පෝෂණ ඌනථාවයක් ඇතිබව හැඟවෙන මේ ලක්ෂණ ගැන ඔබ දන්නවාද ?

දිගු කාලයක් පුරා ඔබගේ ශරීරයට අවශ්‍ය පමණින් පෝෂණීය සංඝටක නොලැබුණු විට දී ඔබගේ ශරීරය මගින් ඔබට ඒ පිලිබදව ඉඟි ලබා දේ. ඔබගේ ශරීරයට නොලැබුණු පෝෂ්‍ය පදාර්ථ බොහොමයක්, පෝෂණ අතිරේක මගින් හෝ එම පෝෂ්‍ය පදාර්ථය අඩංගු ආහාර වැඩිපුර ලබාගැනීම මගින් ආපසු ලබාගත හැකිය. කෙසේ නමුත් පෝෂණ අතිරේක ලබාගැනීමට පෙර ඔබගේ වෛද්‍යවරයා හෝ පෝෂණවේදියෙකු හමුවීම වැදගත් වනවා.
මෙම ලිපියෙන් මා ඉදිරිපත්කරන්නට බලාපොරොත්තුවන්නේ පෝෂණ ඌනථාවයක් ඇති අවස්තාවලදී අපගේ ශරීරයෙන් බොහෝවිට දක්නට ලැබෙන යම් යම් ලක්ෂණ කිහිපයක් පිලිබදවයි.
-
හිස කෙස් ගැලවී යාම :දිනකට කෙස් කෙඳි 100 ක් පමණ අහිමි වීම සාමාන්‍ය දෙයකි. නමුත් අධිකව ඔබගේ හිස කෙස් ගැලවීයයි නම් ඔබ යකඩ ඌනථාවයෙන් පෙළෙනවා විය හැකිය. එය ලෝකයේ වඩාත්ම වැඩිවශයෙන් දක්නට ඇති පෝෂණ ඌනතාවයයි. ඔබේ ශරීරයේ යකඩ මට්ටම අඩු දැයි බැලීමට ඔබේ වෛද්‍යවරයාට රුධිර පරීක්ෂණයක් කළ හැකිය. යකඩ බහුල ආහාර වන මාංශ වර්ග, නිවිති, බෝංචි, කජු, තල, ඩාර්ක් චොකලට් සහ කුරක්කන් වැඩිපුර ආහාරයට එකතු කර ගැනීම වැදගත් වනවා.
-
හේතුවක් නොමැතිව තෙහෙට්ටුවක් දැනීම: ඔබට අධික තෙහෙට්ටු බවක්, නිදිමතක් සහ ආතතියක් නිතර දැනේනම්, එයට පැහැදිලි හේතුවක් සිතා ගත නොහැකිනම් ඔබගේ විටමින් D පරික්ෂා කර ගැනීම සුදුසු වනවා. විටමින් D බොහෝ ආහාර වල අඩංගු වන පෝෂ්‍ය පදාර්ථයක් නොවෙයි. විශේෂයෙන්ම ශාකමය ආහාර පමණක් ගන්නා අයට විටමින් D සහිත ආහාර සීමා සහිතය. අපගේ සිරුර හිරුඑළියට නිරාවරණය වන විට ද අපගේ සම මගින් විටමින් D නිපදවයි. අපගේ දින චර්යාව අනුව අපට වැඩිපුර හිරු එළියේ සිටීමට අවස්තාව නොලැබේ. ටුනා මාළු, සැමන් මාළු, විටමින් D එකතු කරන ලද කිරි හා මේද තැවරුම් හෝ සීරියල් වර්ග වැඩිපුර ආහාරයට එකතු කර ගන්න. නැතිනම් ඔබගේ වෛද්‍යවරයා හමුවී පෝෂණ අතිරේකයක් ලබා ගැනීම සදහා යොමුවන්න.
-
මුඛයේ දැවිල්ල : මෙහිදී ඔබගේ මුඛයේ විදුරුමහ, තොල්, කම්මුල් ඇතුල් පැත්ත, තල්ල ආදී ප්‍රදේශ දැවිල්ලට ලක්වේ. එසේ නොමැතිනම් මුඛයේ වියළි බවක් දැනිය හැකිය. ඇතැම් විට තුවාල ඇතිවිය හැකිය. මෙයට හේතුවිය හැක්කේ විටමින් B ඌනථාවයයි. ඔබගේ ආහාර වේලෙහි විටමින් B ප්‍රමාණය වැඩි කර ගැනීම සදහා බෝංචි, කෙසෙල්, නිවිති, බතල, ධාන්‍ය වර්ග එයට එකතු කර ගන්න.
-
වියළි සම :ඔබගේ ශරීරයේ ඇතුලත අවයව මෙන්ම පිටත ආවරණය කරන පටක නිපදවීම හා ඒවාහි ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීම විටමින් A හි කාර්යයන්ගෙන් එකකි. ඔබගේ සම වියළීකොරපොතු සැදී ඇත්නම් එයට හේතුවිය හැක්කේ ඔබට විටමින් A අඩු වි ඇති බව විය හැකිය. මෙම පෝෂ්‍ය පදාර්ථය වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා, නිවිති වැනි කොළ පැහැති එළවළු,බතල සහ කැරට් වැනි තැඹිලි පැහැති එළවළු සහ පැපොල් වැනි තැඹිලි පැහැ පළතුරු අනුභව කරන්න.
-
නැමුණු නියපොතු : ඔබේ ශරීරයට යකඩ වැඩිපුර අවශ්‍ය වූ විට, ඔබේ නියපොතු මෘදු වී ඔබේ ඇඟිලි වල දාර ප්‍රදේශයෙන් නැමී හැන්දක් වැනි හැඩයක් ගනියි. එසේම, මෙය ඔබේ ශරීරය විසින් යකඩ අධික ලෙස අවශෝෂණය කර ගැනීමට හේතු වන හිමොක්‍රොමැටෝසිස් රෝගයේ ලකුණක් විය හැකිය.මෙම තත්වය ඔබට ඇතිවුවහොත්, හේතුව සොයා ගැනීම සඳහා රුධිර පරීක්ෂාවක් සඳහා ඔබේ වෛද්‍යවරයා හමුවන්න.
-
කට දෙපැත්ත පැලීම : මෙයට හේතු විය හැක්කේ යකඩ අඩුවීම හෝ බී විටමින් වර්ගයක් වන රයිබොෆ්ලැවින් අඩු වීමයි. රයිබොෆ්ලැවින් පොහොසත් ආහාර වලට ඇතුළත් වන්නේ: කොළ පැහැති එළවලු, බිත්තර, කිරි සහ මාංශ වර්ගයි.
-
දිව ඉදිමීම : මෙම තත්වය ග්ලොසයිටිස් ලෙසද හැඳින්වේ, එසේ හැදින්වීමට හේතුව වන්නේ දිව ඉදිමුණු විට ඇතිවන සිනිඳු හා දිලිසෙන පෙනුමයි. එය ඔබට යකඩ හෝ ෆෝලික් අම්ලය, නියැසින්, රයිබොෆ්ලැවින් වැනි විටමින් B වර්ගයක් අඩු බවට ලකුණක් විය හැකිය. විටමින් B12 අඩංගු ආහාර සදහා මාළු, මස්, බිත්තර, කිරි සහ සීරියල් වර්ග උදාහරණ වේ.
-
උදාසීන බවක් දැනීම: පෝෂ්‍ය පදාර්ථ ඌනවීම ඔබේ ශරීරයට මෙන්ම මනසටද බලපායි. ෆෝලික් අම්ලය ලෙස හඳුන්වන බී විටමින් වර්ගය, රතු රුධිර සෛල සෑදීමට සහ නින්දේ රටාවන් සහ මනෝභාවය නියාමනය කරන රසායනික ද්‍රව්‍ය නිර්මාණය කිරීම සදහා ඔබේ ශරීරයට උපකාරී වේ. මෙම විටමිනය ඔබට ප්‍රමාණවත් පරිදි නොලැබුන විට, ඔබට අමතකවීම මෙන්ම දුර්වල සහ උදාසීන බවක් ද දැනෙනු ඇත. මෙනිසා කඩල, බතල සහ නිවිති වැඩිපුර ආහාරයට එක් කරගන්න.
-
සමේ තැලීම් සහ පැල්ලම් ඇතිවීම: කොලජන් නම් ප්‍රෝටීනය සිරුරේ පටක එකතුකොට තබා ගැනීමට වැදගත් වේ. විශේෂයෙන්ම නිරෝගී සමකට කොලජන් අත්‍යවශ්‍ය වේ. විටමින් c කොලජන් නිපදවීමට අවශ්‍යම සංඝටකයකි. වෙනදාට වඩා ඔබගේ සමේ තැලීම් සලකුණු සහ පැල්ලම් දක්නට ලැබේනම්, ඔබට ලැබෙන විටමින් C ප්‍රමාණවත් නොවී තිබිය හැකි වේ. මෙනිසා විටමින් C යහමින් අඩංගු වන පැෂන්, පැඟිරි කුලයේ පළතුරු වන දෙහි, දොඩම්, නාරම් මෙන්ම තක්කාලි, බෙල් පෙපර්, පේර සහ බ්‍රොකොලි ආදිය ආහාරයට එකතු කර ගන්න.