ගැස්ට්‍රයිටිස් නිසා ඔබත් පීඩා විදිනවාද?

ගැස්ට්‍රයිටිස් යනු ආමාශයේ ඇතුළත ආස්තරණයේ ඇතිවන දැවිල්ලයි. ගැස්ට්‍රයිටිස් ඇතිවිය හැකි ආකාර දෙකකි. හදිසියේ ඇතිවන ගැස්ට්‍රයිටිස් සහ කාලයත් සමඟ සෙමින් වර්ධනය වන නොහොත් නිදන්ගත ගැස්ට්‍රයිටිස් . සමහර අවස්ථාවලදී ගැස්ට්‍රයිටිස් මගින් වණ ඇති විය හැකි අතර ආමාශ පිළිකා ඇතිවීමේ අවදානමක් ද ඇත. කෙසේ වෙතත්, බොහෝ දෙනාට ඇතිවන ගැස්ට්‍රයිටිස් බරපතල නොවන අතර ප්‍රතිකාර සමඟ ඉක්මනින් සුවපත් වේ.
ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර බොහෝ අය තුළ රෝග ලක්ෂණ දක්නට නොමැති වේ. කෙසේනමුත් ගැස්ට්‍රයිටිස් රෝගයට පොදු ලක්ෂණ වන්නේ,
-
ඔක්කාරය
-
බඩ පුරවා දැමීම
-
උදරයේ වේදනාව
-
වමනය
-
අජීර්ණය
-
ආහාර වේල් අතර හෝ රාත්‍රියේදී ආමාශයේ දැවෙන හැඟීමක් ඇතිවීම
-
ඉක්කාව
-
ආහාර රුචිය නැතිවීම
-
ලේ වමනය
-
කළු පැහැ මළ පිටවීම
ඔබේ ආමාශයේ බිත්තිය ආහාර ජීර්ණ යුෂ වලින් ආරක්ෂා කරන ශ්ලේෂ්මල පටලයකින් ආවරණය වී ඇත. එහි ඇති වන දුර්වලතා හෝ තුවාල හේතුවෙන් ඔබේ ආහාර ජීර්ණ යුෂ වලට ඔබේ ආමාශයේ බිත්ති වලට හානි කිරීමට ඉඩ ඇතිවේ. ගැස්ට්‍රයිටිස් වලදී සිදුවන්නේ මෙයයි. ආහාර රටාවේ ඇතිනොගැලපීම් වලට අමතරව විවිධ රෝග තත්වයන් ගණනාවක් මඟින් ඔබට ගැස්ට්‍රයිටිස් වැළදීමේ අවදානම වැඩි විය හැකිය.
ඒවා මොනවාදැයි පළමුව අපි බලමු.
-
බැක්ටීරියා ආසාදන : Helicobactor pylori බැක්ටීරියාවෙන් ආසාදිත වූවන්ගෙන් ඇතැම් අයට ගැස්ට්‍රයිටිස් වැළදීමේ හැකියාව ඇත. මෙම ආසාදනයට බොහෝදුරට හේතුවන්නේ ආහාර රටාවේ සහ දුම්පානය වැනි ජීවනරටාවේ ඇති වැරදි පුරුදුය.
-
ඇතැම් වේදනානාශක නිතර භාවිතය : ඇස්පිරින්, අයිබුප්‍රොෆෙන් (ibuprofen) සහ නැප්‍රොක්සෙන් (naproxen) වැනි වේදනා නාශක මගින් උග්‍ර ගැස්ට්‍රයිටිස් සහ නිදන්ගත ගැස්ට්‍රයිටිස් යන දෙකම ඇති විය හැක. මෙම වේදනා නාශක නිතිපතා භාවිතා කිරීම හෝ මෙම ඖෂධ ඕනෑවට වඩා ගැනීම නිසා ආමාශයේ ඇතුළු බිත්තිය ආරක්ෂාකරන ශ්ලේෂ්මල පටලයට හානි සිදුවේ.
-
වයසට යාම: වයසක පුද්ගලයින්හට ගැස්ට්‍රයිටිස් ඇතිවීමේ හැකියාව වැඩි වීමට හේතුව වන්නේ වයසට යාමේදී ආමාශයේ ඇතුළු ආස්තරණය තුනීවීමයි. මීට අමතරව තරුණ පුද්ගලයින්ට වඩා වැඩිහිටි පුද්ගලයින්ට Helicobactor pylori බැක්ටීරියා ආසාදනය ඇති වීමේ හැකියාව වැඩි අතර ඔවුන්ට ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග ඇති වීමේ හැකියාවද වයසට යාමත් සමග වැඩිවේ. ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග යනු තමාගේම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් තමාගේම ශරීරයේ අවයව වලට පහර දී විනාශ කිරීමට උත්සාහගන්නා රෝග කාණ්ඩයකි. මෙම තත්වය නිසාද ගැස්ට්‍රයිටිස් ඇතිවිය හැකිය. එයනම් තමන්ගේ ප්‍රතිශක්තිකරණ සෛල විසින් තමන්ගේම ආමාශයේ ඇතුළු ආස්තරණයට පහර දී ආමාශයේ ආරක්ෂිත පටලය විනාශ කිරීමයි.
-
අධික ලෙස මත්පැන් පානය කිරීම: මත්පැන් වල අඩංගු වන ඇල්කොහොල් මගින් ආමාශයේ ආස්තරණය උද්දීපනය කිරීමටත් ඛාදනය කිරීමටත් දායක වේ. අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා එක්වරම උග්‍ර වන ගැස්ට්‍රයිටිස් (acute) ඇතිවීමට හැකිය.
-
ආතතිය : දරුණු තුවාල, අසනීප හෝ සැත්කම් නිසා ඇතිවන ආතතිය හේතුවෙන් ද ගැස්ට්‍රයිටිස් ඇතිවිය හැකිය.
-
දීර්ඝ කාලයක් තිස්සේ වේලාවට ආහාර නොගැනීම සහ Helicobactor pylori බැක්ටීරියා ආසාදනය හා ගැස්ට්‍රයිටිස් රෝග තත්වය අතර සම්බන්ධයක් ඇති බව පර්යේෂණ වලින් පෙන්නුම් කොට ඇත. එයට හේතුව වන්නේ, ඔබ ගන්නා ආහාර බිඳ දැමීමට ඔබේ ආමාශය ආහාර ජීර්ණ යුෂ නිපදවයි. ජීර්ණය කිරීමට ආහාර නොමැති විට පවා, ඔබ ආහාර ගන්නා සාමාන්‍ය වේලාවට එය දිගටම කරගෙන යාමට ඔබගේ අමාශය හුරුවී තිබේ.
-
කුළුබඩු අධිකව යෙදු ආහාර ගැනීම ගැස්ට්‍රයිටිස් රෝගය ඇති කිරීමට හේතුවක් නොවුනද ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ උත්සන්න කිරීමට එය දායක විය හැකිය. තෙල් බැදුම් ආහාර වල තත්වය ද එසේමය. මෙම ආහාර මගින් ආමාශය උද්දීපනය කිරීම එයට හේතුව වේ. එසේම කිසියම් ආහාරයක් හෝ ආහාර කණ්ඩායමක් නිසා ඔබේ රෝග ලක්ෂණ වඩාත් නරක අතට හැරෙන බව ඔබට දැනුනහොත්, එම ආහාර ගැනීමෙන් වැළකී සිටීමෙන් රෝග ලක්ෂණ වළක්වා ගත හැකිවේ.
ගැස්ට්‍රයිටිස් රෝග තත්වය නිර්ණය කිරීම සදහා ඔබේ වෛද්‍යවරයා කායික පරීක්‍ෂණයක් සිදු කරනු ඇත. රුධිරය හෝ මල පරීක්ෂණයක් මගින් එච්. පයිලෝරි ආසාදනය සදහා පරීක්ෂා කල හැකිය. එසේම ශරීරය අභ්‍යන්තරයේ සිදුවන දෙය පරික්ෂාකිරීමට එන්ඩොස්කොපි පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය විය හැකිය. එන්ඩොස්කොපි පරීක්ෂණයේ දී ඔබගේ ආහාර මාර්ගය දිගේ කුඩා කැමරාවක් සහිත සිහින් නලයක් යවනු ලබයි. පරීක්ෂණය අතරතුර අසාමාන්‍ය දෙයක් හමු වුවහොත් වෛද්‍යවරයාට ආමාශයේ පටක කුඩා සාම්පලයක් පරික්ෂාව සදහා ලබා ගත හැකිය.
ගැස්ට්‍රයිටිස් සදහා ඇති ප්‍රතිකාර එයට හේතු වූ කාරණාව මත රඳා පවතියි. කෙසේනමුත් ගැස්ට්‍රයිටිස් සුවකර ගැනීමට පහත පරිදි ඔබට ක්‍රියාකළ හැකිය.
-
ඔබ ගන්නා ආහාර, ඔබගේ ආහාර ජීර්ණ පද්ධතියේ මෙන්ම ඔබේ සමස්ත සෞඛ්‍යය සඳහා වැදගත් කාර්යයක් ඉටුකරයි. එමනිසා හිතකාමී ආහාර වේලක් අනුගමනය කිරීමෙන් ඔබේ රෝග ලක්ෂණ සමනය කර ගැනීමට සහ ඔබට සුවයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එසේම වේලාවට ආහාර ලබා ගැනීමට ඔබ හුරු විය යුතුය.
-
ආමාශයික යුෂ ශ්‍රාවය වීම අඩුකරන omeprazole, lansoprazole, esomeprazole වැනි ඖෂධ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනු ඇත. කෙසේ වෙතත් මෙම ඖෂධ විශාල මාත්‍රා වලින් දීර්ඝ කාලිනව භාවිතා කිරීමෙන් අතුරු ඵල ඇතිවිය හැකි නිසා ඔබට ගැලපෙන ප්‍රතිකාර සැලැස්මක් නිර්මාණය කිරීම සඳහා ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.
-
අපගේ ආහාර මාර්ග පද්ධතියේ, අප ගන්නා ආහාර ජීර්ණය කිරීමට දායකවන ක්ෂුද්‍රජීවීන් ජීවත්වේ. ඔවුන් ප්‍රෝබියොටික් ලෙස හදුන්වනු ලැබෙයි. මෙම ප්‍රෝබියොටික්ස් ආමාශයික තුවාල සුව කිරීමට උපකාරී වේ. මේ නිසා ප්‍රෝබියොටික්ස් අඩංගු ආහාර වන යෝගට්, දියබත්, ලැසි පානය ආදී ආහාර ලබාගැනීම හිතකර වේ.
-
මානසික ආතතිය ගැස්ට්‍රයිටිස් වැඩිවීමට හේතු විය හැක, එබැවින් මානසික ආතතිය අඩු කිරීම, තත්වය පාලනය කිරීමට වැදගත් විය හැකිය. ආතති කළමනාකරණ ශිල්ප ක්‍රම වන සම්බාහනය, භාවනා කිරීම, යෝගා අභ්‍යාස සහ හුස්ම ගැනීමේ අභ්‍යාස සිදුකිරීමට ඔබට පුළුවනි.
-
දුම් පානයෙන් වැළකීම සහ නිතර මත් පැන් පානයෙන් වැළකීම.
-
කාබෝහයිඩ්‍රේට් අධික ආහාර වැඩිපුර අනුභව කිරීමෙන් පුද්ගලයෙකුගේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට බාධාවක් ඇති කල හැකි අතර එමගින් ගැස්ට්‍රයිටිස් උග්‍ර විය හැකිය. දවස පුරා කුඩා ආහාර වේල් කිහිපයක් සැරින් සැරේ ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කිරීමට සහ ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ අඩු කිරීමට උපකාරී වේ.
-
මී පැණි වල ප්‍රතිබැක්ටීරීය ගුණ අඩංගු බැවින් Helicobactor pylori බැක්ටීරියා ආසාදනයට එරෙහිව සටන් කිරීමට මී පැණි ද උපකාරී කොට ගත හැකිය.