"සුමිහිරි පානය" ඇත්තෙන්ම සුමිහිරි ද?

Yashodha Jayalath
April 23, 2022
${article.image}

පළමුවැනි මත්පැන් උගුර ගැනීමෙන් තත්පර 30ක් ගත වන විට මධ්‍යසාර වලට ඔබගේ මොලය වෙත ළගා වීමේ හැකියාව තිබෙනවා. ඔබගේ මොලය මගින් පණිවුඩ නිකුත් කිරීමේ මාර්ගයන් සහ ඊට අවශ්‍ය වන රසායනික සංයෝග වල ක්‍රියාව අඩපන කිරීමට මධ්‍යසාර වලට හැකිය. මෙනිසා ඔබගේ මනෝභාවය වෙනස් වීමටත් ඔබගේ ශරීරයේ සමබරතාවය පවත්වා ගැනීමේ හැකියාව ගිලිහි යාමටත් මෙන්ම ඔබගේ ප්‍රතික ක්‍රියා මන්දගාමි වීමටත් හේතු වේ. 

අධික ලෙස නිතරම මධ්‍යසාර භාවිතා කරන විට දී මොලයේ සෛල කුඩා වීමට පටන් ගන්නවා. මෙනිසා පුද්ගලයෙකුගේ සිතීමේ හැකියාවට, ඉගෙනීමේ හැකියාව මෙන්ම දේවල් මතක තබා ගැනීමේ හැකියාව අඩුවන්නට පටන් ගන්නවා. මෙපනක් නොව ඔබගේ ශරීරයේ උෂ්ණත්වය පවත්වා ගැනීමේ හැකියාවයත් එයින් බලපෑමක් ඇති වනවා. 

මධ්‍යසාර වලින් මොළයට සිදු වන බලපෑම් නිසා නිදිමත ගතියක් ඇතිවන්නට පුළුවනි. නමුත් ඔබට සුවදායක නින්දක් ලබන්නට හැකි වන්නේ ද නැත. 

මධ්‍යසාර වලට අමාශයේ අභ්‍යන්තර බිත්තිය මත ක්‍රියා කොට අමාශයික යුෂය ශ්‍රාවය උත්තේජනය කිරීමට හැකිය. මෙම ආම්ලික යුෂය සහ මධ්‍යසාර අමාශයේ එකතු වුනු විට වමනය යාම ඇතිවේ.  වසර ගණනාවක් පුරා අධික ලෙස මධ්‍යසාර ලබාගන්නා විට වේදනාකාරී තුවාල අමාශයේ බිත්තියේ ඇතිවේ. එසේම ආමාශයික යුෂය අමාශයේ පිරි තිබිම නිසා බඩගින්න ඇති නොවේ. මේ නිසා අධික ලෙස මධ්‍යසාර භාවිතා කරන පුද්ගලයන්ට හොද පෝෂණයක් නොලැබේ. 

ආහාර මාර්ගය ඔස්සේ ආහාර ගමන් ගන්නා වේගය වෙනස් කිරීමට ද මධ්‍යසාර වලට හැකිය. අධික ලෙස මධ්‍යසාර භාවිතා කරන්නන් හට පාචනය ඇතිවන්නේ මේ නිසයි. අමාශය සහ මුඛය අතර ආහාර රැගෙන යන  නාලය වන  අන්නශ්‍රෝත්‍රය වැසීමට අවශ්‍ය වන මාංශ පේශි ලිහිල් කිරීමට මධ්‍යසාර දායක වන නිසා අමාශය තුල පවතින ආම්ලික යුෂය නැවත අන්නශ්‍රෝත්‍රය වෙතට පිවිසීම නිසා පපුවේ දැවිල්ල ඇතිවේ. 

වකුගඩුවලින්  වැඩිපුර මුත්‍රා පිටවීම වළක්වන හෝමෝනයක් මොළය මගින් නිකුත් කරයි. නමුත් මධ්‍යසාර ක්‍රියාකාරිව පවතින විටදී එමගින් මොලය මගින් මෙම හෝමෝනය ශ්‍රාවය කිරීම නවත්වාලයි. මෙනිසා ඔබට නිතරම මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇති වේ. මෙසේ ශරිරියෙන් ජලය වැඩිපුර පිටවීම නිසා යමකු විජලනයට පත්වීමට ද හැකියාව ඇත. 

ශරීරය තුල ඇති මධ්‍යසාර බිද දමන්නේ අක්මාව මගිනි. මෙහිදී අක්මාවට විස ද්‍රව්‍ය ගණනාවක් හැසිරිවීමට සිදු වේ. කාලයක් ගත වීමේදී අධික ලෙස මධ්‍යසාර පානය කරන්නන් ගෙ අක්මාවේ මේදය ගොඩ ගැහීමත් ඝනකම් සහ තන්තුමය පටක ගොඩ නැගීමත් නිසා අක්මාව දුර්වල වේ. අක්මා සෛල වලට රුධිරය සහ ඒවායේ නිරෝගී පැවැත්මට අවශ්‍ය දේ නොලැබී යාම නිසා අක්මා සෛල මිය යයි. සිරෝසිස් රෝගය ලෙස හදුන්වන්නේ මෙම තත්වයයි. 

අග්න්‍යාශය යනු ශරිරයේ තවත් එක වැදගත් ඉන්ද්‍රියකි. එමගින් ආහාර ජීර්ණය කිරීමට අවශ්‍ය එන්සයිම නිපදවන අතර රුධිරයේ ග්ලුකෝස් (සීනි) නියමිත අගයේ පවත්වා ගැනීමට අවශ්‍ය හෝමෝන නිපදවීම ද සිදු කරයි. මධ්‍යසාර සහ එහි අඩංගු විෂ ද්‍රව්‍ය අග්න්‍යාශයේ එකතු වේ. මෙනිසා එහි ප්‍රදාහයට (inflammation) ලක් වේ. එමගින් වඩා බරපතල තත්ත්වයන් කරා යොමු විය හැකිය. සෑහෙන කාලයක් මෙසේ අග්න්‍යාශය ප්‍රදාහයට ලක් වීම නිසා එමගින් ඉන්සියුලින් හෝමෝනය නිපදවීම නිසියාකාරව සිදුනොවේ. රුධිරයේ ග්ලුකෝස් පාලනය කිරීමට ඉන්සියුලින් අවශ්‍ය වේ. මෙනිසා දියවැඩියාව ඇතිවිය හැකි අතර අග්න්‍යාශය කාලයක් පුරා ප්‍රදාහයට පත්වීම නිසා අග්න්‍යාශයේ පිළිකා ඇතිවීමේ අවධානමක්  ඇතිවේ. 

මධ්‍යසාර පානය කල රැයට පසු දින ශරීරයට දැනෙන අපහසුව, දුර්වල බවට හේතුව ඔබ දන්නවාද? මධ්‍යසාර මගින් ඔබව විජලනයට පත් කරයි. මේ නිසා ඔබගේ ශරීරයේ රුධිර නාල විස්තාරණය වේ. මධ්‍යසාර ගැනීමෙන් පසුව දැනෙන හිසරදයට හේතු වන්නේ එයයි. ආමාශයේ එකතු වි ඇති අම්ලය සහ මධ්‍යසාර ඉවත් කිරීමට අමාශයට අවශ්‍ය නිසා වමනය සහ ඔක්කාරය ඇතිවේ. මධ්‍යසාර බිද දැමීම සදහා ඔබගේ අක්මාව වෙහෙස වූ බැවින් ශරීරයට අවශ්‍ය සීනි ලබාදීමට අක්මාවට අවස්තාවක් නොලැබීයාම නිසා ශරීරයේ දුර්වල බවක් දැනේ. 

අධික ලෙස මත්පැන් භාවිතා කල එක රාත්‍රියකදී හදවතේ රිද්මය (heart beat) ස්ථාවරව තබා ගන්නා විද්‍යුත් සංඥා අවුල් විය හැක. එය තාවකාලික බලපෑමක් වුවද ඔබ නිතරම අධික ලෙස මධ්‍යසාර භාවිතා කරනවිට මෙම වෙනස් කම් ස්ථිර  බවට පත්වේ. මධ්‍යසාර වලට ඔබගේ හදවත වෙහෙසට පත් කල හැකිය. කල්ගත වන විට ඔබගේ හර්ධයේ පේශි පැරණි රබර් පටියක් මෙන් ඇදී කඩා වැටීමට ලක් වේ.  එනිසා හර්ධයට රුධිරය පොම්ප කිරීමේ හැකියාව නැති වි ගොස් මුළු ශරීරයටම අයහපත් ලෙස බලපෑම් ඇති කරයි. 

මධ්‍යසාර වලට ඔබගේ රුධිර නාල විස්තාරණය කල හැකිය. මෙනිසා වැඩිපුර රුධිරය සම වෙත පැමිණේ. මෙනිසා ඔබගේ සම  රතු පැහැ ගැන්වෙන අතර ඔබට රස්නෙයක් දැනෙන්නට ගනියි. මෙම තත්වය වැඩි වේලා නොපවතින අතර එම තාපය ශරීරයෙන් පිටතට ගමන් ගෙන ශරීරයේ උෂ්ණත්වය පහල වැටේ. එසේම, 

දිගු කාලීන, අධික බීමත් කම රුධිර පීඩනය වැඩි කිරීමට හේතු වේ. මධ්‍යසාර මගින්  ශරීරයේ  රුධිර වාහිනී පටු කරන ආතති හෝමෝන නිදහස් කරයි, එබැවින් හදවතට රුධිරය තල්ලු කිරීම සදහා  දැඩි ලෙස වෙහෙස වීමට  සිදුවේ.

අධික බිමත්කම නිසා ශරීරයට ප්‍රමාණවත් පරිදි සුදු රුධිරාණු නිපදවිය නොහැකි වේ. මේ නිසා බෝවන රෝග වලට පහසුවෙන් ගොදුරුවිය හැකිය. 

ශරිරය තුල  පවතින හෝමෝන වල සමතුලිත බව මධ්‍යසාර භාවිතය තුලින් ගිලිහි යා හැකිය. කාන්තාවන්ගේ ඔසප් චක්‍රය වෙනස් වීමට සහ ගැබ් ගැනීමේ අපහසුතා ඇතිවිමට මෙනම් පුරුෂයින්ගේ ශිෂ්ණය ප්‍රාණවත් නොවීම, ශුක්‍රාණු ප්‍රමාණය අඩුවීම, වෘෂණ හැකිලීම සහ පියයුරු වර්ධනය වීම ආදී ගැටළු එමගින් ඇතිවිය හැකිය. 

අධික ලෙස මධ්‍යසාර භාවිතය නිසා ශරීරයේ කැල්සියම් මට්ටම අඩුවිය හැකිය. මෙනිසා අස්ථි දුර්වල වේ. එසේම මාංශ පේශි වෙත ගමන් කරන රුධිර ප්‍රමාණය අඩුකිරීමට මධ්‍යසාර වලට හැකි නිසා මාංශ පේශි වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන නිසි පරිදි නොලැබී යයි. කාලයක් යාමේදී අඩු  මාංශ පේශි ප්‍රමාණයක් සහිත දුර්වල ශරීරයක් ලැබීමට එය හේතුවිය හැකිය. 

ඉහත කරුණුවලට අනුව මධ්‍යසාර භාවිතයේ අහිතකර බලපෑම් රාශියක් ඇති බවත් මධ්‍යසාර භාවිතා කරන්නේ හුදෙක් මවාගත් මානසික ප්‍රීතියක් ලබාගැනීමට පමණක් බවත් ඔබට වැටහෙනවා ඇති. මානසික ප්‍රීතිය ලබා ගැනීමේ යහපත් ක්‍රම ගණනාවක් ඇති නිසා මධ්‍යසාර වලට ඇබ්බැහි වීමෙන් වළකින්නට ඔබට තීරණය කල හැකිය.