දරුවන්ට ඍණාත්මක ලෙස බලපාන දෙමව්පිය හැසිරීම්.

දරුවන්ගේ මුල්ම ගුරුවරුන් වන්නේ ඔවුන්ගේ දෙමව්පියන්ය. එසේම සෑම දෙමව්පියෙකුම වාගේ තම දරුවන් හොදින් හැදී වැඩී යහපත් පුද්ගලයෙකු සේ සමාජ ගත වනු දැකීමට කැමති වේ. තම දරුවන්ට කෙතරම් ආදරය කලද ඔබ නොදැනුවත්ව හෝ ඔබගේ නොසැලකිලිමත් බව නිසා ඔබගේ ඇතැම් හැසිරීම් නිසා දරුවන්ගේ පෞර්ෂය දුර්වල වේ. යහපත් දෙමව්පිය හැසිරීම් රටාවක් ගොඩ නගා ගැනීම ඇත්තෙන්ම දුෂ්කර කාර්යකි. මෙම ලිපියෙන් මා අමතන්න බලාපොරොත්තු වන්නේ දරුවන්ට ඍණාත්මක ලෙස බලපාන දෙමව්පිය හැසිරීම් පිලිබදවයි.
-
දරුවන්ට කෑ ගැසීම: ඔබගේ දරුවා යම් වරදක් කල විට ඔබ කෝපයට පත්වී දරුවාට කෑ ගසා බැන වදියි නම් එය දරුවාට අයහපත් ලෙස බලපෑ හැකිය. විශේෂයෙන්ම දරුවා අවංක නොවීමට මේ නිසා පෙලඹිය හැකිය. මන්ද, බැනුම් ඇසීමට සිදුවේයයි සිතා ඔහු/ඇය අතින් සිදුවන වැරදි වෙන අයෙකු පිට යැවීම හෝ වසන් කිරීම සිදුකරන්නට දරුවන් යොමුවේ. එවිට ඔබට දරුවාගේ එම වැරැද්ද සකස් කිරීමට හැකියාව ලැබෙන්නේ නැත.
-
දරුවාට දඩුවම් දීම, විවේචනය කිරීම, බැන වැදීම ආදිය ප්‍රසිද්ධියේ සිදුකිරීම. විටෙක ඔබගේ ඉවසීම නොමැති වී ප්‍රසිද්ධියේ හෝ පිරිසක් ඉදිරියේදී දරුවාට බැන වැදුනහොත් හෝ දරුවාට දඩුවම් කළහොත් දරුවාගේ ආත්මගරුත්වයට ඉන් හානියක් සිදුවේ. මෙහිදී දරුවා ලැජ්ජාවට පත්වන නිසා දරුවාගේ ආත්ම ශක්තිය හීන වී දුර්වල පෞර්ෂයක් ගොඩනැගිය හැකිය. මෙවන් දුර්වලතා නැවත සැකසීම තරමක් අපහසු විය හැකිය. මීට අමතරව දැඩි දඩුවම් දීමද අයහපත් ප්‍රතිඵල අත්කර දේ.
-
දරුවාගේ ගැටළු සාකච්චා මාර්ගයෙන් විසදාගැනීම වෙනුවට දරුවාට අණ දීම ද දරුවාට අහිතකර ලෙස බලපාන කරුණකි. ඔබ සිතන්න ඔබට යම් අයෙකු යම් යම් දේවල් කිරීමට අණ කරයි. ඇතැම් විට ඔබ ඒවා කිරීමට අකමැති වන්නට පුළුවනි. එසේ නැතිනම් ඔබට එය කිරීමේ අපහසුතාවයක් තිබෙන්නට පුලුවනි. ඔබට අණ දෙන්නා ඒ පිලිබදව කිසිදු තැකීමක් නොකර, ඔබගේ අදහස් නොවිමසා ඒ දෙය කිරීමට ඔබට බල කරයි. ඔබට සිතෙන්නේ කුමක්ද? කෙතරම් මානසික පීඩාවකට ඔබ පත්වේවිද? ඔබ දරුවා සමග සාකච්චා නොකළහොත් ඔබගේ දරුවාට හැගෙන්නේද දැනෙන්නේද ඔබට දැනුනු අසරණබව, කලකිරීම, තරහ සහ පීඩනයයි.
-
ඇතැම් දෙමව්පියන් දරුවන් ඉදිරියේ සහකරු හෝ සහකාරිය සමග රණ්ඩු සරුවල් කරති. එකිනෙකා විවේචනය කරගනිති. මේනිසා දරුවන්ට අනාරක්ෂිත හැගීමක් ඇතිවේ. එපමනක් නොව දරුවන් දෙමව්පියන්ට ගරු නොකිරීමටද පෙළඹේ. තම පවුල පිළිබද වගේ වගක් නොමැති පුද්ගලයින් ඔබ දැක ඇති. එවැනි පුද්ගලයින් බිහිවන්නේ මෙසේ දරුවන් ඉදිරියේ රණ්ඩු සරුවල් කරන ලද දෙමව්පියන්ගේ දරුවන්ය. මෙම වැරදි හැසිරීම් දරුවන්ද ඉගෙනගනියි. සිතන්න, ඔබට ඔබ බලාපොරොත්තුවන සහකරු හෝ සහකාරිය නොලැබුනද ඔබ ප්‍රර්ථනා කරන්නේ ඔබගේ දරුවන්ට යහපත් පවුල් ජීවිතයක් ලැබේවායි කියා නොවේද? ඔබගේ දරුවා ඔබගෙන් රණ්ඩු සරුවල් කරන ආකාරය ඉගෙනගනු ලැබුවහොත් ඔහු/ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගත කරාවිද?
-
දරුවාව අධෛර්යයට පත් කිරීම: දරුවන් යම් යම් දේවල් කර බැලීමට කැමතියි. එසේම ඔවුන් ගවේෂණශීලි මෙන්ම කෘතුහලයෙන් යුතු අය වෙති. ඔවුන් එසේ කරන දේවල් වැරදී යා හැකිය. එවිට ඔහුව/ඇයව විවේචනය කිරීම, “පන්ඩිතයි, පැහිලාවැඩියි, කරොත් කරන්නේ ඔහොම දෙයක්මයි, ඕනාවට වඩා ඉදිමෙන්න එපා” ආදී ලෙස බැනවැදීම නොකළ යුතුය. ඒ වෙනුවට යම් යම් දේ කරන ආකාරය ඔවුන්ට කියා දෙන්න. ඔවුන් හා එකතු වී වැඩකරන්න. අගය කරන්න.
-
ඇතැම් දෙමව්පියන් දරුවන්ගේ වැඩකටයුතු වලදී ඔවුන්ට සහයෝගය ලබානොදේ. උදාහරණ ලෙස දරුවා පාඩම් කරනවිට රූපවාහිනිය සද්දෙන් දමාගෙන සිටීම, දරුවාට අවශ්‍ය යම් යම් පාසල් උපකරණ/ ක්‍රීඩා උපකරණ/ සංගීත භාණ්ඩ/පාට පෙට්ටි ආදිය අරන්නොදීම, අපහසු පාඩම් කියා නොදීම ආදිය සිදු කරයි. දරුවාටද යම් යම් අරමුණු තිබේ. ඒවා සාක්ෂාත් කරගැනීමට ඔබගේ දරුවාට ඔබගේ සහයෝගය අවශ්‍යයි. එම සහයෝගය ලබාදෙන්න.
-
දරුවන් ඉදිරියේ මත්පැන්, මත්ද්‍රව්‍ය සහ සිගරට් පානය කිරීම ඉතාම අහිතකර හැසිරීමකි. මත්පැන් බොන පියවරුන් අතින් බොහෝ දරුවන් අපයෝජනය වන බව විවිධ සිද්ධි අධ්‍යයනයේදී හෙළිවන කරුණකි. මේනිසා දරුවන් අනාරක්ෂිත වන අතර කායික රෝගාබාධයන්ටද දරුවන් ලක්විය හැකිය. ඔබට මේවා කිරීම අවශ්‍යම නම් නිවසෙන් පිටදී සිදුකරගන්න.
-
කුඩා දරුවන් වැඩිහිටියන්ට උදව් කිරීමට ඉතා කැමතිය. මේනිසා වැඩිහිටියෙකු යම් වැඩක් කරනවිට ඔවුන්ද එකතුවීමට පැමිණේ. මෙය තේරුම් නොගන්නා වැඩිහිටියන් ඔවුන්ව එලවා දමයි. මෙය අහිතකර දෙයකි. දරුවා ගැන ඔබ තුල විශ්වාසක් නොමැතිබව දරුවාට හැගේ. දරුවා ඔබට හොරෙන්/ ඔබ නොමැතිවිට තනිවම මේවා කිරීමට පෙලෙඹිය හැකිය. එමගින් ඔහු/ඇයට හානියක් සිදුවිය හැකි අතර, ඔබට හොරෙන් දේවල් කිරීමට පෙලබීම නිසා දරුවාතුල වංකබව ගොඩනැගේ. දරුවාට ඔබට උදව් කරන්නට ඉඩදෙන්න. ඔබට උදව්කිරීම නිසා දරුවාගේ සිත සන්තෝෂයට පත්වේ. එසේම අනුන්ට උදව්කිරීමට මෙන්ම අනුන්ගැන සිතනා පරාර්ථකාමී පෞර්ෂයක් දරුවා තුල ගොඩනැගීමට එය ඉවහල් වේ.
-
දරුවාගේ ජයග්‍රහණ නොසලකා හැරීමද ඇතැම් දෙමව්පියන් කරන වරදකි. දරුවාගේ ජයග්‍රහණ ඔබට සුළු දෙයක් විය හැකිය. නමුත් ඔහුට/ඇයට එය විශාල දෙයකි. ඔවුන්ව අගය කිරීම තුලින් ඔවුන් ධෛර්යමත් වේ. අනාගතයේදී විශාල ජයග්‍රහණ ලබා ගැනීමට එය විශාල දායකත්වයක් සපයයි. දරුවන් දෙමව්පියන්ව සතුටු කිරීමට ඉතා කැමතිය. ඔවුන්ගේ ජයග්‍රහණ දැක ඔබ සතුටුවනු දැක ඔවුන්ද සතුටුවේ. ඔවුන් තුල ආත්මඅභිමානය ගොඩනැගීමට ද එය ඉවහල් වේ. සතුටු කිරීමට අපහසු දෙමව්පියන්ගේ දරුවන්ගේ ආත්මවිශ්වාසය හා ආත්මඅභිමානය බිඳ වැටේ. ඔවුන් මානසිකව බිඳ වැටි ඇති නිසා ඔවුන්ට සාර්ථක පුද්ගලයන් වීමට තරමක් අපහසුවේ. එසේම වැඩිහිටියන් වූ පසුව දෙමව්පියන්ට නොසලකා හරින්නේ මෙවන් දරුවන්ය.
-
දෙමව්පියන් දරුවන්ගේ ජීවිතයේ කොටසක් නොවීම නිසා දරුවන් දෙමව්පියන්ගෙන් ඈත්වේ. දරුවන් දෙමව්පියන්ගෙන් ඈත්වීම නිසා වෙනත් පුද්ගලයන්හට ලංවීමට පෙළෙඹේ. එසේ ලංවන පුද්ගලයා අයහපත් පුද්ගලයෙකු වුවහොත් දරුවාට අනර්ථයක් සිදුවිය හැකියි නේද? ඔබට කෙතරම් වැඩ රාජකාරි තිබුනද දරුවන්ගෙන් ඈත් වීමට එය හේතුවක් කරගන්න එපා. දිනකට පොඩි වෙලාවක් හෝ දරුවන් සමග ගත කරන්න. ඔවුන් අසන ගැටළු වලට පිළිතුරු දෙන්න. ඔවුන්ව හුරතල් කරන්න. ඔවුන්ව ඔබට කෙතරම් වටිනවාද යන්න ඔවුන්ට පවසන්න. නිවාඩු දිනවලදී දරුවන් තුරුලු කරන් නිදාගන්න පැයක් දෙකක්. ඔවුන් එයට ඉතාම කැමතිය. ඔවුන් සමග සෙල්ලම් කරන්න, චිත්‍ර අදින්න. මෙවැනි දේවල් මගින් ඔබටද මානසික සහනයක් ලැබේවි.
-
දරුවන්ව අනෙක් දරුවන් හා සංසන්දනය නොකළ යුතුවේ. මෙසේ කිරීමෙන් දරුවාගේ අනන්‍යතාවය ගොඩනැගෙන්නේ නැත.
-
පමණට වඩා දරුවාව ආරක්ෂා කිරීමද නොකළ යුතුවේ. මේ නිසා දරුවා තුල යැපෙන මානසිකත්වක් ගොඩනැගී පරාධීන පෞර්ෂයක් ගොඩනගා ගනියි.
-
ඉල්ලන ඉල්ලන දේ ඒපමණින්ම මිලදී ගෙන දීමද නොකළයුතු දෙයකි. එසේ ඉල්ලන පරක්කුවෙන් දේවල් ලැබීමේදී ඔවුන්ට ඒගැන ඇති වටිනාකම නැතිවී යයි. එසේම කිසිවක් ප්‍රශංසා කිරීමට හෝ අගය කිරීමට මෙයින් ඔවුන් ඉගෙනගන්නේ නැත. ඔහුගේ/ඇයගේ ජයග්රහණයකදී, උපන්දිනයකදී, ඔවුන් යම් යහපත් වැඩක් කලවිට ඔවුන්ව අගය කිරීම උදෙසා ඔවුන් ඉල්ලනලද දේ ලබාදෙන්න. මෙයින් යමක් ලබාගැනීමට නම් තමන්ද යම් යම් යහපතක් කල යුතු බව ඔවුන්ට වැටහේ. එනිසා තමන් ලද දෙය පිලිබදව වටිනාකමක් මෙන්ම එය ලබාදුන් අය පිලිබදව ස්තුතිපූර්වක හැගීමක් ද දරුවා තුල ඇතිවේ.
-
දරුවාගේ වැරදි හැසිරීම් වලට සමාව ලැබෙන කාරනා දෙමව්පියන් විසින් ගෙතීම ද නොකළ යුතුය. උදාහරණයක් ලෙස දරුවා සමග යම් ආගන්තුක නිවසකට ගියවිට දරුවා එම නිවසේ යම් භාණ්ඩයකට හානි කිරීමක් හෝ යම් නොසන්සුන් ලෙස හැසිරීමක යෙදෙන විට, “ අනේ අපේ බබා ටිකක් දගයී”, “අනේ බබාට බඩගිනිවෙලා”, “ඔය නිදිමත හින්දා ඔහොම කරන්නේ” ආදී ලෙස දෙමව්පියන් නිදහසට කාරනා ගොතා දරුවා නිදහස් කරයි. එසේ කිරීම සුදුසු නැත. ඔවුන්ගේ ක්‍රියාව පිළිගත නොහැකිබව ඔවුන්ට ඒත්තුගැන්විය යුතුය. දරුවාට අවමන් නොකර ඔහුගේ/ඇයගේ ක්‍රියාව වැරදි බව ඔවුන්ට වටහා දිය යුතුය. ඔබ නිදහසට කාරනා කියා දරුවාව ආරක්ෂා කළහොත් ඔහු/ඇය දිගටම එම හැසිරීම පවත්වා ගනීවි. එය දරුවාගේ සමාජීය යහපැවැත්මට සුදුසු නොවේ.
ඇත්තෙන්ම දෙමපියෙකු වීම ලේසි පහසු කාරණයක් නොවේ. හැකිතාක් දුරට අප යහපත් ලෙස හැසිරීමට උත්සාහ දැරිය යුතුය, මන්ද දරුවන්ගේ මුල්ම ගුරුවරු වන්නේ දෙමව්පියන් වනවා සේම දරුවන්ට මෙලොව වැඩියෙන්ම ආදරය කරන්නෙත්, ඔවුන්ගේ යහපත වැඩියෙන්ම ප්‍රර්ථනා කරන්නෙත් දෙමව්පියන් වන බැවින් ඔවුන් අයහපත් ලෙස සමාජගත වුවහොත් දුක්විදින්නට වන්නේ ද දෙමව්පියන්ටම වන නිසාය.