එක්‍රිල්ඒමයිඩ වලට පිළිකා ඇති කිරීමේ හැකියාවක් තිබේද ?

එක්‍රිල්ඒමයිඩ යනු පොලිඑක්‍රිල්ඒමයිඩ සහ එක්‍රිල්ඒමයිඩ කොපොලිමර්ස් නිපදවීම සදහා භාවිතා කරන සංඝටකයකි. කාර්මික ක්ෂේත්‍රයේදී පොලිඑක්‍රිල්ඒමයිඩ සහ එක්‍රිල්ඒමයිඩ කොපොලිමර්ස් බෙහෙවින් භාවිතාවනවා. විශේෂයෙන්ම කඩදාසි, ඩයි වර්ග, ප්ලාස්ටික් නිපදවීමේදී සහ අප ජලය පිරිපහදු කිරීමේදී පොලිඑක්‍රිල්ඒමයිඩ සහ එක්‍රිල්ඒමයිඩ කොපොලිමර්ස් යොදාගනු ලබනවා. මීට අමතරව ආහාර නිෂ්පාදන ඇසුරුම් වලද එක්‍රිල්ඒමයිඩ අඩංගු වනවා.
ඇතැම් ආහාරවලත් එක්‍රිල්ඒමයිඩ අඩංගු වන අවස්ථා තිබෙනවා. ඇස්පරජින් යන ඇමයිනෝ අම්ලය අඩංගු වන අර්තාපල් අල වැනි ආහාර 120 oC හෝ ඊට වඩා ඉහල උෂ්ණත්වයකට රත් කිරීමේදී සීනි වර්ග හා සිදුවන ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස එක්‍රිල්ඒමයිඩ ජනනය වනවා. සිගරට් දුමෙහි සංඝටකයක් ලෙසටත් එක්‍රිල්ඒමයිඩ හදුනාගන්නට පුළුවනි.
සාමාන්‍ය ජනතාව එක්‍රිල්ඒමයිඩ වෙත නිරාවරණය වීමේ ප්‍රධාන ආකාර දෙක වන්නේ එක්‍රිල්ඒමයිඩ අඩංගු ආහාර පරිභෝජනය සහ සිගරට් දුමට නිරාවරණය වීමයි.
එක්‍රිල්ඒමයිඩ අඩංගු වන ආහාර අතර ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, පොටැටෝ චිප්ස් (බැදපු අල පෙති), ක්‍රැකර්ස්, කුකීස්, සිරියල් වර්ග, කර කරන ලද පාන්, ටින් කරන ලද කළු ඔලිව් ආදිය වනවා. මෙවන් ආහාර වල අඩංගු වන එක්‍රිල්ඒමයිඩ ප්‍රමාණය ආහාර පිසීමට/ සැකසීමට ගත වූ කාලය මත, භාවිතා කරන ලද උෂ්ණත්වය මත, ආහාර නිෂ්පාදකයා මත මෙන්ම ආහාර සැකසූ ආකාරය මත වෙනස් විය හැකිය.
ආහාර සැකසීමට හෝ පිසීමට වැයකරන කාලය අඩු කිරීම මගින්, ආහාර බැදීමේදී දුඹුරු පැහැය වනතුරු නොබැදීම මගින්, බැදීමට පෙර අර්තාපල් අල බ්ලාංච් කරගැනීම මගින්, අර්තාපල් අල ශීතකරණ තුල ගබඩා නොකිරීමෙන්, ආහාර බැදගැනිමෙන් පසු පෝරණුවක් තුල වියළා ගැනීමෙන් ආහාර වල ජනනය වන එක්‍රිල්ඒමයිඩ ප්‍රමාණය අඩු කර ගත හැකිය. එසේම ආහාර බැදීමේදී මෙන්ම කර කිරීමේදී රන්වන් පැහැය වන තුරු පමණක් බැද ගැනීමට හෝ කර කිරීමට වගබලා ගත යුතු වේ. දුඹුරු පැහැය මෙන්ම කළු පැහැ වන තෙක් කර වුනු ආහාර අනුභව නොකළ යුතුය.
ඇත්තෙන්ම මිනිසුන් වැඩිපුරම එක්‍රිල්ඒමයිඩ වලට නිරාවරණය වන්නේ ආහාරවලටත් වඩා සිගරට් දුම නිසාය. දුම් පානය නොකරන්නන් මෙන් තුන් හතර ගුණයක එක්‍රිල්ඒමයිඩ ප්‍රමාණයක් දුම් පානය කරන්නන්ගේ රුධිරයේ එක්‍රිල්ඒමයිඩ සොයාගත හැකිය. කාර්මික ක්ෂේත්‍රයේ දී එක්‍රිල්ඒමයිඩ වලට මිනිසුන් නිරාවරණය වීම අඩු කිරීම සදහා රෙගුලාසි ක්‍රියාත්මක වේ.
මීයන් යොදාගෙන සිදුකරන ලද අධ්‍යයන වලින් හෙලිවී ඇති පරිදි එක්‍රිල්ඒමයිඩ වලට නිරාවරණය වීම හා ඇතැම් පිළිකා ඇතිවීම අතර සම්බන්ධයක් ඇත. එක්‍රිල්ඒමයිඩ ශරිරගත වූ පසුව ඒවා ග්ලයිසිඩමයිඩ් නම් සංඝටකයක් බවට පරිවර්තනය වේ. ග්ලයිසිඩමයිඩ් මගින් DNA වලට හානි සිදුකිරීමටත් DNA විකෘති කිරීමට හැකියාව ඇත.
පිළිකා පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර ඒජන්සිය විසින් මිනිසුන් හට පිළිකා ඇතිකළ හැකි පිළිකා කාරකයක් ලෙස ඇක්‍රිලඒමයිඩ වර්ගීකරණය කර ඇත.
කෙසේ නමුත් ආහාරවල අඩංගු ඇක්‍රිලඒමයිඩ මගින් මිනිසුන් හට පිළිකා සැදීමේ හැකියාව පිලිබදව පැහැදිලිතාවයක් නැත. ඇතැම් පර්යේෂණ මගින් ආහාරගත ඇක්‍රිලඒමයිඩ මගින් මිනිසුන්හට පිළිකා සැදීමේ අවධානම තහවුරු කර ඇති අතර ඇතැම් පර්යේෂණ මගින් එවැනි සම්බන්ධයක් නැති බව පෙන්වා දී ඇත. මෙනිසා වැඩිදුරටත් පර්යේෂණ සිදුකල යුතුව ඇත.