ළදරුවාගේ චිත්තවේගික සංවර්ධනය සිදුවන්නේ මෙහෙමයි.

ළදරුවාගේ චිත්තවේගික සංවර්ධනය යනු ළදරුවා තමාගේ හැගීම් සහ දැනීම් ප්‍රකාශ කිරීමට ඉගෙනගැනීම සහ අනෙකාගේ හැගීම් දැනීම් අවබෝධ කරගැනීමේ හැකියාව ලබා ගැනීමයි. ඉපදුන අලුත් හඩමින් කෑගසමින් බඩගින්නෙන් පෙළුණු මේ පුංචි ළදරුවා ටික දිනකින් මවගේ හා පියාගේ කටහඩට ප්‍රතිචාර දක්වනවා නේද? තම කුඩා දෑස් එහෙමෙහෙ කරමින් තම පරිසරය අවබෝධ කරගන්නට උත්සාහ දරනවා ඔබ දැක ඇති. පවුලේ සමීපතයන් හා පිටස්තරයින් හදුනාගන්නේ කෙසේදැයි ඔබට සිතුනාද? ළදරුවාගේ චිත්තවේගික සංවර්ධනය යනු එයයි. එනම් ළදරුවා තම අවට පරිසරයේ දකින පුද්ගලයින් සහ දේවල් සමග හැගීම් ඇති කර ගනියි. ළදරුවාගේ චිත්තවේගිය සංවර්ධනය ඉතා වැදගත් වන්නේ එමගින් ඔවුන්ට තමා අවට පරිසරය සහ පුද්ගලයින් හොදින් තේරුම් ගැනීමේ හැකියාව සහ එමගින් තම අවශ්‍යතා හොදින් සන්නිවේදනය කිරීමේ හැකියාව වැනි සමාජ කුසලතා ඇතිකරගැනීමේදී පහසුවක් ඇති වීමයි.
ඇතැම් හැගීම් ස්වාභාවිකවම උපතින්ම අපට ලැබෙයි. අනෙක් ඒවා නිරීක්ෂණයෙන් අප ඉගෙනගන්නා හැගීම් බව පර්යේෂකයන් පවසා සිටිති. අපගේ ජීවිත කාලය පුරාම අපි මේවා දිගටම ඉගෙනගන්නා නමුත් මූලිකම කරුණු ළදරු අවධියේදී ම ඉගෙනගනු ලැබේ.
ළදරුවන්ට උපතේ සිටම කැමැත්ත, අසහනය, පිළිකුල සහ සතුට දැනිය හැකි අතර මුහුණේ ඉරියව් සහ ශරීර ඉරියව් හරහා මේවා පිටතට සන්නිවේදනය කළ හැකිය. මාස 2-3 කාලයේදීම අනෙක් අයට සුහද සිනාවක් (social smile) පිළිගැන්වීමට ළදරුවා ඉබේම යොමුවේ.
මාස 1 - 3 දක්වා :
-
හුරුපුරුදු මුහුණු හදුනාගනියි.
-
ස්පර්ශ කිරීමේදී යහපත් ප්‍රතිචාර දක්වයි.
-
පුද්ගලයෙකු (ගැහැණු/පිරිමි) දුටුවිට ආරක්ෂාකාරී හැගීමක් ඇතිවේ.
-
වඩා ගත් විට හැඩුම නවත්වයි.
-
කටහඩවල් ඇසීමේදී ඒ දෙසට අවධානය යොමු කරයි.
-
කවුරුන් හෝ තමාගේ මුහුණ බලා කතා කරන විට විවිධ ශබ්ද නැගීම හෝ මුහුණ අමුතු කිරීම් සිදුකරයි.
-
මාස 4 පමණ වනවිට ඉබේම හඩ නගා සිනාසීමටත් පටන් ගනියි.
මාස 3 - 6 දක්වා:
මෙම අවධිය ළදරුවා තමන්ව තනි පුද්ගලයෙකු ලෙස හදුනාගන්නා කාලයයි.
-
‘බබා’ කියා අමතන විට ප්‍රතිචාර දක්වයි.
-
පුද්ගලයන් දෙදෙනෙකු වෙන් කර හදුනාගැනීමට දැන් පුළුවනි.
-
කන්නාඩියකින් බලා තමන්ව හදුනාගත හැකිය.
-
අනෙකුත් බබාලා බබාලා ලෙස හදුනාගත හැකිය.
-
සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාවය දරුවාට දැනෙයි. මේනිසා හඩන ආකාරය වෙනස් කිරීමෙන් තම අවශ්‍යතාවය දැනුම් දෙන්නට උත්සාහගනියි.
-
උද්යෝගය පෙන්වීමට මෙන්ම සන්නිවේදනය කිරීමටද අත් සහ පාද ගැසීමට පටන්ගනියි.
මාස 6 - 9 දක්වා
-
මේ අවධිය වන විට ඔබේ ළදරුවා පෙරට වඩා හොදින් තම හැගීම් ප්‍රකාශ කිරීමට මෙන්ම එම හැගීම් ඔබ ප්‍රකාශ කරන විට එය තේරුම් ගැනීමට ද හැකියාවෙන් යුතුවේ.
-
Peek-a-boo වැනි හැන්ගෙමින් එබී බලමින් සිදුකරන ක්‍රීඩා සහ රූකඩ (puppets show) රසවිදීමේ හැකියාව ඔබේ දරුවාට මේ අවධියේ දී හැකියි.
-
කෝප ගැනුණු මුහුණක් දුටුවිට මෙන්ම කෝප සහගතව උස් හඩින් කතා කිරීමේදී එහි ඇති අරුත වටහාගෙන නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඇත.
-
තමා සතු දේ පිලිබදව අයිතිවාසිකම පිලිබදව දැන් ඔබගේ ළදරුවා ඉගෙනගන්නවා ඇත. මේනිසා ඔහුගේ/ඇයගේ සෙල්ලම් බඩුවක් ගත් විට නැවත එය ඉල්ලාසිටියි නැතිනම් අඩන්නට පටන්ගනියි.
-
හුරුපුරුදු අයගේ ළගටවී සිටීම, වඩාගෙන සිටීම සහ නැලවීම වැනි සැපපහසුකම් බලාපොරොත්තු වේ. විශේෂයෙන්ම නුපුරුදු අය අතරේ සිටීමේදී මෙය වැඩිපුර දැකිය හැකිය.
-
ඇගිල්ල ඉරීමට පටන්ගන්නේ මේ කාලයේදිය.
මාස 10 - 12 දක්වා:
-
ඔබේ දරුවාගේ වයස අවුරුද්දකට ආසන්න වනවිට ඔහු /ඇය නිවස සහ පවුල යන සංකල්පය ඉගෙන ගනියි. තනිවම විවිධ ක්‍රියාකාරකම් කරන්නට අසා කරන අතර ඒ සදහා තමාට සමීපතයන්ගේ නිර්දේශයද බලපොරොත්තුවේ.
-
මවට හෝ පියාට තදින් බැදීමක් ඇති කරගනියි. මව/පියා නොමැති විට තමාට සමීප කවුරුන් හරි සමග තදින් චිත්තවෙගිකව බැඳේ. දරුවා මෙසේ තදින් බැදෙන්නේ තමාට සුවපහසුව සහ ආදරය නිතර දෙන පුද්ගලයාටය. ළදරුවන් එසේ බැදීමක් ඇති කරගත් පුද්ගලයාව නිතර බලාපොරොත්තුවෙන් සිටියි. සුවපහසුව නොමැතිව ආහාර පමණක් දෙන පුද්ගලයා හට මෙසේ නොබැදෙන බව Harry Harlow නම් මනෝවිද්‍යාඥයා විසින් සිදුකරන ලද පර්යේෂණයකට අනුව පෙන්වාදෙනු ලැබීය. එහිදී අලුත ඉපදුනු වදුරු පැටවුන් දෙදෙනෙකු මවගෙන් වෙන්කොට ගෙන රළු ලෙස සැකසූ කෘතීම වදුරු මවක් සහ මෘදුව සැකසූ කෘතීම වදුරු මවක් ඔවුන්ට ලබාදුන්නා. රළු වදුරු මවගෙන් කිරි බීමට හැකි ලෙස සකසා තිබුණු අතර මෘදු මවගෙන් කිරි ලැබුනේ නැහැ. මෙහි නිරීක්ෂණය වූයේ වදුරු පැටවුන් වැඩි වේලාවක් ගත කලේ මෘදු මව සමීපයේ වන අතර කිරිබීමට පමණක් රළු මව ලගට පැමිණියා. එපමණක් නොව විශාල ශබ්දයක් නැගීමෙන් ඔවුන් භය කල විට ඔවුන් සැගවුනේද මෘදු මව ලගය.
-
විහිලු තහළු සහ විනෝදය ගෙනදෙන ක්‍රියා වලට කැමති අතර නැවත නැවත ඒවා කිරීමෙන් සතුටට පත් වේ.
-
සමහර ක්‍රියාවලදී මව/පියා සමග සහයෝගයෙන් ක්‍රියාකරන අතර අනෙක් අය නොසලකා හැරිය හැකිය.
-
දේවල් ඔහුට/ඇයට අවශ්‍ය පරිදි සිදුනොවන විට කෝපයට පත්වේ.
-
යම් ක්‍රියාවක් සිදුකොට වැඩිහිටියන්ගේ ප්‍රසාදය/ නිර්දේශය බලාපොරොත්තුවේ. නැතිනම් තමාම තමාට අත්පුඩි ගසමින් සන්තෝෂයට පත්වේ.
-
ආත්ම අභිමානය පිළිබද හැගීම වර්ධනය වන්නට පටන් ගනියි.
පෙර සදහන් කල පරිදි දරුවා ඇති කරගන්නා චිත්තවේගික බැදීම් ඔහුගේ /ඇයගේ පෞර්ෂ වර්ධනයට ඉතා වැදගත් වේ. නිසි ලෙස එම බැදීම් ඇතිකර ගැනීමට අපහසු වුවහොත් ඇතිවන ගැටළු ලෙහෙසියෙන් ප්‍රකෘති තත්වයට පත් කල නොහැකිය. එසේ ඇතිවිය හැකි ගැටළු වන්නේ,
-
දරුවාගේ කෘතුහලය අඩුවේ.
-
ප්‍රශ්න විසදීමේ හැකියාව අඩුවේ.
-
සමාජ ක්‍රියාකාරිත්වය අඩුය.
-
ආත්ම විශ්වාසය අඩුවේ.
පියාගෙන් හොද බැදීමක් ලැබුණු ළමයින් සමාජශීලි සහ නම්‍යශීලි දරුවන් වේ. බොහෝ විට ප්‍රීතිමත් විවාහ දිවියක් ගත කරන්නේ එවැනි ළමුන් වැඩිහිටියන් වූ විටය. උණුසුම් පවුල් පරිසරයක් තුලින් දරුවා තුල ආරක්‍ෂිත හැගීමක් ඇතිවේ.
මාස 12 න් පසු:
-
අනෙකුත් දරුවන් සමග බැදීම් ඇති කර ගනියි.
-
ඊර්ෂ්‍යාව ආදී හැගීම් ද වර්ධනය වන්නේ මේ අවධියේ දි ය.
-
එසේම උපතේ සිට පළමු අවුරුද්ද තුල විශ්වාසය / අවිශ්වාසය යන සංකල්පය ගොඩනැගේ. මෙය බොහෝ විට මවගේ ක්‍රියාකාරකම් මත තීරණය වේ. මව දිගටම දරුවා ප්‍රතික්ෂේප කරයි නම්, ලෝකය අනාරක්ෂිත, විශ්වාස කල නොහැකි දෙයක් ලෙස දරුවා අත්දැකීමට පටන් ගනියි.
අවුරුදු 1- 3 දක්වා :
-
මේ අවධියේ දී දරුවා ස්වාධීන වීමට ඉගෙන ගන්නා කාලයයි.
-
තනිවම ආහාර ගැනීමට ඉල්ලයි නම් ඊට ඉඩ දිය යුතුය.
-
වැඩිහිටි අධීක්ෂණය යටතේ විවිධ දේවල් තනිවම කිරීමට හුරුකල යුතුය. නැතිනම් තමන් ගේ හැකියාව පිලිබදව විශ්වාස නොකරයි. ලජ්ජාශීලි විය හැකිය.
දරුවාගේ චිත්තවේගික සංවර්ධනයේ ගැටළු ඇතිබවට ලබාදෙන ඉගි:
ඔබගේ දරුවා නිතරම කනස්සල්ලෙන් සහ බියෙන් පසුවේ නම් එහි ගැටළුවක් ඇතිබව සිතිය හැකිය. ආගන්තුකයෙකු සමග සුළු වෙලාවක් සිටීම පවා ඔහුව අපහසුවට පත්කිරීමට ප්‍රමාණවත් විය හැකිය.එසේම එය බොහෝ වෙලා හැඩීම, හොදින් නින්ද නොයාම හෝ ආහාර ප්‍රතික්ෂේප කිරීම ආදී ගැටළුවක් ලෙස ප්‍රකාශ විය හැකිය.
නව පරිසරයකට නිරාවරණය වීම හෝ අවශ්‍ය පරිදි දේවල් සිදු නොවීම හෝ අනපේක්ෂිත දෙයකට මුහුණ දීමට සිදුවීම නිසා ඔබේ දරුවා කලබලයට හෝ කෝපයට පත් විය හැකිය. එවිට දරුවාට තම කෝපය හෝ අකමැත්ත බඩු පොලවේ ගසමින් කෑගසා හඩමින් ප්‍රකාශ කළ හැකිය. මෙහිදී දරුවාට තම කෝපය හසුරුවා ගත නොහැකි වී ඇත.
ඇතැම් විට දරුවන් කිසිවක් සිදු නොකර සිටීමට පෙළබේ. ඔහු/ඇය වටා සිදුවන කවර දෙයකට වුවද ප්‍රතිචාර නොදක්වා සිටිය හැකිය. අලුත් සෙල්ලම් බඩුවක් ලබා දීම, අලුත් සුවපහසු ස්ථානයකට ගෙනයාම, නවක්‍රීඩාවක් කිරීම ආදී කිසිදු දෙයකින් ඔහුගේ/ ඇයගේ අවධානය ලබා ගත නොහැකි වේ. දරුවාගෙන් උදාසීන බවක් දැකිය හැකිය.
මෙවැනි ගැටළු ඇතිවීමට හේතුවක් විය හැක්කේ දරුවා තමන්ගේ හැගීම් සන්නිවේදනය කිරීමට අපොහොසත් වීම තුලිනි. ඒනිසා දරුවා තුල ගොඩ නැගෙන ආතතිය මෙසේ ප්‍රකාශයට පත්වේ. ඇතැම් විට එය බඩේ අමාරුවක්, හිසරිදීමක් හෝ ආහාර අජීර්ණයක් වැනි කායික ස්වරූපයකින් පිටතට පැමිණිය හැකිය.
දරුවාගේ චිත්තවේග සංවර්ධනයට ඔබට කල හැකි දේ :
-
දරුවාට සෙනෙහසින් සහ ශාන්ත බවකින් කතා කරන්න.
-
ගැටලුව කුමක්දැයි දරුවාගෙන් විමසිය හැකිය. උදා: මුහුණේ දුක් පෙනුමක් ගෙන “ බබා දුකෙන් ද ඉන්නේ? බබාට මොනවද ඕනේ?” ලෙස ඇසීම.
-
කතා කරන විට මුහුණේ ඉරියව් සරලව දරුවාට ඉදිරිපත් කල යුතුය. සංකීර්ණ හැගීම් තේරුම් ගැනීමට දරුවාට තවම නොහැකිය.
-
ගැටලුව ඔබ අවබෝධකරගත් විට ඔබ එය ශාන්තව විසදන අතර එය විසදන අකාරය දරුවාට නිරීක්ෂණය කරන්නට ඉඩදෙන්න.
-
දරුවා අනිසි විදිහට කලබල වී හැසිරෙන්නට පටන් ගන්නේනම්, එසේ කලබලයට පත්විය හැකි අවස්ථා පිලිබදව පෙර අවබෝධයෙන් සිට එසේ කලබලයට පත්වීමට පෙර ඔහුගේ/ඇයගේ අවධානය වෙනතකට හැරවීමට උත්සාහ ගන්න.
-
ළදරුවන් අවට සිටින අයගෙන් බොහෝ දේ ඉගෙන ගනී. ඔබේ දරුවා ලෝකය ගැන සහ මිනිසුන් හැසිරෙන ආකාරය ගැන ඉගෙනීමට පෙර ඔහුට/ඇයට සිටින ආදර්ශය ඔබයි. නිවසේ පරිසරය දරුවාට හැකි තරම් හිතකර ලෙස තබා ගැනීමෙන් නිවැරදි චිත්තවේගීය වර්ධනයක් සහතික කල හැකිය. නිවසේ සිටින සෑම කෙනෙක්ම නිවැරදි ආකාරයෙන් හැසිරෙන විට, ඔබේ දරුවා එය නිවසේදී අනුකරණය කිරීමෙන් එය පුරුද්දකට ගොස් නිවසෙන් පිටත දී ද එසේ හැසිරේ.