නිරෝගී දිවියක සැබෑම මිතුරා

වසර 4000 ක පමණ සිට වගා කරන ලද අඹ දකුණු සහ අග්නි දිග ආසියාවට අවේනික වූ පලතුරකි. ඉන්දියාවෙන් සම්භවය වූ මෙම රසවත් පළතුර වර්තමානයේදී ලොව පුරා ආදරය දිනාගෙන ඇත්තාසේම මෙක්සිකෝව, පේරු සහ ඉක්වාදෝරය ආදී රටවලද වගාකරනවා. එකිනෙකට හැඩයෙන්, රසයෙන්, ප්‍රමාණයෙන් සහ වර්ණයෙන් වෙනස් වූ අඹ වර්ග ගණනාවක් ම ඇත. ඇත්තෙන්ම අඹ යනු රසවත් පලතුරකි. රසය පමණක් නොව අඹ වල ඉතා ඉහල පෝෂණ ගුණයක් ද පවතී. මේ නිසාම ලෝකයේ ඇතැම් ප්‍රදේශ වල පළතුරු අතර රැජින ලෙස අඹ පළතුර හදුන්වා දී ඇත. සිදුකර ඇති පර්යේෂණ මගින් අඹ වල ඇති පෝෂණීය සංඝටක සහ ප්‍රතිශක්තිකරණය, පෙනීම, ආහාර ජීර්ණය සහ විවිධ පිළිකා තත්ත්ව වලින් වැලකීම වැනි සෞඛ්‍ය ප්‍රතිලාභ අතර සම්බන්ධතාවයක් ඇති බව සොයාගෙන තිබෙනවා.
අඹ වල අඩංගු වන කැලරි ප්‍රමාණය අඩුය, නමුත් එහි පෝෂක ඉහල ප්‍රමානයක් අඩංගු වනවා. විශේෂයෙන්ම අඹ ග්‍රෑම් 165ක් මගින් (අඹ කෝප්පයක් මගින්) දෛනික විටමින් c අවශ්‍යතාවයෙන් 70%ක් සැපිරිය හැකිය. විටමින් C යනු ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහල නැවීමට අවශ්‍යවන සහ ශරීරයේ යකඩ අවශෝෂණයට අවශ්‍ය වන විටමිනයකි.
අඹ වල මැන්ජිෆෙරින්, කැටෙචින්, ඇන්තොසයනින්, කෙම්ප්ෆෙරෝල්, රම්නෙටින් සහ තවත් බොහෝ ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් අඩංගු වේ. ආහාර වල පෝෂණ ගුණය පිලිබදව විමසිලිමත් වන ඔබ දැනටමත් ප්‍රතිඔක්සිකාරකවල වැදගත්කම පිලිබදව දන්නවා ඇති. ප්‍රතිඔක්සිකාරක විසින් අප ශරීරයට හානි ඇතිකරන නිදහස් මුක්ත කණ්ඩ වලින් ශරීරය ආරක්ෂා කරයි. නිදහස් මුක්ත කණ්ඩ වලට පිළිකා සහ ඇල්ෂයිමර් ආදී රෝග ඇති කිරීමේ හැකියාවක් පවතී. අඹ වල අඩංගු මැන්ජිෆෙරින් නම් ප්‍රතිඔක්සිකාරකය අනෙක් ප්‍රතිඔක්සිකාරක වලට වඩා ක්‍රියාකාරීත්වයෙන් ඉතා වැඩිය. සතුන් යොදාගෙන සිදුකරන ලද පර්යේෂණ මගින් සොයාගනුලැබූ ආකාරයට මුල් අවධියේ පියයුරු පිළිකා වර්ධනය වීම නැවත්වීමට අඹ වලට හැකියාව තිබෙනවා.
අඹ, ෆෝලේට්, විටමින් ඒ, සී, කේ, ඊ සහ බී විටමින් කිහිපයකම හොඳ ප්‍රභවයකි. මේ විටමින් සියල්ලම ප්‍රතිශක්තිය වැඩි කිරීමට උපකාරී වේ. අඹ කෝප්ප 1ක් මගින් දෛනික විටමින් A අවශ්‍යතාවයෙන් 26 % ක් ලබා ගත හැකිය. ඇස්වල පෙනීම රැකගැනීම, නිරෝගී සමක් සදහා මෙන්ම ප්‍රජනන පද්ධතියේ නිරෝගී බවටද විටමින් A උපකාරීවනවා.
අඹ වල මැග්නීසියම්, පොටෑසියම් සහ ප්‍රතිඔක්සිකාරකයක් වන මැන්ගිෆෙරින් අඩංගු වන අතර ඒවා සියල්ලම සෞඛ්‍ය සම්පන්න හෘද ක්‍රියාකාරිත්වයකට සහාය වේ.
සත්ව අධ්‍යයනයන් මගින් සොයාගෙන ඇත්තේ මැංගිෆෙරින් මගින් හෘද සෛල ප්‍රදාහයෙන් (Inflammation) ආරක්ෂා කළ හැකි බවයි. ඊට අමතරව, එය රුධිරයේ කොලෙස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ සහ නිදහස් මේද අම්ල මට්ටම අඩු කිරීමට ද දායක වේ.
දිගු කල් පවතින මලබද්ධයට සහනයක් ලබාදීමටද අඹවලට හැකියාව තිබෙනවා. “The Official Journal of the Federation of American Societies for Experimental Biology”, නම් පර්යේෂණ ජ’නලයේ පලවූ පර්යේෂණයකට අනුව දිනපතා අඹ ආහාරයට ගත් මලබද්ධයෙන් පෙළුණු පුද්ගලයන්ගේ රෝග ලක්ෂණ ඉක්මනින් පහව ගොස් තිබෙනවා. මෙයට හේතු විය හැක්කේ අඹ වල අඩංගු ඉහල තන්තු සහ ජල ප්‍රමාණයයි.
සාමාන්‍යයෙන් හොඳම යහළුවා හදුන්වන්නේ ද අඹ යහළුවා නමිනි. එසේම නිරෝගී දිවියකට සිටින සැබෑම මිතුරෙකු ලෙස අඹ හදුන්වා දීමේ වරදක් නැති බව ඔබට දැන් වැටෙහෙනවා ඇති.