අනුරාධපුරය.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25න් එකක් වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වන අනුරාධපුරය අපගේ අතීත රාජධානීන්ගෙන් පැරණිතම රාජධානිය ලෙස හැදින්විය හැකිය. කොළඹ සිට 205km දුරින් උතුරු මද පළාතේ පිහිටා ඇති අනුරාධපුර නගරයට ලගා වීමට මහාමාර්ගය හෝ දුම්රිය මාර්ගය භාවිතා කල හැකිය. අනුරාධපුරය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් නිසා එය දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර කිහිපයකටම මහාමාර්ග කිහිපයක් ඔස්සේ කෙලින්ම සම්බන්ධ වේ. එසේ සම්බන්ධවන නගර වන්නේ වවුනියා, දඹුල්ල, මාතලේ, පුත්තලම, ත්‍රිකුණාමලය, යාපනය, කුරුණෑගල සහ මහනුවරට සම්බන්ධ වේ. මෙනිසා අනුරාධපුරයට පිවිසිය හැකි මාර්ග 4ක් ඇත. මීගමුව පුත්තලම හරහා එන අංක 4 බස්මාර්ගය පළමුවැන්නයි. කුරුණෑගල මහව හරහා එන 57 බස් මාර්ගය දෙවැන්නයි. දඹුල්ල හරහා එන බස් මාර්ගය කැකිරාවේදී දෙකට බෙදී එක් මාර්ගයක් මරදන්කඩවල හරහාද අනෙක් මාර්ගය එප්පාවල හරහාද අනුරාධපුරයට ළගාවෙයි. කොළඹ සිට අනුරාධපුරයට දුම්රියෙන් යනවිට පැය 5 ½ පමණ ගත වේ, මහාමාර්ගය භාවිතා කරනවිට දී මාර්ග තදබදය අනුව වේලාව ඊට මදක් වෙනස් විය හැකිය.
වියළි කලාපයේ පිහිටා ඇති නිසා වසර පුරා ඌෂ්ණාධික දේශගුණයක් සහිත වේ. ඊසාන දිග මෝසමෙන් වැසි ලැබෙන අතර වාර්ෂිකව 1368 mm ප්‍රමාණයක වර්ෂාවක් ලබයි. නොවැම්බර් මාසයේ වැඩි වර්ෂාවක් සාමාන්‍යයෙන් ලැබෙන අතර මාර්තු අප්‍රේල්, මැයි සහ ජූනි යන මාස වලදී උෂ්ණත්වය වැඩියෙන් අත්විදිය හැකිය.
අනුරාධපුරය අප රටේ ඇති නගර අතරින් සුවිශේෂී නගරයක් ලෙස හැදින්විය හැකියි. ඊට හේතුවන්නේ අනුරාධපුරය ශ්‍රී ලංකාවේ පැරණිතම මෙන්ම බලවත්ම රාජධානියක් ව පැවති හෙයින් එම පැරණි රාජධානියේ නටබුන් විශාල ප්‍රමානයක් තවමත් දක්නට ලැබීමත් අනුරාධපුර යුගයේදී ශ්‍රී ලංකාවේ සිටි රජවරුන් ථෙරවාද බුදුදහමේ පැවැත්ම උදෙසා විශාල දායකත්වයක් ලබාදුන් බැවින් අනුරාධපුරය ථෙරවාද බුදුදහමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකළ අතර අදටත් වන්දනා මාන ලබන විශාල දාගැබ් හා ස්ථුප ගණනාවකින් යුතු වීමත් නිසාය. මේවා අතරින් සිද්ධස්ථාන 8ක් විශේෂත්වයක් ගනු ලබනවා. එම සිද්ධස්ථාන 8 අටමස්ථාන ලෙස හදුන්වනවා. අටමස්ථානයට අයත් වන්නේ ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය, ථුපාරාමය, ලෝවාමහාපාය, අභයගිරිය, ජේතවනාරාමය, මිරිසවැටිය සහ ලංකාරාමය යි.
මෙම අටමස්ථාන වන්දනා කිරීමට දෙස් විදෙස් බැතිමතුන් හා සංචාරකයින් විශාල ප්‍රමාණයක් අනුරාධපුරයට පැමිණේ. අටමස්ථානවලට අමතරව ආගමික සහ සංස්කෘතික වටිනාකමකින් යුතු වෙනත් සිද්ධස්ථාන රාශියක් ද අනුරාධපුර ප්‍රදේශයේ ඇත. ඒවා නම්, ඉසුරුමුණිය, මගුල් උයන, වෙස්සගිරිය, රත්නප්‍රසාදය, දක්ෂිණ ස්ථුපය, සේල චෛත්‍ය, කුට්ටම් පොකුණ, සමාධි පිළිමය, තොලුවිල පිළිමය, රන්මසු උයන, මිහින්තලේ සහ තන්තිරිමලේ ආදිය වේ.
මිහිදුමාහිමියන් විසින් ලක්දිවට බුදුදහම රැගෙන පැමිණි පසුව බුදුදහම වැලදගත් දේවානම්පිය තිස්ස රජතුමා විසින් රටවැසියන් බුදුදහමට අනුව ජීවත් වීය යුතු බව තදින් විශ්වාස කල බැවින් බුදුදහම ප්‍රවර්ධනය කිරීමට බෞද්ධ විහාරාරාම ප්‍රසාද මන්දිර තැනීම ආරම්භ කරන ලදී. එසේම එතුමා සංඝයා වහන්සේලාගේ උපෝසථ කර්ම සඳහා අවශ්‍ය වන සීමාමාලක ආදිය ද නිමකරවා දී ඇත. අනුරාධපුර යුගයේ සිටි රජවරුන් අතරින් දුටු ගැමුණු රජු ද විශේෂ රජ කෙනෙකු ලෙස දැක්විය හැකිය. අනුරාධපුර යේ ඇති ආගමික ස්ථාන කිහිපයක්ම සාදවන ලද්දේ ගැමුණු රජු වන අතර ඉන් රුවන්වලිමහා සෑය බෞද්ධයින්ගේ ඉමහත් ගෞරවාදරයට පත් වී ඇත.
ලෝකයේ ප්‍රධානතම පුරා විද්‍යා ස්ථාන වලින් එකක් ලෙස අනුරාධපුර පෞරාණික නගරය හඳුන්වා දිය හැක. අනුරාධපුරය අගනගරය බවට පළමුව පත්කර ගනු ලැබුවේ ක්‍රි.පූ. 4 වන සියවසේ දී පණ්ඩුකාභය රජතුමා විසිනි. ක්‍රමිකව සැලසුම් කරන ලද පුරාණ අනුරාධපුර නගරය එකල ආසියාවේ පැවති විශාලම නගරයන්ගෙන් එකක් ව තිබී ඇත. අනුරාධපුරයේ නටබුන් ප්‍රධාන ලෙස වර්ග තුනකට බෙදේ, එනම්, දාගැබ්, විහාර මන්දිර හා පොකුණු ලෙසය. අනුරාධපුර පූජනීය නගරය හා ඒ අවට තවමත් නිසි ලෙස හඳුනා නොගත් පුරා විද්‍යා ස්ථාන බොහොමයක් පවතී. ඒවා සමහරක් පුරාවස්තු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවී ඇත. අනුරාධපුර නගරය මේ වන විට යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ඔබ අනුරාධපුරයේ සංචාරයක් සදහා සුදානම් වනවා නම් දින දෙකක්වත් අනුරාධපුරයේ නැවතී සිටිය යුතුය. අනුරාධපුරයේ ඔබට නැරබීමට බොහෝ දේ ඇති නිසා එම දින දෙක මදිවීමටද පුළුවනි. අනුරාධපුරයේ නැවතීමට සුදුසු හෝටල් ගණනාවක් ම ඇත. ඉන් Heritage Hotel Anuradhapura, Amuththa Resort, Pinthaliya Resort & Spa,Sacred City Tourist Resort,Hotel Randiya,Four Points Resort සාධාරණ මුදලකට හොඳ සේවාවක් ලබාගත හැකි හෝටල් කිහිපයක් වන අතර රසවත් හා පිරිසිදු ආහාර ලබාගැනීමට අවන්හල් බොහොමයක් ද අනුරාධපුරයේ ඇත. ඒ අතරින් Mango Mango, Little Paradise, Polhena restaurant, Hotel Shalini Restaurant සහ Bamboo Restaurant Juice Bar කැපී පෙනෙයි.
පුරාණ අනුරාධපුරය මත පදනම් වූ අතීත ලාංකික ශිෂ්ඨාචාරය ආසියාවේ සහ මුලු මහත් ලෝකයේම බිහිවූ විශිෂ්ඨතම ශිෂ්ඨාචාරයක් ලෙස සැලකිය හැකිය. එවන් අභිමානීය සංස්කෘතියක් හා ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයකින් යුතු වූ මෙම නගරය දැක බලාගැනීමට ඉතා වටිනා අත්දැකීමක් වනු ඇත.