ධනාත්මක ස්වයං ප්‍රතිරූපයක් පවත්වා ගැනීම ඔබට වැදගත් වන්නේ කොහොමද ?

Yashodha Jayalath
June 13, 2021
${article.image}

පුද්ගලයෙකුගේ ස්වයං ප්‍රතිරූපය ඔහුගේ/ඇයගේ යහපැවැත්ම කෙරෙහි ඍජුවම බලපෑ හැකි කාරණාවකි.  යහපත් ස්වයං ප්‍රතිරූපයක් පවත්වා ගන්නා පුද්ගලයෙකුහට වුවද ඇතැම් වෙලාවට ඔහුගේ/ඇයගේ  ස්වයං ප්‍රතිරූපය  අයහපත් ලෙස හෝ ඍනාත්මක ලෙස වෙනස් වීමක් සිදුවිය හැකියි. එය නැවත යථා තත්වයට පත් කර නොගතහොත් එමගින් අවසානයේදී ඍනාත්මක අදහස් දරන, ඉරිසියා සහගත සහ ප්‍රසන්න බවක් නොමැති පුද්ගලයෙකු බිහිවීමට හැකියාවක් තිබේ. නිරෝගී ස්වයං ප්‍රතිරූපයක් ඇති පුද්ගලයෙකු අනෙක් පුද්ගලයින්ගේ ඕපදූප සෙවීමට සහ  පැතිරවීමට යොමු නොවන අතර අනෙක් අය ඔවුන් ගැන පතුරුවන  ඕපදුප වලින් පීඩාවට පත් නොවේ.

ස්වයං ප්‍රතිරූපය යන්නෙන් අදහස් කරන්නේ අප අපව අභ්‍යන්තරව හා බාහිරව දකින ආකාරයයි. එසේම එය අප ගැන අප සතුව ඇති මානසික චිත්‍රය ලෙසද හැදින්විය හැකිය. එය අපගේ පෙනුම, ක්‍රියාකාරිත්වය සහ සබඳතා මත පදනම් වන අතර  අපගේ ජීවන  දෘෂ්ටියට මෙන්ම සතුට හා බලාපොරොත්තු ඉෂ්ඨ කර ගැනීමේ අපට ඇති හැකියාව  සම්බන්ධයෙන්  අප ගැන අප සිතන හා අපට දැනෙන ආකාරය ලෙස තවදුරටත් විග්‍රහ කල හැකිය.

පුද්ගලයෙකුට අයහපත් ස්වයං ප්‍රතිරූපයක් ඇති විට ඔහු / ඇය, ඔහුගේ හෝ ඇයගේ ඇති  අඩුපාඩු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට පෙළඹේ. මෙයට හේතුවන්නේ   ඔවුන් වෙනත් පුද්ගලයින්ගේ හෝ සමාජයේ අපේක්ෂාවන්ට අනුව ජීවත් වීමට දරන උත්සාහය නිසාය. පුද්ගලයෙකු බාහිර සාධක මත තම ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමට උත්සාහ දරන විට, අඩුපාඩු ඇති වීමට ඇති හැකියාව වැඩිය. ඔවුන් එම අපේක්ෂාවන්ට අනුව ජීවත් වීමට අපොහොසත් වූ විට එය සැකයට, අශුභවාදයට, අනාරක්ෂිතභාවයට හා අධෛර්යයට පත්වීමට හේතුවිය හැකිය. ඔවුන් වෙනත් පුද්ගලයින්ට ඊර්ෂ්‍යා කරන්නට පෙළඹෙනේද එබැවිනි. ඔබ සතුව ධනාත්මක ස්වයං ප්‍රතිරූපයක් ඇතිවිට ඔබට  ඔබගේ  මෙන්ම අනෙක් පුද්ගලයන්ගේ ද වටිනාකම් පිලිබදව හොද අවබෝධයක් ලැබේ. 

ස්වයං ප්‍රතිරූපය පිලිබදව පුද්ගලයා තුල ඇතිවන  ගැටළු චිත්තවේගීය හා මානසික ගැටළු වලට ද හේතු සාධක විය හැකිය. යථාර්ථයෙන් වෙනස්  අයුරින්  යමෙකු තමන් දෙසම  බලන විට ඇතිවන්නේ විකෘති ස්වයං ප්‍රතිරූපය කි. ශරීරාංග වෙනස් වී පෙනීමේ ආබාධය (Body Dysmorphic Disorder - BDD ) යනු විකෘති ස්වයං ප්‍රතිරූපය නිසා  පැන නැගිය හැකි  මානසික ගැටලුවකට එක් උදාහරණයකි. හිසකෙස්, සම, ශරීරයේ හැඩය, නාසය, තොල්, කකුල් වැනි ශරීරයේ ඕනෑම කොටසක සුළු අඩුපාඩුවක් හෝ සත්‍යවශයෙන් නොපවතින අඩුපාඩුවක් නිසා පුද්ගලයා ඍණාත්මක මානසිකත්වයකට පත්වීම මෙහිදී සිදුවේ. එම ඍණාත්මක භාවයෙන් මිදීම සඳහා පුද්ගලයෙකු පහත පරිදි විවිධ හැසිරීම් දැක්වීමට පුළුවනි.

  • අධික ලෙස හැඩ වැඩ වීම 

  • අධික ලෙස ව්‍යායාම කිරීම 

  • විලාසිතා වේගයෙන්  වෙනස් කිරීම 

  • නිතරම තමාව කැඩපතකින් පරීක්ෂා කිරීම හෝ කැඩපතින් තමා දෙසා බැලීමෙන් වැලකි සිටීම

  • ශල්‍යකර්මයක් කිරීමට හෝ සමේ පැහැය වෙනස් කර ගැනීමට උත්සාහ දැරීම 

  • ඇඳුම් පැළඳුම් මගින් හෝ මේකප් මගින්, හිසකෙස්, තොප්පි ආදිය මගින්  මුහුණ සැඟවා ගැනීම.

ඍනාත්මක ස්වයං ප්‍රතිරූපයක් මගින් විශාදය ඇතිවිය හැකි සේම   විශාදය හේතුවෙන් අපගේ ස්වයං ප්‍රතිරූපය විකෘති වීමද සිදුවිය හැකිය. 

සීමාන්තික පෞරුෂත්ව ආබාධය (Borderline Personality Disorder - BPD) යනු ස්වයං ප්‍රතිරූපයට සම්බන්ධ තවත් මානසික ගැටලුවකි. සීමාන්තික පෞරුෂත්ව ආබාධය සහිත පුද්ගලයින්ගේ ස්වයං ප්‍රතිරූපය අස්ථායී බවක් දක්නට ඇත. මේ නිසා ඔවුන් කවුරුන්දැයි ඔවුන් නොදන්නා බවක් ඔවුන්ට හැඟේ. එමගින් පුද්ගලයෙකුගේ මානසික, සමාජීය හා ශාරීරික යහපැවැත්මේ විවිධ ගැටළු නිර්මාණය වේ. 

උදාහරණ කිහිපයක් නම්,

  • නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිතය සහ අනාරක්ෂිත ලිංගික ඇසුර වැනි ස්වයං විනාශකාරී හා භයානක හැසිරීම් වල නිරතවීම.

  • අස්ථායී වෘත්තීය සැලසුම්, අරමුණු සහ අභිලාෂයන්

  • ඉක්මනින් වෙනස් වන මනෝභාවයන්

  • අස්ථාවර ප්‍රේමසම්බන්ධතා කිහිපයක් තිබිය හැකි වීම 

  • හුදකලාව සහ හිස්බවක් (emptiness) දැනීම 

  • අනුකම්පාව සහ සහකම්පනයෙන් තොර වූ පෞරුෂයක් තිබීම

ඔබේ ස්වයං ප්‍රතිරූපය වැඩි දියුණු කිරීමට ඔබට කළ හැකි දේ

  1. ඔබේ ආත්මීය වටිනාකම අවබෝධ කර ගැනීම සඳහා ඔබේ ධනාත්මක ගුණාංග සහ ඔබ ගැන ඔබ ආදරය කරන දේ ලැයිස්තුවක් සාදන්න. ඔබ ආඩම්බර වන ජයග්‍රහණ 5 ක් ලැයිස්තුගත කරන්න. ඔබ සතුව ඇති කුසලතා 10 ක් ලැයිස්තුගත කරන්න. ඔබ ශක්තිමත් ස්වයං ප්‍රතිරූපයක් ගොඩනඟා ගැනීමට වෙහෙසෙන්නේ නම් නින්දට යාමට පෙර එම ගුණාංග, කුසලතා හෝ ජයග්‍රහණ ඔබට මතක් කර ගත හැකිය.

  2. ස්වයං විවේචනය නවත්වන්න. ඔබ ගැන ඔබ සිදුකරගන්නා විවේචනය මගින් ඔබට හෝ තව අයෙකුට යහපතක් සිදුනොකරයි. ඔබ කළ වැරදිවලට ඔබටම ​​සමාව දීමට ඉගෙන ගන්න. ඔබ තුල පවතින හොඳ මෙන්ම  නරක ගති පිළිගන්න. අනෙක් අයව පහත් කිරීමට විවේචනය ද නොකරන්න.

  3. ඔබ කැඩපත දෙස බලන විට ඔබේම රූපය සමඟ සිනාසෙන්න. ඔබ ඔබම ලෙසම දැක සතුටු වන්න. ඔබගේ රූපය අන් අය හා සංසන්දනය කිරීම ඵලක් නොමැති දෙයකි. සෑම අයෙකුම සතුව ඔවුන්ට අවේනික වූ ස්වභාවික ආකර්ශනයක් (natural charisma) ඇත. වේදනාව, ආතතිය, වෛරය, ඊර්ෂ්‍යාව, කුහක බව වැනි  ඍනාත්මක හැගීම් මගින් එම ස්වභාවික ආකර්ෂණය පුද්ගලයන්ගෙන්  ගිලිහි යයි. ඔබ ඔබව ඔබ ලෙස පිළිගන්නේ නැත්නම්, ඔබ ඔබටම ආදරය කරන්නේ කෙසේද? ඔබ සතුටින් නොසිටින විට පවා ඔබ සිනාසෙන විට, ඔබේ මොළය ඔබ සැබවින්ම සිනහවෙන් සිටින බව සිතන අතර ඔබට සතුටක් දැනෙන විට සැබවින්ම සිදුවන ස්නායු ස්පන්දනය ජනනය කරයි. ශක්තිමත් ස්වයං ප්‍රතිරූපයකට යතුර සතුටයි. සන්තෝෂයෙන් වාසය කරන මිනිසුන් බොහෝ දෙනා විසින් ආදරය හා පිළිගැනීම ඇති පමණින් ලබා ගනිති. 

  4. ඔබ ඔබට ආකර්ෂණීය පෙනුමක් ලබා දෙන ඇඳුම් අඳින්න, make up ස්වල්පයක් භාවිතා කරන්න, ඔබේ කොණ්ඩය ඔබ කැමති මෝස්තරයකට මෙන්ම ඔබට හොඳ පෙනුමක් ලබාදෙන පරිදි සකසා ගන්න. එය අනෙක් අයට ඔබ ගැන හොඳ හැඟීමක් ඇති කිරීමට උපකාරී වේ. ඔබ භාවිතා කරන ඇඳුම්, විලාසිතාමය (fashionable) හෝ මිල අධික ඒවා විය යුතු නැත, සරල ඇඳුම් වලට  පවා ඔබේ ශරීරයට  ගැලපෙන පරිදි තෝරාගන්නේ නම්, ඔබට ආකර්ෂණීය පෙනුමක් ලබා දිය හැකිය.

  5. ඔබව පහලට ඇද දැමීමට උත්සාහ කරන නිෂේධාත්මක පුද්ගලයින්ගෙන් ඈත්ව සිටින්න. ඔබ එවැනි පුද්ගලයින් සමඟ සිටින විට ඔවුන් ඔබ ගැන සෑම දෙයක්ම විවේචනය කරන නිසා ඔබේ ආත්ම ප්‍රතිරූපය විකෘති වේ. ඇත්තටම මේ අය හොඳ ආත්ම ප්‍රතිරූපයක් නැති අය.

  6. ඔවුන් ඔබ ගැන නරක හැඟීමක් ඇති කිරීමට උත්සාහ කරන්නේ එබැවිනි. ඔබ ඔවුන් සමඟ දීර්ඝ කාලයක් ගත කරන විට අවසානයේ ඔබ තුළ ඇති සියලු යහපත් ගුණාංග ඔබට අමතක වනු ඇති අතර ඔබ ඔබටම වෛර කිරීමට පටන් ගනී.

ඔබේ ස්වයං වටිනාකම සොයා ගැනීමට සහ ඔබේ ස්වයං ප්‍රතිරූපය වැඩි දියුණු කිරීමට කල හැකි  කුඩා ක්‍රීඩාවක් පහත දක්වා ඇත.

ඔබ කළ යුතුව ඇත්තේ දාදු කැටයක් පෙරළා ඉලක්කය කරා ගමන් කිරීම සහ විවිධ කොටු තුලින්  ඔබෙන් ඉල්ලා සිටින දේ කිරීම පමණි. හැකිනම් ඔබෙන් අසන ප්‍රමාණයට වඩා  ඔබට පිළිතුරු දිය හැකිය.

මෙම ක්‍රීඩාවේ කොටු භාරකරුවන් තිදෙනෙකු ඇත. ඔවුන්  විසින් අසනු ලබන ප්‍රශ්න තුනක් ඇත, එම කොටු හරහා  ඉදිරියට යාමට නම් ඔබ අවංකව පිළිතුරු දිය යුතුය. ඉදිරියට යාමට ලබාදිය යුතු  පිළිතුර  ඔබට ලබා දිය නොහැකි නම් ඔබ නැවත ක්‍රීඩාව ආරම්භ කළ යුතුය.