දෙමව්පිය රැකවරණය සහ පවුලේ හැසිරීම් දරුවාට බලපාන්නේ මෙහෙමයි.

Yashodha Jayalath
November 07, 2020
${article.image}

දරුවෙකුට මව හා කායික සබදතාවය ඉතා වැදගත් වේ. මව යනු දරුවාට කිරි ලබාදෙන්නා පමණක් නොව ඒ සමගම රැකවරණය, ආදරය, උණුසුම ලබාදෙන්නා ද වේ. මෙය  දරුවාගේ පෞර්ෂය සංවර්ධනය කෙරෙහි ඍජුව බලපානු ලැබේ. අළුත උපන් දරුවන්ට තමන්ගේ මවගේ කිරි වෙනත් කාන්තාවකගේ කිරි වලින් වෙන් කොට හදුනාගත හැකි බව පර්යේෂණ මගින් සනාත කොට ඇත. 

චිත්තවේගික සම්බන්ධතාවය ගැන කතා කිරීමේදී මවගේ භූමිකාව ඉතා වැදගත් වේ. මව දරුවා සමග නිතර ගැවසීම නිසා දරුවාගේ මුල්ම ගුරුවරයා වන්නේ මවය. දරුවාගේ භාෂාව දියුණුවට මෙන්ම සන්නිවේදනය සංවර්ධනය වීමට මව සමග ඇති සම්බන්ධතාවය ඉතා වැදගත් වේ. එසේම කරුණාව, දයාව සහ ආදරය වැනි චිත්තවේග දරුවාට උගන්වන්නේ මව විසිනි. වර්තමානයේ දක්නට ඇති න්‍යෂ්ටික පවුල තුල මවට මේ සියලු දේ කල නොහැකි තත්වයක් උදා වී ඇත. අලුත දරුවකු ලැබුණු තරුණ මවකට මුහුණ පෑමට ඇති ගැටළු වැඩි අතර මවගේ වගකීම් නිවැරදිව ඉටු කිරීමට ඇති හැකියාව ද අඩු වී ඇත. අතීතයේ දී පැවතී විස්තෘත පවුල තුල දරුවන් හදා වඩා ගැනීම පවුලේ කාර්යයක් ව පැවතුනි. පවුලේ වැඩිහිටි සියලු දෙනා කුඩා දරුවන් රැකබලා ගත් බැවින් මවට නිදහස තිබුණි. නමුත් න්‍යෂ්ටික පවුල තුල දරුවන් රැකබලාගැනීම මවගේ වගකීම බවට පත් වී තිබෙනවා. එසේම වර්තමානයේ දී පියා පමණක් රැකියාවක නිරත වීම ප්‍රමාණවත් නැහැ. මේ නිසා මවටද රැකියාවට යාමට සිදු වී ඇති නිසා දරුවන් රැකබලා ගැනීම දුෂ්කර කාර්යක් බවට අද පත් වී තිබෙනවා. මෙයට විසදුම් ලෙස ඉදිරිපත් වී ඇති දිවා සුරැකුම් මධ්‍යස්ථාන, ගෘහ සේවිකාවන් තබාගැනීම, දරුවන් බලාගන්නා ආයා වරුන් ගෙ සහය ලබා ගැනීම ආදී  විකල්ප තුලින් නව සංස්කෘතියක් ගොඩනැගී තිබේ. මෙහි යහපත් මෙන්ම අයහපත් බලපෑම් ඇති අතර අයහපත් බලපෑම වන්නේ  දරුවාගේ පෞර්ෂය වර්ධනය වන මුල් කාලයේ දී ළමයා වෙනත් කෙනෙකු යටතේ පෝෂණය වන නිසා දරුවාගේ පෞර්ෂයේ ගැටළු ඇති වීමයි. මවට ඇති අධික වැඩ කන්දරාව නිසා දරුවා කෙරෙහි නිසි අවධානය දීමට නොහැකි වීමෙන් දරුවා තුල තමා ප්‍රතික්ෂේපිත අයෙකු ලෙස මානසිකත්වයක් ගොඩ නැගිය හැකිය. දරුවන්ගේ වැඩ නිසා බිරිදට තම සහකරු ගැන සොයාබලන්නට නොහැකි වීමෙන  ඇතැම් පියවරු දරුවා ප්‍රතික්ෂේප කිරීමට පෙලබෙනවා. මෙය දරුවාගේ මානසිකත්වයට දැඩිව බලපාන දෙයකි. 

පිතෘ මූලික සමාජයක පියාගේ භූමිකාව වන්නේ පවුලට ආහාර සහ ද්‍රව්‍ය සපයන්නා (provider), පවුලේ ආරක්ෂකයා (protector), පවුලේ නායකයා (leader) ලෙස ය. පියාගේ මෙම භූමිකාව දරුවාගේ වර්ධනයට ඉතා වැදගත් වේ. එමෙන්ම පවුලේ භෞතික පැවැත්මට ද මෙය දායක වේ. පියා සිටින විට දරුවෙකු හට ආරක්ෂාව සහ  සුරැකිබව දැනෙන අතර පියා නැති විට මෙය බිඳ වැටේ. දිගින් දිගටම පියාගේ ආරක්ෂාව දරුවාට නොදැනෙන විට දරුවාගේ පෞර්ෂය වර්ධනය වීමේදී ගැටළු ඇතිවේ. එමෙන්ම දරුවා නීතිය, විනයගරුකබව, කීකරු වීම ආදිය ඉගෙන ගන්නේ පියාගේ නායකත්ව භූමිකාව තුලිනි. පියා මෙකී භූමිකාවෙන් වෙනස් වීමේදී දරුවාගේ මනස තුල පිතෘ භූමිකාව වෙනස් අයුරින් වර්ධනය වේ. උදාහරණයක් ලෙස මව ගෙදර නායකත්වය ගැනීමෙන් පවුලේ පිරිමි දරුවන් නායකත්ව භූමිකාවෙන් ඉවත් වේ. නිවසේ වගකීම් ගැහැණු අයට පවරා පසෙකට වීම හා ගැහැණු දරුවන් මව අනුකරණය කරමින් පුරුෂ භූමිකාවක් වර්ධනය කර ගනියි. පියා නොමැති පවුලක පිරිමි දරුවා මව සමග ජීවත් වීම නිසා නිතරම මව අනුකරණය කිරීමෙන් ස්ත්‍රී භූමිකාවක් ගොඩනගා ගනියි. මෙය ගැටළුවක් බවට පත් වන්නේ විවාහයෙන්  පසු සහකරු හා කාරිය අතර ගැටළු ඇති වන විටදීය.    

පියාගේ නායකත්වය පිලිගන්නා පවුල තුල පහත ලක්ෂණ දැකිය හැකිය. 

  • පියාගේ නායකත්වය පිළිගන්නා නිසා බලය සදහා අර්බුදයක් නොමැති වීම

  •  තීරණ ගැනීමට කෙනෙකු සිටීම 

  • සාකච්චා මාර්ගයෙන් පවුලට අවශ්‍ය අචාර ධර්ම ගොඩ නගා ගැනීම 

උදා : අනෙකුත් සහෝදර සහෝදරයින් එක්ක රණ්ඩු නොවීම, වැඩිහිටියන්ට ගරු කිරීම, නිවසට පැමිණෙන විට සහ පිටවෙන විට පැවසීම, පවුලේ ගැටළු එකිනෙකා සමග කතා කර ගැනීම, එකිනෙකාට සවන් දීම, තීරණ ගැනීමට පෙර අනෙක් අයගේ අදහස් විමසීම, පියා පැනවූ නීති හා අචාර ධර්ම පියා නොමැති විටත් පිළිපැදීම, නීති කඩ වූ විට පියාට දැනුම් දීම හා සුදුසු දඩුවම් පැමිණවීම. 

මෙවන් ක්‍රියාවන් තුලින් පවුලේ එකිනෙකා පිලිබදව විශ්වාසය ඇතිවේ, අවබෝධයක් ලැබේ, තමන් පවුලේ කොටසක් බව දරුවාට හැඟී යයි, පවුලේ ගැටළු පිලිබදව අවධානය ඇති වේ, තමාව අධීක්ෂණය කිරීමට කෙනෙකු සිටින බව දැනීම නිසා වැරදි සිදු කිරීම අවම වීම ආදිය ගොඩ නැගේ. පවුල තුල සතුට, ආදරය සහ පාලනය යන අංග තුන අතර සමබරතාවයක් පවත්වා ගත යුතු වේ. කුමක් හෝ අංගයක් වැඩි වූ විට හෝ අඩුවූ විට  පවුලෙ ගැටළු ඇතිවේ. එය දරුවාගේ පෞර්ෂය වර්ධනයට අහිතකරව බලපානු ලැබේ.