නිර්මාංශ පෝෂණ රටාවකට හුරු වෙමුද?

Yashodha Jayalath
August 03, 2020
${article.image}

නිර්මාංශික ආහාර රටාවක් නැතිනම් ශාක ආහාර පදනම් කරගත් ආහාර රටාවක් යන්නෙන් අදහස් වන්නේ සම්පූර්ණයෙන්ම සත්ත්ව  ආහාර වලින් තොරවීමම නොවෙයි. එහි විවිධ වෙනස්කම් නැතිනම් වර්ගීකරණයක් දැකගත හැකිය. 

1.Lacto - ovo vegetarians - නිර්මාංශකයින් අතර ජනප්‍රියම කණ්ඩායම ලෙස Lacto - Ovo නිර්මාන්ශකයින් හදුන්වා දිය හැකිය. Lacto යනු කිරි වේ. Ovo යනු බිත්තර යී. එසේනම් Lacto - Ovo නිර්මාංශකයින් යනු සත්ත්ව ආහාර අතරින් කිරි/ කිරි නිෂ්පාදන  සහ බිත්තර ආහාරයට ගන්නා සහ අනෙකුත් සත්ත්ව නිෂ්පාදන  ආහාර වන සත්ත්ව මාංශ, පක්ෂි මාංශ සහ මාළු ආහාර වලින් වැළකී සිටින්නන්ය. මෙහිද අනු ආකාර දෙකකි.    

  • Lacto vegetarians  - අනෙකුත් සත්ත්ව නිෂ්පාදන ආහාර වලට අමතරව මොවුන් බිත්තර ආහාරයට ගැනීමෙන් වැලකී සිටිති. නමුත් කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාරයට ගනිති. 
  • Ovo vegetarians -  අනෙකුත් සත්ත්ව නිෂ්පාදන ආහාර වලට අමතරව මොවුන් කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාරයට ගැනීමෙන් වැලකී සිටිති. බිත්තර ආහාරයට  ගනිති. 

2.Vegans - මොවුන් සියලුම සත්ත්ව නිෂ්පාදන ආහාරයට ගැනීමෙන් වැලකි සිටිති. කිරි, කිරි ආශ්‍රිත නිෂ්පාදන, මී පැණි ආදියෙන් පවා වැලකි සිටිති. ඔවුන් ඒ වෙනුවට ශාක පදනම් කරගත් නිෂ්පාදන ආදේශක ලෙස භාවිතා කරති. බටර් වෙනුවට මාගරින්, මී පැණි වෙනුවට කිතුල් පැණි, එළකිරි/ එළුකිරි වෙනුවට පොල්කිරි/ සෝයා කිරි, මාංශ වෙනුවට ධාන්‍ය වර්ග/ඇට වර්ග/නට් වර්ග නිරතුරුව ආහාරයට එකතු කර ගනිති.  

3.Semi/ Near Vegetarians හෝ flexitarian - මා අයත් වන්නේ මේ කොටසටය. මෙම නිර්මාන්ශකයින් කලාතුරකින් සත්ත්ව මාංශ ආහාර ආහාරයට ගනිති. ඇතැමුන් සිවපා මාංශ වලින් වැලකි පක්ෂි මාංශ පමණක් කලාතුරකින් ආහාරයට ගන්නා අතර ඇතැමුන් සියලුම මාංශ වලින් වැලකි මාළු, නිත්තර  සහ කිරි නිෂ්පාදන ආහාරයට එකතු කර ගනිති. එසේම මෙසේ සත්ත්ව නිෂ්පාදන ආහාරයට ගන්නේ මසකට වරක් දෙවරක් පමණි. අනෙක් දිනවලදී නිර්මාංශික ආහාර අනුභව කරති. 

4.Pescatarian - මොවුන් සිව්පා හා පක්ෂි මාංශ අනුභව නොකරන අතර අනෙකුත් සත්ත්ව ආහාර වන මුහුදු ආහාර (Seafood), මාළු, බිත්තර, කිරි ආදිය ආහාරයට ගනිති.

කෙසේ නමුත් වර්තමානයේ ශාක මත පදනම් වූ ආහාර රටාව (Plant based eating) ජනප්‍රිය වෙමින් පවතියි. විශේෂයෙන්ම ධමනි බිත්ති මත කොලෙස්ටෙරෝල් තැන්පත් වීම අවම කිරීමට මෙම ආහාර රටාව අපට උපකාරී වේ.  ශාක පදනම් කරගත් ආහාර රටාවන් සෞඛ්‍ය සම්පන්න බවට ඇති සාක්ෂි මොනවාද? පෝෂණ ක්ෂේත්‍රයේ බොහෝ පර්යේෂණ මගින් මධ්‍යධරණී ආහාර සහ නිර්මාංශ ආහාර වැනි ශාක පදනම් කරගත් ආහාර රටාවන් පරීක්ෂා කර ඇත. මධ්‍යධරණී ප්‍රදේශ වල වෙසෙන ජනතාවගේ ආහාර රටාව ශාක පදනම් කරගත් ආහාර රටාවකට හොඳ උදාහරණයකි. ඔවුන්ගේ ආහාරයේ පදනම එළවළු, පලතුරු,  ඖෂධ පැළෑටි, ඇට වර්ග, බෝංචි සහ ධාන්‍ය වර්ග වේ. එසේම ඔවුන් එම එළවළු ආදිය අමුවෙන් හෝ අවම වශයෙන් පිසීමට ලක් කොට ආහාරයට ගනීති. ඔවුන් කුකුල් මස්, බිත්තර, මාළු සහ යෝගට් වැනි කිරි නිෂ්පාදන අඩුවෙන් ආහාර සදහා යොදාගනිති. ලෝකයේ නිරෝගී ආහාර රටා අතර මධ්‍යධරණී ආහාර ඉදිරියෙන්ම සිටින්නේ මේ නිසාය. විශාල වශයෙන් සිදුකොට ඇති පර්යේෂණ සහ සායනික අධ්‍යන මගින්  මධ්‍යධරණී ආහාර රටාව  හෘද රෝග, පරිවෘත්තීය රෝග, දියවැඩියාව, ඇතැම් පිළිකා (විශේෂයෙන් බඩවැල්, පියයුරු සහ පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා), මානසික අවපීඩනය සහ අඩු කිරීම සඳහා ඉවහල් වන බව තහවුරු කොට ඇත. 

නිර්මාංශික වීම කෙරෙහි සමාජයේ විවිධ දුර්මත සහ මිත්‍යා විශ්වාසයන් පවතිනවා. ඒවා පහත පරිදි විස්තර කොට දැක්විය හැකිය. 

  • ශරීරයට ලැබෙන ප්‍රෝටීන් ඌණ විය හැකි බව. ඔබ ඉහත සදහන් කල කුමන ආකාරයක නිර්මාන්ශිකයෙකු වුවද ඔබ පූර්ණ ධාන්‍ය වර්ග සහ රනිල කුලයේ ආහාර විවිධත්වයකින් යුතුව නිරතුරුව ආහාරයට ගන්නේ නම් ඔබට ප්‍රෝටීන් ඌණතාවයක් ඇති විය නොහැක. 

  • ශරීරයට ලැබෙන යකඩ ඌණ විය හැකි බව. පූර්ණ ධාන්‍ය වර්ග සහ බොහෝ එළවලු වල යකඩ හොදින් අඩංගු වේ. නමුත් ආහාර වල අඩංගු යකඩ අවශෝෂණය සිදුවීම යම් යම් කරුණු මත රඳා පවතියි. ඒවා නම්, 

  • ශරීරයේ යකඩ අවශ්‍යතාවය අඩු වැඩි වීම මත යකඩ  අවශෝෂණය ද අඩු වැඩි වේ. 

  • ආහාරයේ විටමින් C අඩංගු වීම යකඩ අවශෝෂණනයට අත්‍යවශ්‍ය කරුණකි. 

  • පලතුරු සහ එළවළු වල අඩංගු කාබනික අම්ල මගින් යකඩ අවශෝෂණය වැඩි කල හැකිය. 

  • ආහාර වේලක් ගෙන පැය 2ක කාලයක් පමණ  යාමට මත්තෙන් තේ, කෝපි හෝ කිරි පානය කිරීම.

  • ඇතැම් කුළුබඩු වර්ග අධික වශයෙන් ආහාරයට ගත විට ද යකඩ අවශෝෂණය අඩු වන බව පැවසේ. 

ගර්භනී කාන්තාවන් හා වැඩෙන වයසේ කුඩා දරුවන් නිර්මාංශික ආහාර රටාවකට අනුගත වනවා නම් සුදුසුකම් ලත් පෝෂණවේදියෙකුගේ උපදෙස් පැතීම වැදගත් වනවා. එමගින් ඇතිවිය හැකි ගැටළු වලක්වා ගත හැකිය. කෙසේ නමුත් ඉහත පැහැදිලි කොට ඇති පරිදි  නිර්මාංශික වීම යනු සම්පූර්ණයෙන්ම සත්ත්ව ආහාරවලින් තොරවීම නොවන නිසා සුදුසු පරිදි සත්ත්ව නිෂ්පාදන ආහාර ඔබගේ ආහාරවේලට එක් කර ගත හැකිය. 

විද්‍යාඥයින් සහ පර්යේෂකයින් පවසන ආකාරයට ස්වභාවධර්මයා විසින් මනුෂ්‍යයා නිර්මාණය කොට ඇත්තේ නිර්මාංශික ආකාරයටය. සත්ත්ව මාංශ පමණක් ආහාරයට ගෙන අපට ජීවත් වීම අපහසුය. එළවළු සහ පලතුරුවලින් තොර ආහාර දින කිහිපයක් ගෙන බලන්න. අපට කෙතරම් අපහසුතාවයක් දැනෙනවා ද? ශරීරය තුල ආම්ලිකතාවය ඉහල යාමට එය හේතුවනවා සේම ශරීරය තුල විවිධ විස එකතු වනවා. බොහෝ සත්ව නිෂ්පාදන වල හෝමෝන අඩංගු වන බව ඔබ දැනටමත් දැනුවත් ඇති. මේ හේතුන් නිසා විවිධ රෝග තත්වයන්ට ගොදුරුවීම පුදුමයක් නොවෙයි. ශ්‍රී ලාංකික ආහාර රටාවේ එළවළු වලට ප්‍රධාන තැනක් ලැබුනද අප එළවලු ආහාරයට ගන්නා ආකාරය නිසා එහි නියම ප්‍රයෝජනය අපට ලැබෙන්නේ නැත. මේ පිලිබදව මා “ශ්‍රී ලාංකික ආහාර රටාවේ අප වරදවාගෙන ඇත්තේ කුමක්ද? ” යන මැයින් ලිපියක් පළ කළා ඔබට මතක ඇති. මේ නිසා එළවළු වල පෝෂණ ගුණය රැකෙන පරිදි ආහාර පිස ගන්නේ කෙසේද යන්නත් ආහාර කළමනාකරණය කොට ගෙන සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සකසා ගන්නේ කෙසේද යන්නත් පිලිබදව ඔබ ඉගෙන ගන්න. එමගින් නිරෝගී සමාජයක් බිහිකොට දියුණු ශ්‍රී ලංකාවක් බිහි කිරීමට ඔබට දායක වන්නට පුළුවනි.