බඩ පුරවා දැමීම ඔබටත් වදයක් වෙලාද ?

Yashodha Jayalath
November 07, 2020
${article.image}

බඩ පුරවා දැමීම සිදුවන්නේ ආහාර මාර්ගය වාතයෙන් පිරී යාම නිසාය. බඩ පුරවා දැමීමේදී ඔබට උදර ප්‍රදේශයේ වේදනාවක්, ඉදිමිනු බවක් , තද ගතියක් සහ පිරුණු බවක් දැනෙනවා. මෙසේ බඩ පුරවා දැමීම පුද්ගලයෙකුගේ වෘත්තිය ජීවිතයට, සමාජීය කටයුතුවලට මෙන්ම විනොදාස්වාදයට බාධා ඇති කරයි. 

බඩ පුරවා දැමීමට ප්‍රධානතම හේතුවක් වන්නේ ආහාර ගැනීමත් සමග වාතය ගිලීම සහ ආහාර ගැනීමෙන් පසු ජීර්ණය නොවූ ආහාර බිඳ වැටීමේදී නිපදවන වායු වර්ග නිසාය. වේගයෙන් ආහාර ගන්නා පුද්ගලයන් සහ චුවින්ගම් සපන්නන්  ආහාර ගැනීමත් සමග වාතය ගිලීම වැඩි බව පැවසේ. ආමාශය හිස් කිරීම ප්‍රමාද වීම මෙන්ම ආහාර මාර්ගය තුල ඇති වාතය ඉක්මනින් පිට නොවීම නිසා බඩ පුරවා දැමීම සිදු වෙනවා. දුම්පානය කරන්නන්ගෙ ආහාර මාර්ගයේ සිදුවන උද්දීපන නිසා ද බඩ පුරවා දැමිය හැකිය. මීට අමතරව වැඩිපුර ආහාර ගත් විට ද බඩ පුරවා දමයි. 

වෛද්‍ය  හේතුන් වන Irritable Bowel Syndrome (IBS) ලෙස හදුන්වන තත්වය, අන්ත්‍රයේ පරපෝෂිතයින් ජීවත් වීම, අනෙරෙක්සියා න’වොසා හා බුලීමියා න’වොසා වැනි ආහාර ගැනීමේ අක්‍රමතා නිසා, ඇතැම් ආහාර වලට ඇති අසාත්මිකතා, බර වැඩිවීම, මලබද්ධය, ආතතිය,විශාදය හා කාංසාව වැනි  මානසික තත්වයන්, ඇතැම් ඖෂධ වල අතුරු ඵල ලෙස බඩ පුරවා දැමීමට ලක්විය හැකිය. 

මීට අමතර බරපතල වෛද්‍ය හේතුන් වන පිළිකා තත්ත්ව, වකුගඩු අබාධ, අක්මාවේ රෝග තත්ත්ව ආදිය  නිසා ආහාර මාර්ගය තුල තරල එකතු වීම, සිලියැක් රෝගය ලෙස හදුන්වන ආහාරවල ඇති ග්ලුටන් නම් ප්‍රෝටීනයට ඇති අසාත්මිකතාවය, අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය දුර්වල වීමෙන් ආහාර ජීර්ණයට අවශ්‍ය වන එන්සයිම නිෂ්පාදන නොවීම ආදිය ද බඩ පුරවා දැමීමට හේතු විය හැකිය. 

බඩ පුරවා දැමීමට සහනයක් ලබා ගැනීම සදහා පහත ප්‍රතිකර්ම සහ ජීවන රටාවේ වෙනස්කම් සිදුකල හැකිය. 

  • බර වැඩිනම් බර අඩු කර ගැනීමට ව්‍යායාම් වල යෙදීම, ආහාර පාලනය කිරීම

  • චුවින්ග් ගම් සැපීමෙන් වැළකීම 

  • කාබනිකෘත බීම වර්ග පානය කිරීමෙන් වැලකීම 

  • බඩ පුරවා දැමීම ඇතිකරන ආහාර වර්ග වන ගෝවා පවුලේ එළවළු වර්ග, පරිප්පු, බෝංචි වර්ග  ගැනීම සීමා කිරීම 

  • සෙමින් ආහාර ගැනීමට හුරුවීම

  • ලැක්ටෝස් අසාත්මිකතාවය ඇතිනම් ලැක්ටෝස් අඩංගු කිරි ආහාර වලින් වැළකීම 

  • යෝගට් ආදී ප්‍රෝබයෝටික් අඩංගු ආහාර ගැනීම 

  • තන්තු අධික ආහාර වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් ද බඩ පුරවා දැමිය හැකිය. එයට හේතු වන්නේ තන්තු යනු ජීර්ණය කිරීමට අපහසු ද්‍රව්‍යක් මෙන්ම ජලය වැඩි වශයෙන් උරා ගන්නා ද්‍රව්‍යක් වීමයි. මෙනිසා තන්තු ආහාරයට එකතු කරගැනීමේදී ක්‍රමානුකූලව එකතු කර ගත යුතු අතර ජලය හොදින් පානය කල යුතුය.     

  • ග්ලුටන් අසාත්මිකතාවය ඇත්නම් තිරිඟු පිටි වලින් සැකසු ආහාර වලින් වැලකි ග්ලුටන් අඩංගු නොවන කුරක්කන්, ඕට්ස් ආදීයෙන් සැකසු අහාර ගැනීමට හුරුවන්න. 

  • FODMAPs ලෙස හඳුන්වන ජීර්ණය කිරීමට අපහසු  කාබෝහයිඩ්‍රේට IBS (ඉරිටබල් බවල් සින්ඩ්‍රෝමය) රෝගීන්ගේ රෝග ලක්ෂණ උග්‍ර කළ හැකි බව බොහෝ අධ්‍යයනවලින් හෙළි වී තිබේ. ඔබට IBS තිබේ නම් FODMAPs කාබෝහයිඩ්රේට වලින් වැළකීම සුදුසුය. FODMAPs කාබෝහයිඩ්රේට අඩංගු ආහාර ලෙස තිරිඟු, ලූනු, සුදු ලූනු, බ්‍රොකොලි, ගෝවා, මල්ගෝවා, ඇපල්, පෙයාස්, කොමඩු ආදිය හදුනාගත හැකිය.

  • සීනි රහිත ආහාර (sugar free) සහ චුවිංගම් නිපදවීමේදී සීනි ඇල්කොහොල් බහුලව භාවිතා කරයි. සීනි ඇල්කොහොල් නිතර වැඩිවශයෙන්  පරිභෝජනය කරන විට බඩ පුරවා දැමීමට ලක් විය හැකිය. චුවින්ගම් සැපීම අඩුකරන තරමට එය ඔබට ගුණදායකය. 

  • මල බද්ධය ඉතා සුලබ ආහාර ජීර්ණ ගැටළුවක් වන අතර එයට විවිධ හේතු තිබිය හැකිය. අධ්‍යයනවලින් පෙනී යන්නේ මල බද්ධය මගින් බොහෝ විට බඩ පුරවා දැමීමේ ලක්ෂණ උග්‍ර කළ හැකි බවයි. මල බද්ධය සඳහා ද්‍රාව්‍ය තන්තු ලබා ගැනීම නිර්දේශ කෙරුනද තන්තු වැඩි කිරීම  බඩ පුරවා දැමීමට ලක්වන  පුද්ගලයින් සඳහා ප්‍රවේශමෙන් කල යුතුවේ, මන්ද අධික තන්තු මගින් බොහෝ විට තත්වය නරක අතට හැරෙන්නට පුළුවනි. මල බද්ධයට ප්‍රතිකර්ම ලෙස මෙන්ම බඩ පුරවා දැමීමෙන් වැලකීමට ව්‍යායාම ලිරීම සහ ජලය හොදින් පානය කිරීමට ඔබ පුරුදු විය යුතුවේ. 

  • මිංචි තෙල් (පෙපර්මින්ට් තෙල්) බඩ පුරවා දැමීම  සහ අනෙකුත් ආහාර ජීර්ණ රෝග ලක්ෂණ වලට එරෙහිව ප්‍රතිඵලදායී බව අධ්‍යන මගින් පෙන්වා දී ඇත. මේ සදහා ඔබට මිංචි තේ පානය කිරීමට පුළුවනි.

ඔබට ඉතා අපහසුතාවන් ඇති කරමින් දීර්ඝ කාලයක් තිස්සේ බඩපුරවා දැමීමකින් ඔබ පීඩා විදින්නේනම්, අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකු හමුවන්න. කිසියම් බරපතල වෛද්‍ය තත්වයක් ඇතිවීමේ හැකියාව සෑම විටම පවතින අතර ආහාර ජීර්ණ ගැටළු හඳුනා ගැනීම සංකීර්ණ විය හැකිය. කෙසේ වෙතත්, බොහෝ අවස්ථාවන්හීදී, ආහාර වේලෙහි සරල වෙනස්කම් සහිතව, බඩ පුරවා දැමීමෙන් වැලකිය හැකිය.