෝදන් වෙන්න. නැත්නම් තමන්ම අන්ත අසරණව කාත් කවුරුත්ම නැතිවෙනවා.
"මගේ සතුරාට මිතුරන් ඇතිනොවෙනවානම් හොඳයි!" ඔහු වටා පිරිස් බලයක් ඇතිවෙනවාට, යහළුවන් සමඟ මෛත්‍රියෙන් ඉන්නවාට කැමති නැහැ. හතුරා, හතුරෙකුගේ මිතුරන් ඇති බවට කැමති නැහැ. දුකට පත්ව ඉන්න බවටයි කැමති. එමගින් ඔහුම අගාධයකට පත්වෙනවා. ඒ නිසා කිසිවෙකුගේම පරිහානියක් අනුමෝදන් වෙන්න එපා. අතිරේකව නොමිලයේම පින් උපදවාගන්න අනුමෝදන් වෙන්න සතුටින්ම මේ මොහොතේ පටන්ම. අනෙකාට මිතුරන් නැතිවේවායි හිතන කෙනාට, කලින් මිතුරන් ඥාතීන් හිටියත් ඔවුන් පවා නැතිවෙනවා, ඈත් වෙන්න ගන්නවා. ඒ නිසා ඔබ යමෙකුට වෛර කරනවා නම් ඒ කෙනාට මේ ඵල ලැබෙනවා. කා ගැනවත්ම දිගට දිගට වෛරය, ඉරිසියාව ආදී කිසිවක්ම පැවැත්වුවොත් මේ දේවල් සිදුවෙනවා. තමන් ළඟ හිටපු අයට මොනවා වුණාද හිතාගන්න බැරි තැනට පත්වෙනවා.
මෙලොව ඉන්න ඇතැම් වෛර කරන අය හිතනවා, "මගේ හතුරා මරණින් පස්සෙ දුගතියේ වැටෙනවානම් හොඳයි" කියලා. හතුරා, මරණින් මත්තේ පවා තම සතුරාගෙ සුගතියක් පතන්නෙ නැහැ. බලන්න වෛරයෙන් වසඟ වුණ හිතක ආදීනව පුදුමයි. තම සතුරාගෙ අපායට යාම බලාපොරොත්තු වෙන කෙනා, එයාම නිරයේ වැටෙනවා. යමෙක් යමෙකුට වෛර කරනවානම් කරන කෙනාට යහපතක් නම් කවදාවත් වෙන්නෙ නැහැ. ද්වේෂයෙන් ඇවිලුණ කෙනාට අයහපත, යහපතක් හැටියට, යහපත අයහපතක් හැටියටම පේනවා. කිසිම පිහිටක් නැතිවෙනවා. ඉතා පවිටු කෘෘර නපුරු වැඩ කරන්න පෙළඹෙනවා. තම මව, පියා, රහතන් වහන්සේලා පවා මරන්න පෙළඹෙන්නෙ ද්වේෂයෙන් මත්වුණ සිතක් තියෙන කෙනායි. වෛරය නීච, ලාමක අකුසලයක්මයි. තමන්ට කිරි දීලා රැකපු අම්මව පවා නසන්න හිත් සකසන්නෙ ද්වේෂයමයි. ඇතැම් අය අසිපතෙන් තමන්ගෙ ගෙල තමන්ම සිඳගන්නවා. එල්ලිලා මැරෙනවා. පර්වතවලින් පැනලා මැරෙනවා. මේ හැමදේම ක්‍රෝධයේම විපාක.
"ක්‍රෝධය කියන ස්වභාවය මාරයාගෙ තොණ්ඩුවක් වගේ. හදවත කියන ගුහාවෙයි මේක තියෙන්නෙ. ආත්ම දමනයෙන්, ප්‍රඥාවෙන්, විදර්ශනාවෙන් මේ පාප මළය දුරුකරන්න උත්සාහ ගන්න. ප්‍රඥාවන්ත මිනිසුනි ද්වේෂයෙන් නිදහස් වෙන්න. එකට එක කිරීමෙන්, වෛරයේ නිදහස් වෙන්න". මේ විදියට කියාදීලා ඔබට මට දුගතියේ මාර්ගයෙන් නිදහස් වෙන්න මඟ කියාදුන්නා බුදුරජාණන්වහන්සේ වහන්සේ.
මේ ජීවිතයේ හැම මොහොතකම මෛත්‍රිය, මුදිතාව, අනුකම්පාව, කරුණාව පිරී ඉතිරී යන්න, විදර්ශනා වඩන්නට පුහුණු කරමු අපි. සියලු සත්ත්වයෝ කායික මානසික සුවපත් භාවය ලබත්වා!