දහසක් ගුණ ගෙන දෙන මුරුංගා

Yashodha Jayalath
July 26, 2020
${article.image}

කෙනෙකු අපව ඕනෑවට වඩා වර්ණනා කරන විට “මුරුංගා ඇත්තේ තියනවා” කියා අප විහිලුවට පවසන්නේ මුරුංගා අතු ශක්තිමත් නැති නිසාය. අප එසේ මුරුංගා අතු වල සවිය නැතිකම විහිලුවට ගත්තද මුරුංගා යනු දහසක් ගුණ දෙන ශාකයකි. එහි මුල්, පොතු, පත්‍ර, මල්, කරල් ආදී සියලු කොටස් සාම්ප්‍රදායික වෙදකමේදී ප්‍රයෝජනයට ගනු ලබනවා. මුරුංගාහි විද්‍යාත්මක නාමය වන්නේ Moringa oleifera වේ. දියවැඩියාව, විවිධ ක්ෂුද්‍රජීවී ආසාදන, සන්ධි රුදාව, විවිධ පිළිකා, හර්ධ රෝග හා රුධිර සංසරණය සබැදි රෝග සහ  චර්ම රෝග  නිවාරණයේ දී සම්ප්‍රදායික වෛද්‍යවිද්‍යාවේදී භාවිතා කරයි.  

මුරුංගා සතුව බොහෝ විටමින් සහ ඛනිජ වර්ග තිබෙනවා. ඇත්තෙන්ම මුරුංගා සතුව පෝෂක වර්ග 92ක් සහ ප්‍රතිඔක්සිකාරක 42ක් අඩන්ගු වන බව පැවසිය හැකිය. එහි පත්‍ර වල දොඩම් වලට වඩා හත් ගුණයක් විටමින් C ද කිරි වලට වඩා 4 ගුණයක් කැල්සියම් ද  කෙසෙල් වලට වඩා 15 ගුණයක් පොටැසියම් ද  අඩංගු වන බව පැවසිය යුතුය. මාංශ පේශි වර්ධනයට අවශ්‍ය වන කැල්සියම්, ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන සහ යකඩ ආදිය ද යහමින් අඩන්ගු වන මුරුංගා අපගේ ශරීරය නිරෝගිව තබාගැනීමට අපට උපකාරී වනවා. මුරුංගා වල අඩංගු වන ප්‍රතිඔක්සිකාරක මගින් අපගේ ප්‍රතිශක්තිය දියුණු  කරන අතර  අපගේ රුධිර පීඩනය අඩු කිරීමටත් ශරීරයේ සහ රුධිරගත මේදය පහල දැමීමටත් දායක වනවා. 

මුරුංගා පත්‍ර වල අඩංගුව පවතින ඉන්සියුලින් වලට සමාන ප්‍රෝටීන මගින් රුධිරගත සීනි පහල හෙලීමේ හැකියාවක් ඇති බව පර්යේෂණ වලින් සනාත වී ඇත. එසේම අග්න්‍යාශික පිළිකා වර්ධනය බාල කිරීමෙන් පිළිකා සදහා කරනු ලබන රසායනික ප්‍රතිකාරවල (Chemo therapy) සාර්ථකබව වැඩි කිරීමේ හැකියාවද මුරුංගා සතුවන බව පර්යේෂකයින් පවසා සිටිනවා. 

සාමාන්‍යයෙන් මුරුංගා කොළ සහ කරල් ආහාරයට ගැනීමේ අහිතකර බවක් නොපැවතියද මුරුංගා  ගැබිණි මව්වුරුන්හට අහිතකර බවයි වෛද්‍යමතය වන්නේ. මුරුංගා පොත්තේ අන්තර්ගතවන සංයෝග මගින් ගර්භාෂය බිත්තියේ හැකිලීම් ඇති කල හැකි බැවින් ගබ්සා වීම් සිදුවිය හැකි බවට ඇති විශ්වාසය ඊට හේතු වේ. වෙළදපොලේ මුරුංගා පිටි, කරල්, පෙති ආදිය දැකිය හැකි වුවුද වඩා ආරක්ෂාකාරී දෙය වන්නේ ස්වභාවික ආකාරයෙන්ම මුරුංගා ආහාරයට ගැනීමයි. ලපටි මුරුංගා කරල් මගින් ව්‍යංජන සහ සුප් සෑදිය හැකි අතර මුරුංගා කොළ මගින් මැල්ලුම් සාදා ආහාරයට ගත හැකිය.  එසේම මුරුංගා කොළ සෝදා පිරිසිදු කොට පවනේ වේලා බ්‍රවුන් පේපර් බෑගයක් තුල ටික දිනක් වේලා එම කුඩු බවට පත් කරගත් විට මද උණුසුම් ජලයේ දියකොට තේ ලෙස පානය කල හැකිය. කෙසේ නමුත් මුරුංගා කොළ ආහාරයට ගන්නා විට හොදින් මලවා ගත යුතුය. නැතිනම් ජීර්ණය කිරීමට අපහසු බවක් ඇතිවේ.