ආහාර ආකලනයක් වන ට්‍රයි සෝඩියම් පොස්ෆේට් ගැන දැනගනිමු.

Yashodha Jayalath
April 23, 2022
${article.image}

ඔබ වෙළදපොලෙන් මිලදී ගන්නා ආහාර වල ලේබල කියවීමට පුරුදුවී ඇති අයෙකු නම්  ට්‍රයි සෝඩියම් පොස්ෆේට් (TSP) යන නාමය අසා ඇති. එසේ නම් ට්‍රයිසෝඩියම් පොස්පේට් හෙවත් TSP මිනිස් සිරුරට කරන්නේ කුමක්දැයි ඔබ කල්පනා කරනවා විය හැකිය. ට්‍රයිසෝඩියම් පොස්පේට් යනු සැකසූ මස්, සීරියල් සහ අනෙකුත් සැකසු ආහාර වල අඩංගු ආහාර ආකලනයකි (food additive). මෙම රසායනිකය සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ  පිරිසිදු කිරීමේ කටයුතු සදහාය. එහි ඇති ක්ශාරිය ගුණාංග නිසා තෙල්, ග්‍රීස් ආදිය ඉවත් කිරීමේ හැකියාව ඇත. එනිසා බොහෝ ඩිටර්ජන්ට් වර්ග වල, පිගන් සෝදන දියර වල ට්‍රයිසෝඩියම් පොස්ෆේට් අඩංගු වේ. පිරිසිදු කිරීමේ යෙදුම් වලට අමතරව, ට්‍රයිසෝඩියම් පොස්පේට් ආහාර ආකලනයක්  ලෙස ද  භාවිතා කරයි. E339 ලෙස හදුන්වන්නේ ආහාර සදහා භාවිතා කරන ට්‍රයිසෝඩියම් පොස්ෆේට් ය. පිරිසිදු කිරීමේ කටයුතුවලට භාවිතා කරන ට්‍රයි සෝඩියම් පොස්ෆේට් හා ආහාර වලට එකතු කරන ට්‍රයි සෝඩියම් පොස්ෆේට් අතර වෙනසක් ඇත. ආහාර වලට ට්‍රයිසෝඩියම් පොස්ෆේට් එකතු කිරීමට හේතු  වන්නේ ආහාර ඝනකිරීමට, ආහාරවල ආම්ලිකතාව නියාමනය කිරීමට සහ ආහාර තෛලෝදකරණය පවත්වාගැනීමට ඊට ඇති හැකියාව නිසයි. FDA ආයතනය TSP නොහොත් ට්‍රයි සෝඩියම් පොස්ෆේට් ආරක්‍ෂිත ආකලනයක් ලෙස සලකනු ලැබුවද එහි සෞඛ්‍යට අහිතකර වූ ප්‍රතිඵලද ඇති බවට සාධක සොයාගෙන තිබෙනවා. 

ට්‍රයි සෝඩියම් ෆොස්ෆෙට් හා අනෙකුත් සෝඩියම් ෆොස්ෆේට සෞඛ්‍යයට අහිතකර ද නැතිද යන්න සොයා බැලීම මෙම ලිපියේ අරමුණයි.  

පොස්ෆරස් යනු කිරි, බෝංචි, මස්, මාළු, බිත්තර ආදියේ අඩංගු වන වැදගත් සංඝටකයකි. එසේ ස්වභාවිකව ආහාර වල පොස්ෆේට් අඩංගු වන්නේ කාබනික ස්වරූපයෙනි. එම කාබනික පොස්ෆරස් ශරීරයේ අස්ථි ශක්තිඅත්ව පවත්වා ගැනීම උදෙසා මෙන්ම මාංශ පේශිවල සහ ස්නායු පද්ධතියේ නිරෝගී ක්‍රියාකාරිත්වය සදහා අත්‍යවශ්‍ය වේ. ආකබනික පොස්ෆරස් එනම් ට්‍රයි සෝඩියම් පොස්ෆේට් වැනි ආහාර ආකලන, ආහාර සැකසීමේදී ආහාර වලට බාහිරින් එකතු කරනු ලබයි. විශේෂයෙන්ම අධික ලෙස සැකසූ ආහාර (highly processed foods) වල ට්‍රයි සෝඩියම් පොස්ෆේට් අඩංගු වනවා.  

වෙලදපොලේ විකිණීමට ඇති කේක්, කේක් මිශ්‍රණ, පාන්, මෆින් ආදියේ මෙන්ම බේකන්, සොසේජස්, ටින් කරන ලද ටුනා මාළු, චීස් වර්ග සහ සිරියල් වර්ග වල බොහෝ විට TSP අඩංගු විය හැකිය. 

ආහාර වල pH අගය එම ආහාරය නරක්වීම කෙරෙහි සෘජුවම බලපාන බැවින් ආහාරවල pH අගය නියමිත අගයේ තබා ගැනීම අවශ්‍ය වනවා. ට්‍රයි සෝඩියම් පොස්ෆේට් වල භාෂ්මික ගුණය නිසා ආම්ලික බව අඩු කිරීම සදහා ආහාර වලට එකතු කිරීම සිදු කරනවා. 

සුළු ප්‍රමාණයන්ගෙන් TSP ශරීරගත වීම සෞඛ්‍යයට අහිතකර නොවන මුත් බොහෝ පුද්ගලයින් දිනපතා සැකසූ ආහාර පරිභෝජනය කරන බැවින් සෝඩියම් පොස්ෆේට් අධික ලෙස ශරීර ගත විය හැකිය. එම තත්වය ශරීරයට අහිතකර බලපෑම් ඇති කල හැකිය. 

ස්වභාවික ලෙස ආහාර වල අඩංගු වන පොස්ෆරස් එනම් කාබනික පොස්ෆරස් ශරීරයට අවශෝෂණය වන්නේ සෙමින් හා සුළු වශයෙනි. එනම් 40 % - 60 % අතර ප්‍රමාණයකින් කාබනික පොස්ෆරස් ශරීරයට අවශෝෂණය වේ. නමුත් අකාබනික පොස්ෆරස් එනම් සෝඩියම් පොස්ෆේට 100 % ක් ශරීරයට අවශෝෂණය වේ. මේ නිසා නිතරම අකාබනික පොස්ෆේට් අඩංගු ආහාර අනුභවය තුලින් ශරීරයේ පොස්ෆරස් ප්‍රමාණය ඉහල යනවා. එය හදවත් රෝග ඇතිවීමට, අස්ථි ඝනත්වය අඩුවීමට හා වකුගඩු රෝග ඇතිවීමට, ඉක්මනින් වයසට යාම මෙන්ම අකල් මරණයටත් හේතු විය හැකිය. 

නිරෝගී සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීම සදහා සියලු දෙනා අධික ලෙස සැකසු ආහාර වලින් වැලකි සිටීම වැදගත් වන අතර විශේෂයෙන් වකුගඩු රෝගීන්, හදවත් රෝගීන් සහ අස්ථි රෝග වලින් පෙලෙන්නන් TSP අඩංගු ආහාරවලින් සම්පූර්ණයෙන්ම වැලකීම වැදගත් වනවා.   

TSP නොහොත් ට්‍රයි සෝඩියම් පොස්ෆේට්, ශරීරයට අහිතකර වන්නේ කෙසේද ? 

නිරෝගී සහ ක්‍රියාකාරිව පවතින වකුගඩු මගින් ශරීරයේ ගොඩනැගෙන අපද්‍රව්‍ය ඉවත් කරනවා. ශරීරයේ වැඩිපුර පොස්ෆරස් ඇති විට ක්‍රියාකාරී වකුගඩු මින් එම වැඩිපුරව ඇති අපද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කරනු ලබනවා. වකුගඩු හානි වි ඇති විට මෙන්ම වකුගඩු අකර්මන්‍ය වී ඇති විටත් වකුගඩු රෝග වලින් පෙලෙන විටත් නිසි පරිදි අපද්‍රව්‍ය සහ වැඩිපුර පවතින පොස්ෆරස් ආදිය ශරීරයෙන් බැහැර කිරීමට නොහැකියි. වකුගඩු රෝග වලින් පෙලෙන්නන් හට පොස්ෆරස් අඩු ආහාර ලබා දෙන්න යයි උපදෙස් දෙන්නෙත් මේ නිසාය. ඔවුන්ගේ ශරිරගත පොස්ෆරස් ප්‍රමාණය වැඩි වුවහොත් දැනටමත් හානි වි ඇති වකුගඩු වලට තවදුරටත් හානි සිදුවේ. ඊට හේතු වන්නේ අධික රුධිරගත පොස්ෆරස් මගින් වකුගඩු වල ඇති කුඩා රුධිර නාල වලට හානි සිදු කිරීමත් කැල්සියම් අසාමාන්‍ය ලෙස ගොඩගැසිමටත් හැකි නිසාය. එසේම රුධිර කාන්දුකරණය සිදුකරන වකුගඩු රෝගින්ට මරණය උදා කර දීමටත් අධික රුධිරගත පොස්ෆරස් වලට හැකියාව පවතිනවා. 

ශරීරයේ පොස්ෆරස් ප්‍රමාණය සාමාන්‍ය මට්ටමකින් පවත්වා ගැනීම ශක්තිමත්, නිරෝගී අස්ථි පවත්වා ගැනීමටත් වැදගත් වනවා. සෝඩියම් පොස්ෆේට් ආකලන අඩංගු ආහාර වැඩිපුර පරිභෝජනය කිරීමෙන් අස්ථි වල නිරෝගීභාවයට ද අහිතකර බලපෑම් ඇතිවනවා. කෙසේ වෙතත්, පොස්පරස් අධික ලෙස මෙන්ම  අඩුවෙන් පරිභෝජනය කිරීම, ශරීරය තුල ඇති පොස්ෆරස්  සමතුලිතතාවය නැතිවීමට හේතුවන නිසා එය  අස්ථි පද්ධතියට හානිකර ලෙස බලපානු ලබනවා. 

එක්තරා අධ්‍යනයකට අනුව සෝඩියම් පොස්ෆේට් අඩංගු ආහාර නිතරම පරිභෝජනය කල කාන්තාවන්ගේ පැරාතයිරොයිඩ් හෝමන මට්ටම අධික ලෙස වැඩිවී ඇති බවයි. පැරාතයිරොයිඩ් හෝමනය යනු ශරීරයේ කැල්සියම් මට්ටම යාමනය කිරීමට වැදගත් වන හෝමෝනයකි. ශරීරයේ කැල්සියම් මට්ටම සමතුලිතව තබා ගැනීම සදහා අස්ථි වලින් කැල්සියම් නිදහස් කිරීම උත්තේජනය කිරීම පැරාතයිරොයිඩ් හෝමනයේ කාර්යය වේ. රුධිරය තුල පැරතයිරොයිඩ් හෝමෝනය  අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමක පැවතීම නිසා අස්ථි වලින් අධිකව කැල්සියම් නිදහස් වීමට පටන් ගනියි. එය අස්ථි දුර්වල වීමට හේතුවක් වේ. 

සෝඩියම් පොස්පේට් ආකලන අධික ලෙස පරිභෝජනය කිරීම නිසා හදවතටද  හානි සිදු විය හැකිය. ශරීරයේ වැඩිපුර පොස්පරස් තිබීම නිසා රුධිර නාලවල කැල්සියම් තැන්පත් වීම එයට හේතු වේ. 

තරුණයින් 3,015 දෙනෙකු යොදාගනිමින් 2009 දී සිදුකල අධ්‍යයනයකින් හෙළි වූයේ, රුධිරයේ පොස්පේට් ඉහළ මට්ටමකින් පැවතීම සහ  කිරීටක ධමනි වල කැල්සියම් තැන්පත් වීමත් අනෙකුත් හෘද රෝග ඇතිවීමත් අතර  සම්බන්ධයක් ඇති බවයි. 

ශරීරයේ අධික පොස්ෆේට් මට්ටම බඩවැල් තුල ප්‍රදාහය ඇති කිරීමට හේතු වි ඇති බවත් අධ්‍යයන වලින් සොයාගෙන තිබෙනවා. 

ඔබ නිතරම සැකසූ ආහාර  පරිභෝජනය  කරන්නේ නම්, ඔබේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ඔබට පොස්පරස් ලැබීමට හැකියාව ඇත. එය ඔබේ සෞඛ්‍යයට යහපත් නොවන බව ඔබට දැන් වැටහෙනවා ඇති.

අකාබනික පොස්පරස් අධික ලෙස පරිභෝජනය සිමා කිරීම සදහා පහත සඳහන් ආහාර හැකිතාක් සීමා කරන්න,

  • පෙර පිසින ලද මාංශ ආහාර (deli meats) වන සොසේජස්, බේකන්, සලාමි, පෙපරෝනි, හැම්, 
  • සෝඩා
  • සීරියල් වර්ග 
  • බ්‍රෙක්ෆස්ට් බාර් වර්ග 
  • කේක් මිශ්‍රණ 
  • ටින් කල ටූනා 
  • පලතුරු රසකල පාන වර්ග 
  • පැණිරස කල අයිස් තේ
  •  සකසා බේක් කල ආහාර වර්ග 
  • සකසා ශීතකළ රාත්‍රි ආහාර (frozen dinners)
  • චීස් සෝස් 
  •  පිටිකළ පොල් කිරි 

ට්‍රයිසෝඩියම් පොස්පේට් යනු සැකසූ ආහාර සඳහා බහුලව එකතු වන අකාබනික පොස්පේට් ආකලනයකි.

ට්‍රයිසෝඩියම් පොස්පේට් කුඩා ප්‍රමාණයක් පරිභෝජනය කිරීම ආරක්ෂිත ලෙස සැලකනු ලැබුව ද  දිනපතා පොස්පේට් ආකලනවලින් පොහොසත් ආහාර අනුභව කිරීම ඔබේ සෞඛ්‍යයට අහිතකර වේ.

සැකසූ ආහාර අවම කිරීම සහ බිත්තර, මාළු, බෝංචි සහ ඇට වර්ග වැනි පොස්පරස් අඩංගු ස්වභාවික ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමු කිරීම, ඔබේ සිරුරේ වර්ධනය සඳහා ඔබට අවශ්‍ය වන පොස්පරස් ප්‍රමාණය ලබා ගැනීමට  උපකාරී වේ.