නිරෝගී ජීවිතයයී පරිසරයයි.

Yashodha Jayalath
November 07, 2020
${article.image}

පුද්ගලයෙකුගේ නිරෝගී බව කෙරෙහි පරිසරය මගින් විශාල බලපෑමක් එල්ල වුවද, ඒ පිලිබදව අපගේ දැනීම සහ අවධානය ඉතා අවම මට්ටමක පවතී. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ, පුද්ගලයෙකුගේ නිරෝගී බව එම පුද්ගලයා කේන්ද්‍රකොට තීරණය කිරීමට අප වර්තමානයේ දී පෙළෙබී සිටීමයි.  පුද්ගලයෙකුගේ චර්යාව, ආහාර රටාව, ජීවන රටාව සහ ඔහුගේ/ ඇයගේ සිතුම් පැතුම් ආදී කරුණු මත  ඔහුගේ/ඇයගේ සෞඛ්‍ය තීරණය වන බවත් එය ඔහුගේ/ඇයගේ වගකීම බවත් අපට ඒත්තු ගැන්වී ඇත. නමුත් ඇත්තවශයෙන්ම පුද්ගලයෙකුගේ නිරෝගී බව කෙරෙහි ඔහුගේ/ඇයගේ සමාජීය පරිසරය මෙන්ම භෞතික පරිසරය විශාල ලෙස බලපෑම් එල්ල කරයි. 

අපගේ ස්වාභාවික පරිසරය අපගේ ජීවය පවත්වා ගෙන යාමට අපට අවශ්‍ය  වාතය, ජලය සහ ආහාර ඇතුළුව ජීවිතයට අත්‍යවශ්‍ය සේවාවන් සපයනු ලබනවා. මෙම කුමන හෝ අංගයක  ගුණාත්මකභාවය පිරිහීම අපගේ සෞඛ්‍යයට හා ජීවන තත්ත්වයට මෙන්ම අපගේ ආයු අපේක්ෂාවට (life expectancy) ඍනාත්මකව බලපානවා. ඇත්තෙන්ම පරිසර දුෂණය යනු අපගේ යහපැවැත්මට සහ ජීවිතයේ ගුණාත්මකභාවයට හානි කරන ප්‍රධානතම සාධකයක් ලෙස හැදින්විය හැකිය. මෙම බලපෑම් තනි පුද්ගලයෙකුගේ පාලනයෙන් එහාට ගිය කාරනාවක් නිසා සාමුහික මැදිහත් වීමක් මෙයට අවශ්‍ය වනවා. 

භෞතික පරිසරය පමණක් නොව සමාජීය පරිසරය ද තනි පුද්ගලයෙකුට පාලනය කිරීමට අපහසු, පුද්ගල සෞඛ්‍යට විශාල ලෙස බලපෑම් එල්ල කළහැකි සාධකයකි. මා මේ ලිපියෙන් අමතන්නට බලාපොරොත්තු වන්නේ පුද්ගලයෙකු ජීවත් වන භෞතික පරිසරය ඔහුගේ/ඇයගේ නිරෝගිබව කෙරෙහි බලපාන ආකාරය මෙන්ම පරිසරය සමස්ථ මනුෂ්‍ය වර්ගයාගේ නිරෝගී බව කෙරෙහි බලපාන ආකාරයත් පරිසරය රැක ගැනීමේ වැදගත් කම සහ එයට දායකත්වය ලබා දෙන්නේ කෙසේද යන්නත් පිළිබදවය.  

පළමුව අපි බලමු අපගේ භෞතික පරිසරය අපගේ ජීවිතයට බලපාන ආකාරය පිලිබදව. 

  1. පරිසරය, පුද්ගලයෙකුගේ ආතතිය අඩු කිරීමට හෝ වැඩි කිරීමට දායක වනවා. දැඩි උෂ්ණත්වය, අධික ශබ්දය හෝ ඝෝෂාව නිසා ආතතිය වැඩිවිය හැකිය. ආතතිය සහ ශාරීරික සෞඛ්‍ය අතර ඍජු සම්බන්ධතාවයක් තිබෙනවා. අපගේ මොළය, ස්නායු පද්ධතිය, ප්‍රතිශක්තිකරණය සහ අන්තරාසර්ග පද්ධතිය එකිනෙක හා අන්තර්ක්‍රියා දක්වමින් සිටින නිසා අප සිතන පතන දේවල් මෙන්ම අපට හැගෙන දැනෙන දේවල් නිසා අපගේ ශරීරයේ ජීව රසායනය හා පරිවෘත්තිය ක්‍රියා වෙනස් වනවා. මෙමගින් අධිරුධිර පීඩනය, මාංශ පේශි තද වීම සහ හිසරදය වැනි තත්ව ද ප්‍රතිශක්තිකරණය දුර්වල වීම හේතුවෙන් නිතරම අසනීප වීමද සිදුවිය හැකිය.  අපව අපහසුතාවට පත් කරන පරිසරයක ජීවත් වීම අපගේ සෞඛ්‍යට සහ ජීවිතයේ ගුණාත්මක භාවයට ඍනාත්මක ලෙස බලපාන්නේ එලෙසිනි. 

  2.   වායු දුෂණය අපගේ නිරෝගී භාවයට කෙලින්ම බලපාන තවත් සාධකයකි. වාතයේ ඇති විවිධ ඝන අංශු (solid particles) සහ දියර බිඳිති (droplets) වලට නිරාවරණය වීමෙන් හෘද වාහිනී රෝග, ශ්වසනාබාධ  සහ මරණ  ඇතිවීමේ හැකියාව පිලිබදව බොහෝ අධ්‍යන සිදු කොට තිබේ.  (Brook et al., 2010; Laumbach and Kipen, 2012; Mustafić et al., 2012; Tzivian, 2011). 1990 දශකයේ අග භාගයේ සිට 2000 දශකයේ මැද භාගය දක්වා වූ කාලයේදී  සිදුකල අධ්‍යයන සමාලෝචනයකින් ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, දකුණු කොරියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල වායු අංශු පදාර්ථ හා උපත් බර අතර  ප්‍රතිලෝම සම්බන්ධතාවයක් සොයා ගන්නා ලදී. (Parker et al., 2011a). තවත් වැදගත් පර්යේෂණයකින්  ඊයම් අංශු වලට නිරාවරණය වීම හා දරුවන්ගේ ප්‍රජානන ක්‍රියාවලිය අතර ඇති සම්බන්ධය පැහැදිලි කරන දී තිබුණි. (https://pubmed.ncbi.nlm.nih.gov/18332714/).  එම පර්යේෂණයට අනුව දරුවන්ගේ බුද්ධිඵලය අඩුවීමට සහ අධ්‍යාපනික දක්ෂතා කෙරෙහි ඍනාත්මක බලපෑම් ඇතිකිරීමට ඊයම් අංශුවලට නිරාවරණය වීම දායක වන බව පෙන්වා දෙනු ලැබිණි. එපමනක් නොව නිරාවරණය වන ඊයම් අංශු ප්‍රාමාණය වැඩිවන විට  දරුවන්ට , සමාජශීලි නොවන හැසිරීම් දැක්වීම සහ ADHD (අඩු අවධානය සහිත අධි ක්‍රියාශීලි) වැනි ස්නායු-මනෝව්‍යාධි තත්ව ඇතිවීම අතර ද  සම්බන්ධතාවයක් ඇතිබව සොයාගනු ලැබුවා. ඊයම් අංශු  වලට නිරාවරණය වීම දරුවන්ට කිසිසේත්ම යහපත් නොවන බව මෙයින් පැහැදිලි වනවා.  

වායු දුෂණයේ තවත් ඵලයක් ලෙස ඕසෝන් වියන හානිවීම දැක්විය හැකිය. හිරුගේ සිට පැමිනෙන පාරජම්බුල කිරණ වලින් අපව ආරක්ෂා කරන්නේ ඕසෝන් වියනයි. ඕසෝන් වියන සිදුරුවීම නිසා හිරුගේ පාරජම්බුල කිරණ කෙලින්ම පෘතුවියට ලගා වීම නිසා ශාක හා ශාක ප්ලවාංග වල ප්‍රභාසංස්ලේෂණයට බාධා එල්ලවේ. එමගින් ආහාර දාම බිඳ වැටිය හැකිය. එසේම මිනිසුන්ගේ සමේ පිළිකා ඇතිවීම හා ඇසේ සුද ඇතිවීම වැනි කෙලින්ම නිරෝගිබවට බලපෑම් ඇති කරයි. 

  1.  වායු දුෂණය හා එහි අහිතකර බලපෑම් පිලිබදව අපගේ සාමාන්‍ය ජනතාවට කිසිදු වැටහීමක් නොමැති බව විටෙක මට සිතෙනවා. ඇතැම් මිනිසුන් තමන්ගේ නිවසේ එකතුවන අපද්‍රව්‍ය අතර ඇති ප්ලාස්ටික් සහ පොලිතින් පුළුස්සා දැමීමට කටයුතු කරනවා මා දැක තිබෙනවා. විශේෂත්වය වන්නේ ඔවුන් එය සිදුකරන්නේ රාත්‍රී කාලයේදී හෝ හිරු උදාවීමට කලින් අදුර වැටී ඇති වේලාවටය. එම වේලාවේදී මෙම අපද්‍රව්‍ය පුළුස්සා දැමීම නිසා සිදුවන හානිය අඩු යැයි ඔවුන් සිතනවා විය හැකිය. අපද්‍රව්‍ය පිළිස්සීම ඉතා අහිතකර දෙයකි. 

කුණු කසළ පිලිස්සීමෙන් නිපදවන දූෂක ද්‍රව්‍ය වාතයට එකතුවන්නේ ඒවා පහසුවෙන් ආශ්වාස කළ හැකි ලෙස බිම් මට්ටමට ආසන්නව වේ. මෙහිදී නිදහස් වන දුෂක අතර  කාබන් මොනොක්සයිඩ් (CO), කාබන් ඩයොක්සයිඩ් (CO2), නයිට්‍රජන් ඔක්සයිඩ් (NOx) විශාල වශයෙන්ද දුමාරයේ වඩාත් විෂ සහිත රසායනික ද්‍රව්‍ය ලෙස බෙන්සීන්, ස්ටයිරීන්, ෆෝමල්ඩිහයිඩ්, පොලිකොරිනේටඩ් ඩිබෙන්සෝඩියොක්සින් (PCDD හෝ “ඩයොක්සින්”), පොලිකොලොරිනේටඩ් ඩයිබෙන්සෝෆුරන්ස් (PCDF හෝ “ෆුරන්ස්”), පොලික්ලොරිනේටෙඩ් බයිෆිනයිල්ස්  (PCB) සහ බැර ලෝහ වන  ඊයම්, රසදිය සහ ආසනික් කුඩා ප්‍රමාණයක්  ද අඩංගු විය හැකිය. 

විශේෂයෙන්ම ප්ලාස්ටික් පිලිස්සිමේදී ඉතා විෂ සහිත ඩයීඔක්සින් වැනි රසායනික නිදහස් වේ. ඩයොක්සින්, ඉටි ස්වභාවය ඇති ශාක පත්‍ර වල  මතුපිට ඇලෙන අතර  එම ශාක පත්‍ර ආහාරයට ගන්නා සතුන් මගින්  ආහාර දාමයන්ට ඇතුළු වේ. නොපිලිස්සී ඉතිරිවන ප්ලාස්ටික් සහ පොලිතින් කොටස් මගින් පස මෙන්ම ගංගා, ඇල, දොළ ආදියද දුෂණය වේ. මේවා ආහාරයට ගන්නා සතුන් අසනීප වේ. එසේම මදුරුන් බෝවන ප්‍රභව ලෙස ද මෙම අපද්‍රව්‍ය පරිසරයට හානි සිදුකරයි. 

  1. අප නිවෙස් වල කෙතරම්  විෂබීජ නාශක දියර, සේදුම් කාරක, ෂැම්පු වර්ග, සබන්, රෙදි සේදුම් ද්‍රව්‍ය භාවිතා කරනවා ද? මේවා  එකතු වන්නේ කොතනකටදැයි කියා ඔබ සිතුවාද ? අවුරුදු ගණනාවක් පුරා අප භාවිතා කරන්නට පුරුදු වී ඇති මෙම පිරිසිදු කාරක, විෂබීජ නාශක ස්වභාවික පරිසරයේ එකතුවනවා. භූගත ජලය අපවිත්‍ර වීම සහ පස අපවිත්‍ර වීමටත් එය හේතුවනවා. අප ගෙවත්තේ වගා කරන එළවළු පළතුරු වලට  පවා ඒවා එකතුවිය හැකිය. ඉතින් වර්තමානයේ දී පිළිකා ආදී බෝනොවන රෝග වැඩිවීම පුදුමයක් නොවෙයි. අප ඇඟ ගලවන සබන් වල පවා අපට අහිතකර සංයෝග අන්තර්ගත වන බව දැන් ඔප්පු වී ඇත. හැකිතාක් මෙවන් රසායනික පිරිසිදුකාරක සහ විෂබීජ නාශක අවම කරන්න. අතීතයේ සිටි මිනිසුන් නිවෙස් පිරිසිදු කරන ලද්දේ ලුණු වතුර, කහ වතුර සහ පැගිරි වතුර ආදිය භාවිතා කරමිනි. එසේම අපට නිවසේදී මෙවැනි ස්වභාවික ද්‍රව්‍ය යොදා විෂබීජ නාශක සාදාගත හැකිය. අන්තර්ජාලය භාවිතා කොට එවන් දේවල් ඉගෙන ගන්න. 

ගංගා වලට එකතු කරන හෝ එකතුවන අපද්‍රව්‍ය අවසානයේදී සාගරයට එකතුවේ. සමුද්‍ර දූෂණය සමුද්‍ර ජීවීන්ට සමුද්‍ර  පරිසරයට පමණක් නොව මානව වර්ගයාට ද බලපානු ලබනවා.  අපද්‍රව්‍ය මගින් සාගරයට එකතුවන විෂ රසායනික ද්‍රව්‍ය ආහාර දාම ඔස්සේ නැවත මිනිසාටම ලැබෙන බව ඔබ දන්නවාද ? කෙලවල්ළා, තෝරා, සප්පරා, කොප්පරා ආදී විශාල මාළුන්ගේ අධික ලෙස බැරලෝහ ආදිය එකතුවන අතර ප්ලාස්ටික් අංශු හා වෙනත්  විෂ රසායන කුඩා මාළුන්ගේ ශරීර වල සාන්ද්‍රණය වී ඇති බව දැන් සොයාගෙන ඇත. Diethylhexyl phthalate (DEHP) යනු ඇතැම් ප්ලාස්ටික් වර්ග වල අඩංගු වන රසායනික ද්‍රවයකි. එය පිළිකාකාරකයක් බවට තහවුරුකොට ඇත. BPA යනු ඇසුරුම් ද්‍රව්‍ය සහ බෝතල් නිෂ්පාදනය කිරීමට ගන්නා ප්ලාස්ටික් වල අඩංගු තවත් එක් විෂ ද්‍රව්‍යයකි.   අතීතයේදී මාළු මාංශ විෂ ද්‍රව්‍ය වලින් තොර යැයි අප සිතා සිටියද මාළු මාංශ පවා වර්තමානයේදී විෂ සහිත වේ. පිටරටට අපනයනය කරන මත්ස්‍ය නිෂ්පාදන වල බැරලෝහ සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය මිනිසාගේ භාවිතයට නුසුදුසු ප්‍රමාණයට ඇතිදැයි පරීක්ෂණ කොට බලා සුදුසු නිෂ්පාදන පමණක් අපනයනය කරයි. නමුත් ලංකාවේ වෙලදපොලේ ඇති මාළුන්ගේ තත්වය කෙබදුදැයි අප දන්නවාද ? මිනිසුන් දිගු කලක් මෙම විෂ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වී තිබීම, හෝමෝන ගැටළු, ප්‍රජනන පද්ධතියේ  ගැටළු මෙන්ම  ස්නායු පද්ධතියට හා වකුගඩු වලට හානි සිදුවීම ආදී භයානක සෞඛ්‍ය ගැටළු වලට හේතු විය හැකිය.  (https://www.nationalgeographic.com/news/2009/8/plastic-breaks-down-in-ocean-after-all-and-fast/). 

ඔබගේ ආහාර වේලට මාළු වැඩිපුර  එක් කර ගැනීමෙන් වලකින්න. වගකීමක් ඇති පුරවැසියන් වශයෙන් අප අපගේ අපද්‍රව්‍ය නිවැරදිව කළමනාකරණය කරගැනීමට පුරුදු විය යුතු අතර ඊට ඇති බාධා ඉවත් කර ප්‍රතිඵලදායක අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක්  හදුන්වා දෙන ලෙස අප සමාජයක් ලෙස රජයෙන් ඉල්ලා සිටිය යුතු වේ. හැකිතාක් දුරට ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට අප උත්සාහ දැරිය යුතුය. 

  1. පරිසර දූෂණය හා දේශගුණික විපර්යාස නිසා ජෛව විවිධත්වයට බලපෑම් සිදුවන අතර  එය කෘෂිකර්මාන්තයට බලපෑම් කළ හැකිය. විශේෂයෙන්ම මීමැස්සන් ආදී කෘමින් වදවීම නිසා පරාගන කාර්ය හොදින් සිදුනොවීම බෝග  අස්වැන්න අඩුවීමට හේතුවක් වේ. එමගින් ආහාර නිෂ්පාදන අඩුවන නිසා පෝෂණ ගැටළු මතු විය හැකිය. මීමැස්සන් යනු අපගේ ජීවය පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය වන සත්ව කොට්ඨාශයකි. හැකි තරම් ඔබ ගෙවත්තේ මල් හටගන්නා පැළ වර්ග සිටුවන්න. එසේම ජෛව විවිධත්වය හානියට පත්වීම නිසා බෝවන රෝග ව්‍යාප්තිය වැඩිවීම, සම්පත් ක්ෂය වීම නිසා සංවර්ධනය අදාළ වීම, ජීවන තත්වය පහල යාම මෙන්ම විවිධ රෝග වලට ඖෂධ නිපදවීමේදී ද බාධා පැමිණේ. ශාක සහ සාගරයේ ශාක ප්ලවාංග මගින් වායුගෝලයේ ඔක්සිජන් සහ කාබන්ඩයොක්සයිඩ් අනුපාතය පවත්වා ගනියි, ජෛව විවිධත්වය හායනය වීමේදී වායුගෝලයේ මෙම අනුපාතය නිවැරදිව පවත්වා ගත නොහැකි වී පෘතුවියේ ජීවය තර්ජනයට ලක්විය හැකිය.  

අප සිතනවාට වඩා පරිසරය අපගේ සෞඛ්‍යට බලපෑම් ඇති කරන බව ඔබට දැන් වැටහෙනවා නේද ? වගකීමක් ඇති පුරවැසියන් සේ ක්‍රියාකරමින් අප අපගේ පරිසරය රැක ගනිමු. එමගින් අපගේ මෙන්ම අපගේ දරුවන්ගේ ආයු කාලයද එහි ගුනාත්මකබවද වැඩිකළ හැකි වේ.