ගුණ දැන කමු අපි වම්බටු.

වම්බටු යනු ඉහළ තන්තු සහිත අඩු කැලරි ප්‍රමාණයකින් යුතු ආහාරයක් වන අතර එය පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් මෙන්ම සෞඛ්‍යමය වාසි රැසක් ලබා දෙයි. හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමේ සිට රුධිරයේ සීනි පාලනය හා බර අඩු කර ගැනීම දක්වා වාසි ලබාදෙන වම්බටු, ලෝකයේ බොහෝ සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරුවල සරල හා රසවත් සාමජිකයෙකු ලෙස එකතු වී ඇත. සම්ප්‍රදායික වෛද්‍යකර්මයේදී සීත ගුණ ඇති එළවළුවක් ලෙස වම්බටු හදුන්වා දී ඇත. ඇත්තෙන්ම වම්බටු යනු විවිධාකාරයෙන් සකස් කර රස විඳිය හැකි එළවළුවකි. වම්බටු ආහාරයට ගැනීමේ ශ්‍රී ලංකික අපගේ ජනප්‍රියම ආකාරය වන්නේ වම්බටු මෝජු සෑදීමයි. විදේශීය ආහාර වට්ටෝරුවල බේක් කරන ලද, ග්‍රිල් කරනලද සහ තෙල් ස්වල්පයක් යොදා යන්තම් තෙම්පරාදු කරන ලද වම්බටු පෙති භාවිතා කරනවා. එවැනි වම්බටු එක්කරන ලද සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරු මා Healthy Living LK වෙබ් අඩවියේ පළකරන්නට බලාපොරොත්තුවනවා. මෙම ලිපියෙන් මා ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු වන්නේ වම්බටු සතු ගුණ පිලිබදවයි.
වම්බටු වල තන්තු වැඩි වශයෙන් අඩංගු වේ. නමුත් එහි කැලරි අඩු බැවින් බර අඩු කර ගැනීම සදහා උපකාරී වේ. බොහෝ විදේශීය ආහාර වට්ටෝරුවල වැඩි කැලරි සහිත අමුද්‍රව්‍ය වෙනුවට වම්බටු භාවිතා කොට ඇත. කෙඳි ආහාර ජීර්ණ පද්ධතිය හරහා සෙමින් ගමන් කරන නිසා ඔබගේ කුස පිරී ඇති බවට හැගීමක් ඇති කර තව තවත් ආහාර ගැනීම පාලනය කොට ඔබගේ ශරීරයට ලැබෙන කැලරි ප්‍රමාණය අඩු කිරීමට දායක වේ. අමු වම්බටු කෝප්පයක (ග්‍රෑම් 82ක) කෙඳි ග්‍රෑම් 3 ක් සහ කැලරි 20 ක් අඩංගු වේ.
තන්තු පමණක් නොවේ. වම්බටුවල ඖෂධිය ගුණ සහිත ශාක සංයෝග (පොලිෆිනොල්) ද අඩංගු වේ. වම්බටු වල අඩංගු වන මෙම පොලිෆිනොල් සහ තන්තු යන දෙකම රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වන බව පර්යේෂණයන්ට අනුව සනාත වී ඇත. තන්තු මගින් ශරීරයේ සීනි ජීර්ණය හා අවශෝෂණය මන්දගාමී කරයි. මන්දගාමී අවශෝෂණය රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව තබා ගැනීමට රුකුලක් වේ.
වම්බටු යනු ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ආහාරයකි. ප්‍රතිඔක්සිකාරක යනු මොනවාදැයි Healthy Living LK වෙබ්අඩවිය පරිශීලනය කරන ඔබ දැනුවත් ඇති. ප්‍රතිඔක්සිකාරක යනු නිදහස් මුක්ත කණ්ඩ ලෙස හඳුන්වන, ශරීරයේ සිදුවන පරිවෘතිය ක්‍රියාවල අතුරු ඵලයක් ලෙස නිපදවෙන හානිකර ද්‍රව්‍ය වලින් සිදුවිය හැකි හානි වලින් අපගේ ශරීරය ආරක්ෂා කිරීමට උපකාරී වන ද්‍රව්‍ය වේ. නිදහස් මුක්ත කණ්ඩ නිසා පිළිකා ඇතිවීම, වයසට යාම සහ සෛල විකෘති වීම ආදිය සිදුවිය හැකිය. අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ ප්‍රතිඔක්සිකාරක මගින් හෘද රෝග සහ පිළිකා වැනි බොහෝ නිදන්ගත රෝග වළක්වා ගත හැකි බවයි. ලොව පුරා පෝෂණවේදීන් සහ වෛද්‍යවරුන් අපට වැඩි වශයෙන් එළවළු සහ පලතුරු ආහාරයට ගන්නා ලෙස උපදෙස් දෙන්නේ මේ නිසයි. වම්බටු, විශේෂයෙන් ඇන්තොසියානින් වලින් පොහොසත් වන අතර, ඇන්තොසියානින් යනු ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති වර්ණක වර්ගයකි. වම්බටු වල පොත්තේ දම් පැහැය ලබාදෙන්නේ ඇන්තොසියානින් මගිනි. මෙම ප්‍රතිඔක්සිකාරක අන්තර්ගතයට ස්තූතිවන්ත වන්නට, වම්බටු හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වන බව සමහර අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත.
හාවුන් භාවිතා කරමින් සිදුකරන ලද එක් පර්යේෂණයකට අනුව ශරීරයේ කොලෙස්ටෙරෝල් පාලනයට වම්බටු දායක කරගත හැකි බවට සාක්ෂි ලැබී තිබෙනවා. එහිදී අධික කොලෙස්ටරෝල් සහිත හාවුන්ට සති දෙකක් පුරා දිනපතා වම්බටු යුෂ අවුන්ස 0.3 ක් (මිලි ලීටර් 10) ලබා දී ඇත. එම අධ්‍යනය අවසානයේ දී, එම හාවුන්ගේ LDL කොලෙස්ටරෝල් (නරක කොලෙස්ටෙරෝල්) සහ ට්රයිග්ලිසරයිඩ යන දෙකම අඩු වී තිබෙනවා.
තවත් එක් අධ්‍යයනයක දී සතුන්ට අමු හෝ ග්‍රිල්කරන ලද වම්බටු මගින් දින 30 ක් පුරා පෝෂණය කරන ලදී. මෙම ආකාර දෙකෙන්ම පෝෂණය කරන ලද සතුන්ගේ හෘදයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වු අතර හෘදයාබාධ වල බරපතලකම අඩු කිරීමට සමත් වී ඇත. කෙසේනමුත් මෙම ප්‍රතිඵල යහපත් වුවත් වර්තමාන පර්යේෂණ, සත්ව හා පරීක්ෂණ නල අධ්‍යයනයන්ට පමණක් සීමා වී ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. වම්බටු මිනිසුන්ගේ හෘද සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද යන්න තක්සේරු කිරීම සඳහා වැඩිදුර පර්යේෂණ අවශ්‍ය වේ.
ඉහත කී ගුණවලට අමතරව වම්බටු වල පහත පරිදි පෝෂක අඩංගු වී තිබේ.
අමු වම්බටු කෝප්පයක (82g),
-
කැලරි: 20
-
කාබොහයිඩ්රේට්: ග්‍රෑම් 5 යි
-
තන්තු: ග්‍රෑම් 3 යි
-
ප්‍රෝටීන්: ග්‍රෑම් 1 යි
-
මැංගනීස්: දෛනික අවශ්‍යතාවයෙන් 10%
-
ෆෝලේට්: දෛනික අවශ්‍යතාවයෙන් 5%
-
පොටෑසියම්: දෛනික අවශ්‍යතාවයෙන් 5%
-
විටමින් K: දෛනික අවශ්‍යතාවයෙන් වලින් 4%
-
විටමින් සී: දෛනික අවශ්‍යතාවයෙන් 3%
මීට අමතරව වම්බටු වල නියැසින්, මැග්නීසියම් සහ කොපර් ඇතුළු අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ කුඩා ප්‍රමාණයක් අඩංගු වේ.