දරුවන්ගේ සංවර්ධන උදෙසා සුරතලුන්ගේ දායකත්වය ගැන ඔබ දැන සිටියාද ?

Yashodha Jayalath
October 11, 2021
${article.image}

ළමා කාලයේ ලද හැකි සුන්දර අත්දැකීම් වලින් එකක් ලෙස සුරතලෙකු ඇති කිරීම හදුන්වා දිය හැකිය. ඇත්තෙන්ම වැඩිහිටි වූ පසුද සුරතලෙකුගේ ආදරය ලැබීම ඉතා සුන්දර අත්දැකීමක් ලෙස සලකන්නට පුළුවනි. ශ්‍රී  ලංකාවේ මෙන් නොව බටහිර රටවල් වල  බොහෝ නිවෙස් වල සුරතල් සතුන් ඇති කරයි. මෙනිසාම ලෝකයේ විවිධ රටවල් වල, සුරතල් සතුන් ඇති කිරීම දරුවන්ගේ සමාජීය සහ චිත්තවේග සංවර්ධනයට ධනාත්මකව බලපාන්නේදැයි පර්යේෂණ සිදුකරමින් පවතිනවා.  ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක් වන The University of Western Australia හි පර්යේෂකවරියක් වන ආචාර්ය හර්ලි ක්‍රිස්ටියන් මහත්මිය ප්‍රකාශ කරන ආකාරයට සුරතල් සතුන් ඇති කිරීමෙන් දරුවන්ට  යහපත් ප්‍රතිඵල බොහොමයක් ලැබෙයි. දරුවන්ගේ සමාජීය කුසලතා සංවර්ධනයේ දී,  චිත්තවේගික සංවර්ධනයේදී, ආත්ම විශ්වාසය ගොනැගීමේදී, ඉගෙනුම් දක්ෂතා කෙරෙහි මෙන්ම කායික වර්ධනයේ දී ධනාත්මක ලෙස දායකවන්නට සුරතලුන්ට පුළුවනි. 

සුරතල් බල්ලන් ඇති කිරීමේදී  දරුවන්ට සෙල්ලම් කිරීමට  වැඩි අවස්තාවක් ලැබෙන බැවින් එම දරුවන් වඩා ක්‍රියාශීලි වන බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත. දරුවන් ක්‍රියාශීලි වීම දරුවන්ගේ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීමට  මෙන්ම අස්ථි වර්ධනය වීම ආදී කායික යහපැවැත්ම කෙරෙහි  දායක වනවා.  

සුරතල් සතුන් ඇති කිරීමේ තවත් වාසියක් වන්නේ දරුවන්ට වගකීම් දැරීම පිලිබදව ඉගැනීමට අවස්තාවක් ඉන් ලැබීමයි.  සුරතලෙකු ඇති කරන විට නිසි වෙලාවට ඔවුන්ට ආහාර, බෙහෙත් ආදිය ලබාදිය යුතුය. එසේම ඔවුන්ව නැවීම ඔවුන්ගේ කැලිකසල ඉවත් කිරීම ආදිය නිසි වෙලාවට කල යුතුය. දරුවා තමාගේ අවශ්‍යතාවට වඩා සුරතලාගේ අවශ්‍යතාවයට පළමු තැන දෙන්න පටන් ගනියි. ආහාර ආදිය සුරතලා හා බෙදා ගනියි.  එහිදී තව අයෙකු රැකබලා ගැනීම යන්නත් තමාට පෙර අනුන් ගැන සිතීම යන කාරනා පිලිබදව දරුවාට අවබෝධයක් ලැබේ. දැනෙන්නට ආදරය කරන්නට දරුවන්හට ඉගැන්වීමට සුරත්ලුන්හට පුළුවනි. එසේම ප්‍රතිලාභයක් බලාපොරොත්තුනොවී කොන්දේසි රහිතව ආදරය කරන්නට සුරතලුන් නිසා දරුවෝ  ඉගෙනගනිති. ආදරය, දයාව,  කරුණාව ආදී ගුණ සහිත පුද්ගලයෙකු බිහිවීමට එය අඩිතාලම සපයනු ලබනවා. 

එසේම සුරතල් සතුන් ඇති කිරීමෙන් දරුවන්ට ලැබෙන තවත් එක් ප්‍රතිලාභයක් වන්නේ ජීවිතය සහ මරණය යන්න පිලිබදව අවබෝධයක් ලැබීමයි. සුරතල් සතුන්ට මිනිසාට මෙන් නොව කෙටි ආයුකාලයක් හිමිවී ඇත. බොහෝ දරුවන්ට,  පවුලේ සුරතල් සතෙකු අහිමි වීම මරණය පිළිබඳ ඔවුන්ගේ පළමු අත්දැකීම විය හැකි අතර  මේ නිසා  මරණය යන්න කුමක්දැයි කියා යම් අවබෝධයක්  ලබාගැනීමටත්  එය දරා ගැනීමට එනම් උපේක්ෂා සහගත වීමටත් කුඩා කාලයේදීම දරුවා ඉගෙන ගනියි.   මෙම අත්දැකීම් වැදගත්වන්නේ පසුකාලයේදී දරුවන්ගේ ආච්චිලා සීයලා මියයාම වැනි විශාල අහිමිවීම් වලදී එයට සුදානමක් ලෙසින් මෙන්ම ජීවිතයේ වෙනත් වේදනාත්මක අවස්තාවලදී සිත ශක්තිමත් කරගැනීමටය. 

ජීවිතයේ නරක කාලවලදී සුරතල් සතුන් විශ්වාසදායක මිතුරන් සේ ක්‍රියාකරයි. තමාගේ සිතේ තිබෙන දේවල් නිදහසේ සුරතල් සතුන්ට කිව හැකිය. එමගින් දරුවන් තුල ආතතියක් ගොඩනැගීම වැලක්වෙයි. අසතුටෙන් සිටිනා දරුවකු සතුටු කිරීමට සුරතලුන්හට පුළුවනි. 

සුරතල් සතෙකු තෝරා ගන්නා විට ඔබගේ පවුලේ  ජීවන රටාවට හා ඔබ ජීවත්වන පරිසරයට ගැලපෙන සුරතලෙකු තෝරා ගන්න. බල්ලකු සැදීමේදී වැඩි ඉඩකඩක් ඇති පරිසරයක් තිබීම යහපත් වනවා. ඔබට ඇත්තේ කුඩා නිවසක් හෝ කුඩා ගෙවත්තක් නම් ප්‍රමාණයෙන් කුඩා බල්ලෙකු හෝ පූසෙකු ඒ සදහා ගැලපෙනවා. එසේම කූඩු නොකර නිවාස තුල සෑදිය හැකිනම් ගිරවුන් වැනි කුරුල්ලන්ද ඇති කල හැකිය. කූඩු නොකර නිදහසේ ඇති කරන කුරුල්ලන්ගේ ඉතා ආදරණිය වීඩියෝ මා අන්තර්ජාලයේ දැක තිබෙනවා. ඇතැමුන් කුඩා ඌරු පැටවුන්ද සුරතලයට සාදනවා. හැම්ස්ටර්ස්, ගිනි පිග්, තාරාවන්, හාවුන්, බැටළුවන් ආදී සතුන්ද සුරතලයට ඇති කල හැකිය. 

එසේම ඇතැම් සුනඛ විශේෂ අඩු ඉවසීමකින් යුතුය. එවන් විශේෂ දරුවන්ට නොගැලපේ. පූසන් ඇති කිරීමේදී ඉතා මෘදුව ඔවුන්ව හැසිරවිය යුතුය. බොහෝ පූසන් කුඩා ළමුන්ට අකමැති වන්නේ කුඩා දරුවන් කලබලකාරී සහ ඝෝෂාකාරී වීම නිසයි. දරුවන් ඉදිරියේදී ඔවුන් කලබලයට හා භියට පත්වී දරුවන්ව සිරිමට හෝ සැපීමට  හැකිය. ඒ නිසා ප්‍රවේශමෙන් පූසකු මිතුරු කරගන්නා ආකාරය නියමිත වයසේ දී දරුවාට කියා දෙන්න. ඉතා කුඩා දරුවන්ට පූසන් ගැලපෙන්නේ නැත. 

දරුවන්ගේ වයස අවුරුදු 5 - 10 ත් අතර කාලය සුරතලෙකු ලබා දීමට සුදුසු කාලය වේ. මෙම අවධියේදී දරුවා සුරතලෙකු රැකබලා ගැනීමට සහ හැසිරවීමට පරිණත බවක් ඇති කාලයකි.  ඉතා කුඩා දරුවන්ට සෙල්ලම් බඩුවක් හා සතෙකු වෙන්කර හඳුනා ගැනීමට අපහසු බැවින් ඔවුන් නොදැනුවත්වම හෝ විහිළුවට හෝ සතාට යම් හිරිහැරයක් කිරීමට හැකිය. එමගින් දරුවා හිරිහැරයට ලක් විය හැකිය. කෙසේ නමුත් ඔබගේ දරුවා වැඩිහිටියෙකුගේ අධීක්ෂණය නොමැතිව සුරතල් සතෙකු හා තනි කරන්නට එපා. කුඩා දරුවන් තවමත් බොහෝ දේ ඉගෙන ගනිමින් සිටිති. බළලුන්ගේ හා බල්ලන් ගේ ශරීර සංඥා කියැවීමට දරුවන්ට කියා දෙන්න. 

සුරතල් සතුන්ගෙන් බෝවිය හැකි රෝග වලින් ආරක්ෂා වීමට සුරතල් සතුන් අතින් ස්පර්ශ කිරිමෙන් පසු අත් සෝදා ගැනීම, මැක්කන් සහ කිනිතුල්ලන් පාලනය කිරීම, සුරතලාගේ නිය පොතු කැපීම සහ දත් මැදීම, බෙටි ඉවත් කිරීම ආරක්ෂාකාරීව සිදු කිරීම , සුරතලාට නිදාගැනීමට වෙනම ස්ථානයක් සපයා දීම, ඔවුන්ගේ ආහාර බදුන් පිරිසිදුව තැබීම හා ඒවා ඇල්ලීමෙන් පසු අත් සෝදාගැනීම, ඔවුන්ව නිසි වේලාවට එන්නත් කිරීම, පණු බෙහෙත් හා අනෙකුත් ඖෂධ ලබා දීම, නැවීම හා පිරිසිදු කිරීම ආදිය සිදුකල යුතුවේ. සුරතල් සතුන්ගේ ලෝම මගින් බෝවිය හැකි රෝග නිවැරදි ආකාරයට ඔවුන්ව නහවා පිරිසිදු කිරීම මත වලක්වා ගත හැකිය.  

සුරතල් සතුන්ගෙන් ඇතිවිය හැකි හානිවලට වඩා ඔවුන්ගෙන් අපට හිමිවන ප්‍රතිලාභ වැඩි නිසා නිසි අධීක්ෂණය යටතේ දරුවන්ට සුරතල් සතුන් හා සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න.