අයහපත් සබදතාවයක ලක්ෂණ.

ඕනෑම සබදතාවයක් ගත් කල යම් යම් ගැටළු, නොගැලපීම් තිබිය හැකිය. එසේම විවිධ කාලවලදී ජිවිතයට එන ප්‍රශ්න හමුවේ වාද විවාද, සිත් රිදීම් ආදිය ඇතිවිය හැකිය. සාර්ථක මෙන්ම යහපත් සබදතවයකදී මේවා ඉක්මනින් විසදාගෙන සතුටින් ජීවත් විය හැකිය. ගැටළු විසදාගත හැකි නිසා තෘප්තිමත් බවක් සබදතාවය තුලින් ඔබට අත් දැකිය හැකිය. මේ නිසා නොගැලපීම් සහ ගැටළු හමුවේ අප බොහෝ විට ඉවසීමෙන් කටයුතු කරන්නෙමු. නමුත් ඇත්තෙන්ම නවත්වා දැමියයුතු තත්වයේ අයහපත් සම්බන්ධතවයක් හමුවේ ඉවසීම අපගේ යහපැවැත්මට හානිකර වේ. එවන් අයහපත් සම්බන්ධතාවයක් හදුනාගත හැකි අවස්ථා කිහිපයක් දෙස අපි අවධානය යොමු කරමු.
යහපත් සම්බන්ධතාවයකදී ඔබ සිටින්නේ සතුටිනි. අප සම්බන්ධතාවයකින් බලාපොරොත්තුවන්නේ ද සතුට, ආදරණීය බව, ආරක්ෂාව, සහයෝගය සහ චිත්තවේගික සුරක්ෂිත බවයි. ඔබගේ සම්බන්ධතාවය තුලින් මේවා නොලැබේනම් ඒවා වර්ධනය කරගැනීමට උත්සාහ දැරිය යුතුය. එසේ උත්සාහ කොටද ඔබට එයින් සැහීමකට පත්විය නොහැකිනම් එම සම්බන්ධත්වය නවතා දැමීම සුදුසු වේ.
සාර්ථක සම්බන්ධතාවක් නිසා ඔබ උද්යෝගයෙන් ජිවිතයට මුහුණ දේ. ඔබගේ හොඳ ගතිගුණ වඩවඩාත් ඉස්මතුවේ. එමගින් ඔබ පුද්ගලයෙකු ලෙස පෝෂණය වේ. ජීවිතය පරිණත වීමට එනිසා පටන් ගනියි. නමුත් ඔබ සිටින්නේ අසාර්ථක සම්බන්ධතාවයක නම් ඔබට පුද්ගලයෙකු ලෙස සංවර්ධනය විය නොහැකිය. ඔබට හිරවූ ස්වභාවයක් හෝ කනස්සල්ලක් දැනිය හැකිය. එසේ දැනෙන්නේ මන්දැයි පළමුව සොයා බලන්න. එය ඇතැම් විට බාහිර ප්‍රශ්නයක් නිසා ඇතිවූ දෙයක් විය හැකිය. ගැටලුව විසදාගන්න උත්සාහ ගන්න. නමුත් ගැටලුව ඇත්තේ සබදතාවයේ නම් එය විසදාගත නොහැකිනම් සම්බන්ධතාවය නවතාදැමීම යහපත් වනවා.
ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබව අවතක්සේරු කරන්නේ නම් ඔබ සිටින්නේ යහපත් සම්බන්ධතාවයක නොවේ. ඔබගේ හැගීම් දැනීම් වලට ඔහු හෝ ඇය සංවේදී නොවේනම්, ඔබ කතා විට ඔබට ඇහුන්කන් නොදේනම්, ඔබ වෙනුවෙන් ඔහුට හෝ ඇයට වෙන් කිරීමට කාලයක් නොමැතිනම් එම සම්බන්ධතාවය ගැන නැවත සිතා බලන්නට ඔබට සිදුවෙනවා.
ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබව පාලනය කරයි නම්, ඔබගේ මුදල් ඔහුට හෝ ඇයට අවශ්‍ය පරිදි ඔබගේ අකමැත්ත මත වියදම් කරයි නම්, ඔබගේ යහළුවන්/ පවුලේ සාමාජිකයින් ඔබගෙන් ඈත් කරයි නම්, අසාධාරණ අයුරින් ඔබ අශා කරන දේවල් ඔබට තහනම් කරයි නම්, ඔබව චිත්තවේගික වශයෙන් සහ ශාරීරිකව හිංසාවට පත්කරන්නේනම්, ඔබ සිටින්නේ යහපත් සබදතාවයක නොවේ.
ඔබ දෙපලගේ අවශ්‍යතා එකිනෙකා හා නොගැලපීමද තද සිත්වේදනා ඇති කරන සම්බන්ධතාවයක ලක්ෂණයක් ලෙස හැකිය. බොහෝවිට අවුරුදු ගණනාවක් ආදරය කලද කැඩී යන්නේ මෙවැනි සම්බන්ධතාය. දෙදෙනාගේ හොඳ ගතිගුණ බොහෝ තිබිය හැකිය. නමුත් බලාපොරොත්තු සහ අවශ්‍යතා නොගැලපෙන බැවින් බොහෝ ගැටළු ඇතිවේ. තමා බලාපොරොත්තුවන අනෙකා දැකීම උදෙසා අනෙක් පුද්ගලයාව තමන්ට අවශ්‍ය පරිදි වෙනස්කිරීමට තැත් කිරීම හෝ ආදරය නිසා අනෙක්කෙනාට අවශ්‍යපරිදි තමුන් වෙනස් වීමට උත්සාහ දැරීම මෙහිදී සිදුවිය හැකිය. මේ නිසා අවසානයේදී දැඩි වේදනාවකට මුහුණපෑමට දෙදෙනාටම සිදුවිය හැකිය. එකිනෙකාගේ බලාපොරොත්තු හා අවශ්‍යතා බොහෝ සෙයින් වෙනස් නම් වඩා යහපත් වන්නේ සම්බන්ධතාවය නවතා දැමීමයි.
බොහෝ සම්බන්ධතාවයන් බිදී යාමට හේතුවන තවත් එක කාරණයක් නම් වංකබවයි. එකිනෙකා කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි සම්බන්ධතාවයකට දිගුකල් පැවතිය නොහැක. විශ්වාසය නොමතිතැන ආදරය පලා යයි. ආදරය නොමැති තැනක සබඳකමකුත් නැත. ඔබගේ සහකරු හෝ සහකාරිය විශ්වාසය තැබිය නොහැකි අයෙක් නම් සම්බන්ධතාවය නැවත්වීම ඔබට යහපත්වනවා.
කෙතරම් අයහපත් වුවද ඇතැමුන් සම්බන්ධතාවය නැවත්වීමට සිතන්නේ නැතිවීමට එක් හේතුවක් වන්නේ සමාජයෙන් එල්ල වන පීඩනයයි. සම්බන්ධතාවය බිදී ගියවිට ඒ පිලිබදව හේතු අසමින් කරදර කරන්නට ඇතැමුන් පෙළඹී සිටිනවා. ඔබගේ ජීවිතය පිළිබදව ඔබ ගන්නා තීරණ පිලිබදව කිසිවෙකුට ඔබ පිළිතුරු බැදිය යුතු නොවේ. එසේම අයහපත් සම්බන්ධය නිසා පිඩා විදින්නේ ඔබ මිස ඔවුන් නොවේ. මේ නිසා අතහැරියයුතු සම්බන්ධයක පැටලී ඔබගේ ජීවිතය විදවන්නට එපා.