අධික ලෙස හිස කෙස් ගැලවී යාම ඔබටත් ගැටළුවක් වී තිබේද ?

හිසකෙස් වල ජීවිත කාලය අදියර තුනකින් සමන්විත වේ. හිසකෙස් වර්ධනය වන අවධිය නොහොත් සක්‍රිය අවධිය, හිසකෙස් පවතින අවධිය සහ හිසකෙස් හැලියන අවධිය එම අදියර තුන වේ. මේ නිසා දිනකට හිසකෙස් 100ක් පමණ හැලි යාම සාමන්‍ය දෙයකි. හැලියන හිසකෙස් වෙනුවට සක්‍රිය තත්වයේ ඇති හිසකෙස් එම අඩුව පුරවයි. නමුත් ප්‍රවේණිගත සාධක නිසා, ආතතිය නිසා, හෝමෝන අසමතුලිතතාවයක් නිසා, රක්තහීනතාවය නිසා, විටමින් ඌනතාවයක් හෝ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග තත්වයක් වන alopecia areata නිසා මෙසේ හැලියන හිස කෙස් වල අඩුව පිරවීම ඉක්මනින් සිදුනොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස තට්ටය පැදීම, කෙස් කළඹ තුනී වීම, තැනින් තැන හිස කෙස් අතරින් හිසේ සම දර්ශනය වීම ආදී තත්ත්ව ඇති විය හැකිය. හිස කෙස් ගල්වියාමේ ගැටළුවට වැඩි පුර මුහුණ දෙන්නේ පුරුෂ පාර්ශවයයි.
හිස කෙස් තුනී වීමට හා ගැලවී යාමට බලපෑ හැකි හේතු :
ප්‍රවේණිගත / ජානමය සාධක නිසා හිසකෙස් ගැලවී යාම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ඇතිවිය හැකිය. හිසකෙස් ගැලවියාමට ප්‍රධානතම හේතුවක් වන්නේද ජානමය සාධකයි. එයින් අදහස් වන්නේ හිසකෙස් කෙස් වල මූලය නැතහොත් රෝම කූප ක්‍රමයෙන් හැකිලීයාමට හා එමගින් අවසානයේදී කෙස් වර්ධනය වීම නැවැත්වීමට හේතු වන්නාවූ ජානයක් ඔබට උරුම වී ඇති බවයි. මෙම තත්වය යෞවන වයසේදී ම ආරම්භ විය හැකි නමුත් බොහෝ අයට මැදි වයසේදී මෙම තත්වය ඇතිවේ. කාන්තාවන් තුළ, මෙම තත්වය ඇතිවීමේදී කැපී පෙනෙන ලක්ෂණය වන්නේ හිසකෙස් තුනී වීමත් සමග හිසකෙස් නොමැති ප්‍රදේශය පුළුල් වීමයි. පුරුෂයින්ට මෙම තත්වය ඇතිවන්නේ හිස කෙස් වැටීම නිසා හිස මුදුනේ තට්ටය පෑදීමෙනි.
වයසට යාමත් සමග හිසකෙස් ගැලවී යාම සිදුවන්නේ හිසකෙස් වර්ධනය වීම සෙමින් සිදුවන නිසාය. ඇතැම් විට හිස කෙස් වර්ධනය වීම නැවතීම පවා සිදුවිය හැකිය. විශේෂයෙන්ම කාන්තාවන්ගේ කෙස් කළඹ වයසට යාමත් සමග ස්වභාවයෙන්ම අඩුවීමට පටන් ගනියි.
Alopecia areata නම් ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගී තත්වය යනු යම් අයෙකුගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් ඔහුගේම / ඇයගේම හිසේ ඇති කෙස් ගස් මූලයට පහර දීමට පෙළඹෙන රෝගී තත්වයකි. මේ නිසා හිස ගැලවී යාමත් තට්ටය පෑදීමත් සිදුවේ. ඇත්තෙන්ම මෙම රෝගී තත්වය හිස කෙස් වලට පමණක් නොව ශරීරයේ අනෙකුත් ස්ථාන වල, නාසය තුල ඇති රෝම,කන් තුල ඇති රෝම මෙන්ම ඇහි පිය සහ ඇහි බැමෙහි ඇති රෝමද හැලියාමට හේතු විය හැකිය.
පිළිකා ආදී රෝග වැලට ලබා දෙන ඖෂධ වලට හිස කෙස් ගැලවී යන බව බොහෝ දෙණා දන්නා කරුණකි.
ආතතිය නිසා ද හිස කෙස් වැඩි පුර ගැලවි යා හැකිය.
හිස කෙස් වර්ණ ගැන්වීම, relax කිරීම, perm කිරීම වැනි විලාසිතා නිතර නිතර සිදුකිරීම නිසා හිස කෙස් වලට හානි වන අතැර ඒ හේතුවෙන් හිසකෙස් කැඩී යාම සිදුවිය හැකිය. රෝම කූපයට හානි වුවහොත් නැවත එම රෝම කූපයෙන් කෙස් වැවෙන්නේ නැත. මේ නිසා විලාසිතා කිරීමේදී හිස කෙස් ආරක්ෂා වන පරිදි ඒවා කිරීමට වග බලාගත යුතු වේ.
හිස කෙස් තදින් ඉහලට කර බැද තැබීම නිසා ද හිස කෙස් ගැලවී යා හැකිය. මෙසේ දිගටම හිසකෙස් තදින් බැද දැමීම නිසා රෝම කූප වලට හානි සිදුවිය හැකි බැවින් නැවත කෙස් වැඩීමද නතර විය හැකිය.
හෝමෝන අසමතුලිතතාවයන් නිසා ද හිසකෙස් ගැලවී යාම ඇතිවේ. පොලි සිස්ටික් ඕවරි සින්ඩ්‍රෝමය (PCOS) යනු කාන්තාවන්ගේ ඩිම්භ කෝෂවල ගැටිති හටගැනීම සම්බන්ධ රෝගී තත්වයකි. PCOS නිසා හෝමෝන වල අසමතුලිතබවක් ඇතිවන නිසා මෙම රෝගී තත්වයේ සහලක්ෂණ අතර හිස කෙස් ගැලවී යාමද දැකගත හැකිය.
හිස් කබලේ සම මත ඇති වන ආසාදන නිසා ද හිස කෙස් ගැලවී යයි. එම ආසාදන සුවකර ගැනීම සදහා ප්‍රතිකාර ගැනීමෙන් පසුව නැවත හිස කෙස් වර්ධනය වේ.
ඇතැම් පුද්ගලයින් ඔවුන්ගේ මානසික ආතතිය දුරුකරගැනීමට ඔවුන්ගේ කෙස් ඇද ගැනීම සිදුකරනවා. මෙය ඔවුන් සිතා මතා කරන දෙයක් නොවන අතර වෛද්‍ය විද්‍යාවේ දී මෙම තත්වය ට්‍රයිකොටිලොමේනියා (trichotillomania) ලෙස හදුන්වනු ලැබේ. මෙසේ හිසකෙස් ඇදීමේදී කෙස් ගසේ මූලයට හානි සිදු නොවුනහොත් නැවත හිස කෙස් වර්ධනය වීමට බාධාවක් නොමැත. නමුත් කෙස් ගසේ මූලයට හානි සිදුවුවහොත් නැවත කෙස් නොවැදීමට එය හේතු විය හැකියි.
සිෆිලිස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග තත්වයන්ට නිසි ප්‍රතිකාර නොලැබුණහොත් එමගින් හිස්කබලේ මෙන්ම, ඇහි බැම, රැවුල සහ ශරීරයේ වෙනත් තැන්වල ඇති කෙස් ගැලවී යාමට හේතුවිය හැකිය.
තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු තිබේ නම්, හිසකෙස් තුනී වීම සහ ගැලවී යාමට හැකියාව තිබේ.
ඔබ ගන්නා ආහාර වලින් ශරීරයට හොදින් බයෝටින්, යකඩ, ප්‍රෝටීන් හා සින්ක් නොලැබෙන්නේ නම් සැලකිය යුතු පරිදි හිස කෙස් ගැලවියාමක් ඇතිවිය හැකිය.
වස විෂ ශරීර ගත වීම - කාලයක් පුරා සුළු වශයෙන් ආර්සනික්, තැලියම්, රසදිය සහ ලිතියම් වැනි විෂ වර්ග ශරීරගත වීමත් විටමින් A හෝ සෙලේනියම් විශාල ප්‍රමාණයක් ලබා ගැනීමත් හිස කෙස් ගැලවී යාමට හේතු විය හැකි බව විශේෂඥයින්ගේ අදහසයි.
හිසකෙස් ගැලවී යාම සදහා සාර්ථක ප්‍රතිකාර පවතියි. නිවැරදි ප්‍රතිකාරය තීරණය කිරීමට නම් හේතු සාධකය නිවැරදිව හදුනාගත යුතුවේ. චර්මරෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීම ඒ සදහා වැදගත් වනවා. ඖෂධ ප්‍රතිකාර මගින් කෙස් ගැලවී යාම පාලනය හා නැවත හිසකෙස් වැඩීම ඉක්මන් කරගත නොහැකිනම් හිසකෙස් සිටුවීම, ලේසර් ප්‍රතිකාරය ආදී නවීන ක්‍රම භාවිතා කරන්නටද පුළුවනි. ඔබගේ විලාසිතා හේතුවෙන් හිසකෙස් ගැලවී යයි නම් එම විලාසිතා නැවත්වීමට හෝ කෙස් කලඹට හානි නොවන අයුරින් හිසකෙස් පවත්වා ගන්නා අයුරු පිලිබදව ඔබට උපදෙස් ලැබේවි.
හිසකෙස් වර්ධනය වීම ඉක්මන් කර ගැනීම සදහා අපට ළූණු උපකාර කර ගත හැකිය. ළූණු වල අඩංගු සල්ෆර් සංයෝග සහ ප්‍රතිඔක්සිකාරකයක් වන quercetin හිසකෙස් ශක්තිමත් කරන අතරම හිසකෙස් සුදුපැහැ වීමට බලපාන හයිඩ්රජන් පෙරොක්සයිඩ් වල ක්‍රියාකාරිත්වය මැඩ පවත්වයි. ළූණු යුෂ කෙලින්ම හිසේ සම මතට අලේප කල හැකිය. ළූණු වල අඩංගු සල්ෆර්, හිසකෙස් සකස්වීමට මුල්වන ප්‍රෝටීනය වන කෙරටින් නිපදවීමට සහයෝගය දෙන නිසා ශක්තිමත් කෙස් කළඹක් ලබා ගැනීමට ළූණු භාවිතා කිරීම ඉතා සුදුසුය. ඇත්තෙන්ම කෙරටින් සකස්වී ඇත්තේ සල්ෆර් අඩංගු ඇමයිනො අමලයක් වන සිස්ටීන් මගිනි. සිස්ටීන් අණු එකිනෙක බැඳී ඇත්තේ ශක්තිමත් ඩයිසල්ෆයිඩ බන්ධන මගිනි. කෙස් ගස් වල ශක්තිමත් බවට හේතුවන්නේ මෙයයි. සල්ෆර් වලට අමතරව ළූණුවල අඩංගු වන මැග්නීසියම්, කැල්සියම් සහ පොටෑසියම් රුධිර සංසරණය ප්‍රවර්ධනය කොට ප්‍රදාහය අඩු කිරීම මගින් කෙස් ගස් ශක්තිමත් කරලයි.
ළූණු වලට දිලිර නාශක ගුණයක් පවතින බැවින් හිස්සොරි ආදී ආසාදන පාලනය කොට හිසකෙස් ගැලවී යාම අවම කිරීමේ හැකියාව ඇත. හිසකෙස් වල වර්ධනය සදහා අවශ්‍ය වන විටමිනයක් වන බයෝටින් නැතහොත් විටමින් බී 7 ළූණු වල අඩංගු වේ. බයෝටින් ඌනථාවය නිසා කෙස් අග පැලීම සිදුවේ.
අකලට හිස කෙස් සුදු වීම ඔබට ගැටළුවක් වී තිබේද? ඊට විසදුමක් ලබාදෙන්නත් ලූනු වලට හැකියාව පවතිනවා. හිසකෙස් bleach කිරීමට බොහෝවිට යොදාගන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වේ. පරිවෘත්තිය ක්‍රියාවලදී ශරීරය තුල හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නිපදවේ. මෙසේ නිපදවන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සාන්ද්‍රණය ඉහල ගිය විට ඒවා කෙස් ගස් මූලය අසල එකතුවේ. මෙමගින් කෙස් ගස් සුදුවනවා පමණක් නොව කෙස් ගස් වලට හානි ද ඇති කරයි. මෙසේ ශරීරයේ වැඩිපුර නිපදවන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බිඳ දැමීම සදහා වැදගත් වන එන්සයිම වන්නේ කැටලේස්, ග්ලුටතියොන් පෙරෝක්සිඩේස් හා සුපර් ඔක්සයිඩ් ඩිස්මියුටේස් ය. මෙම එන්සයිම වල ක්‍රියාකාරිත්වය ඉහල නැංවීමට ළූණු වලට හැකියාව ඇත. ළූණු යුෂය හිසේ මතුපිට සමේ අලේප කිරීමෙන් හිසකෙස් සුදු වීමෙන් හා හානියට පත්වීමෙන් ආරක්ෂා කර ගත හැකි වන්නේ මේ නිසයි.