ඉරුවාරදයෙන් (මිග්‍රෙන්) මිදෙන්නට ස්වභාවික ප්‍රතිකර්ම කිහිපයක්.

Yashodha Jayalath
November 07, 2020
${article.image}

ඉරුවාරදය යනු විවිධ රෝග ලක්ෂණ ඇති කරන්නා වූ  ස්නායු රෝගයකි. එය දැඩි හිසරදයක් සමග ඔක්කාරය, වමනය, කතා කිරීමේ අපහසුතාව, හිරිවැටීම හෝ හිරි වැටීම සහ ආලෝකය සහ ශබ්දයට සංවේදීතාව වැනි රෝග ලක්ෂණ සමග ඇති විය හැකිය. එය සාමාන්‍ය හිසරදයකින් වෙනස් වන්නේ ඒ නිසයි. ඉරුවාරදය ළමා වියේදී ආරම්භ විය හැකිය. ඉරුවාරදයට වැඩිපුරම ගොදුරු වන්නේ කාන්තාවන් ය.  

රෝග ලක්ෂණ 

  • ඉරුවාරදය රෝග ලක්ෂණ හිසරදය ඇතිවීමට  දින 1 සිට 2 කට පෙර ආරම්භ විය හැකිය. මෙය ප්‍රොඩ්‍රෝම් අවධිය ලෙස හැඳින්වේ. මෙම අදියරේදී ඇතිවන රෝග ලක්ෂණ වන්නේ,
  • ආහාරවලට ආශාව
  • මානසික අවපීඩනය
  • තෙහෙට්ටුව හෝ අඩු ශක්තිය
  • නිතර ඈනුම් යාම
  • අධි ක්‍රියාකාරීත්වය
  • නුරුස්නා බව
  • බෙල්ලේ තද ගතිය

එසේම මෙම ප්‍රෝඩ්‍රෝම් අවධියේ දී ඔබගේ පෙනීම, සංවේදනය, චලනය සහ කථනය සම්බන්ධයෙන් ඔබට ගැටළු ඇති විය හැකිය. පැහැදිලිව කථා කිරීමේ අපහසුතාවය, ඔබේ මුහුණ හෝ අත් හෝ කකුල් වල ගොරෝසු හෝ හිරි වැටීමක් ලෙසින් දැනීම, හැඩතල හෝ දීප්තිමත් ලප හෝ අකුණු ගසනවාක් මෙන් එළි දැකීම, තාවකාලිකව පෙනීම නැතිවීම ලෙස ඒවා ගෙනහැර දැක්විය හැකිය. කෙසේ නමුත් මා මෙම ලිපිය ලියන්නේ ඉරුවාරදයෙන් පෙලෙන අයෙකුට එයින් සහනයක් ලබා ගත හැකි ප්‍රතිකර්ම කිහිපයක් ගැනයි. 

1. ඉරුවාරදය වැළැක්වීම සඳහා ඔබගේ ආහාර වේල වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. බොහෝ ආහාර සහ පාන වර්ග ඉරුවාරදය වැඩි කිරීමට (ප්‍රේරණයට) දායක වේ.

  • නයිට්රේට් සහිත ආහාර වන සොසේජස්, බේකන් සහ හොට් ඩෝග්ස්
  • චොකලට්
  • ටයිරමින් අඩංගු වන චීස් වර්ග (පමසාන්, චෙඩාර්,ස්විස් ෆෙටා ආදී චීස් වර්ග)
  • මධ්‍යසාර
  • මොනොසෝඩියම් ග්ලුටමේට් (MSG) අඩංගු වන ආහාර
  • අයිස් ක්‍රීම් සහ අයිස් දැමු පාන වර්ග
  • සකසූ ආහාර
  • අච්චාරු වර්ග
  • වියළන ලද පළතුරු
  • යෝගට්, බටර් මිල්ක් ආදී කිරි නිෂ්පාදන

සමහර පුද්ගලයින්ට කැෆේන් කුඩා ප්‍රමාණයක් ලබා ගැනීමෙන් ඉරුවාරද වේදනාව  සමනය වේ. නමුත් කැෆේන් අධිකව ලබා ගැනීම ඉරුවාරද වේදනාව වැඩිවීමට හේතුවක් විය හැකිය. ඔබගේ ඉරුවාරදය අවුලුවන ආහාර සහ පාන වර්ග මොනවාදැයි සොයා ගැනීමට, දිනපතා ආහාර දිනපොතක් (food dairy) තබා ගන්න. ඔබ කන සෑම දෙයක්ම සටහන් කර ඒ සමග  ඔබට දැනෙන ආකාරය එනම් ඔඅබ්ගේ ඉරුවාරද තත්වය අඩු වුවාද වැඩි වුවාද යන්න සටහන් කරන්න. 

2. ලැවෙන්ඩර් තෙල් ආශ්වාස කිරීමෙන් ඉරුවාරද වේදනාව සමනය වේ. 2012 දී සිදුකල පර්යේෂණයකට අනුව, ඉරුවාරදය ඇති පුද්ගලයන්  විනාඩි 15 ක් ලැවෙන්ඩර් තෙල් ආශ්වාස කිරීමෙන් එසේ නොකරන ලද යට වඩා  වේගවත් සහනයක් ලබා ගෙන තිබුනා. ලැවෙන්ඩර් තෙල් කෙලින්ම ආශ්වාස කිරීම හෝ  තනුක කළ ලැවැන්ඩර් තෙල් නළල දෙපැත්තේ ආලේප කල හැකිය.

3. නිල තෙරපුම (Acupressure) යනු වේදනාව සහ වෙනත් රෝග ලක්ෂණ සමනය කිරීම සඳහා ශරීරයේ නිශ්චිත ස්ථානවලට ඇඟිලි සහ අත් මගින් පීඩනය යෙදීමයි. නිල තෙරපුම මගින් ඉරුවාරද වේදනාවට සහනයක් ලබා ගත හැකි බව පර්යේෂණ මගින් සනාථ වී තිබෙනවා. 

4. 2010 දී සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වාදුන් ආකාරයට මිංචි (peppermint) තෙල් වල ඇති මෙන්තොල් මගින් ඉරුවාරදය ඇතිවීම වලක්වා ගත හැකිය.   

5. සෞඛ්‍යය හා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා යෝග්‍ය වන  යෝගා ව්‍යායාම වලදී  හුස්ම ගැනීමේ සංයමන අභ්‍යාස, භාවනා කිරීම  සහ විවිධ ශරීර ඉරියව් භාවිතා වනවා. ඉරුවාරදය ඇතිවන  වාර ගණන, ඉරුවාරදය පවතින කාලසීමාව සහ තීව්‍රතාවය යෝගා ව්‍යායාම වල නිරත වීමෙන් අඩු කරගත හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා. කාංසාව දුරු කිරීම, ඉරුවාරදය අවුලුවන ප්‍රදේශවල ආතතිය නිදහස් කිරීම සඳහා යෝගා ව්‍යායාම ඉවහල් වනවා.

6. මැග්නීසියම් ඌනතාවය  සමග හිසරදය සහ ඉරුවාරදය සමඟ සම්බන්ධයක් ඇත. අධ්‍යයනවලින් පෙනී යන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් අතිරේකය මගින් ආලෝකය සමඟ ඇතිවන ඉරුවාරදය වැළැක්වීමට හැකි බවයි. එමගින්  ඔසප් වීම හා සම්බන්ධ ඉරුවාරදය ද වළක්වා ගත හැකිය. පහත දැක්වෙන ආහාර වලින් ඔබට මැග්නීසියම් ලබා ගත හැකිය:

  • ආමන්ඩ්
  • තල ඇට
  • සුරියකාන්ත ඇට
  • කජු
  • රටකජු බටර්
  • ඕට්ස්
  • බිත්තර
  • කිරි

7. සතියකට වතාවක් හිස සම්බාහනය කිරිමෙන්ද ඔබට ඉරුවාරදයෙන් මිදෙන්නට හැකිවේවි. හිස පමණක් නොව ශරීරය හෝ යටි පතුල් ද සම්බාහනය කිරීමට හැකිනම් එමගින් ආතතිය හා ඒවාට මුහුණ දීමේ කුසලතා වැඩි දියුණු කල හැකි බව පර්යේෂණ මගින් හෙළි වී තිබේ. හෘද ස්පන්දන වේගය, කාංසාව සහ කෝටිසෝල් මට්ටම අඩු කිරීමට ද සම්බාහනය උපකාරී  වේ. ඉරුවාරදය සඳහා නිශ්චිත හේතුවක් පර්යේෂකයන් හඳුනාගෙන නොමැත. කෙසේ වෙතත් තත්වය වැඩිවීමට (trigger) හේතු වන සාධක කිහිපයක් ඔවුන් සොයාගෙන ඇත. මොළයේ සෙරොටොනින් මට්ටම අඩුවීම වැනි මොළයේ රසායනික ද්‍රව්‍යවල වෙනස්කම් මෙයට හේතුවක් විය හැකිය.

ඉරුවාරදය අවුලුවන වෙනත් සාධක අතරට:

  • දීප්තිමත් ආලෝකය
  • දැඩි තාපය හෝ කාලගුණයේ වෙනත් අන්ත
  • විජලනය
  • වායුගෝලීය පීඩනයේ වෙනස්වීම්
  • ඔසප් වීම, ගර්භනීභාවය හෝ ඔසප් වීම අතරතුර ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් උච්චාවචනයන් වැනි කාන්තාවන්ගේ හෝමෝන වෙනස්කම්
  •  ආතතිය වැඩිකම
  • ඝෝෂාකාරී  ශබ්ද
  • දැඩි ශාරීරික ක්‍රියාකාරකම්ආහාරවේල්  මඟ හැරීම
  • නින්දේ රටාවන්හි වෙනස්කම්
  • නයිට්‍රොග්ලිසරින් සහ උපත්පාලන ඖෂධ
  • අසාමාන්ය සුවඳ
  • සමහර ආහාර
  • දුම්පානය
  • මත්පැන් භාවිතය
  • ගමන් බිමන් අධික වීම