නිරෝගී වන්නට කැරට් කමු

Yashodha Jayalath
June 28, 2020
${article.image}

අවුරුදු දහස් ගනනකට ඉහතදී වර්තමානයේ ඇෆ්ගනිස්තානය පවතින ප්‍රදේශයේදී කැරට්, වගාවක් ලෙස මුලින්ම වගාකළ බව පතපොතේ සදහන් වේ. එසේ මුලින්ම වගා කරන ලද කැරට්, ප්‍රමාණයෙන් කුඩා, පැහැයෙන් දම් පැහැය සහ කහ පැහැය ගත් අතර තිත්ත සහ දැවමය රසයකින් ද යුක්ත විය. අද අප ආහාරයට ගන්නා තැබිලි පැහැති, ප්‍රණීත රසයකින් හෙබි කැරට් වගා කරන ලද්දේ 16 වන සියවසේදී ලන්දේසින් විසිනි. ඊට පෙර ගොවියන් විසින් රතු, සුදු, දම් සහ කහ පැහැති කැරට් වගා කොට ඇත. 

මෙම ලිපියෙන්, කැරට් වල ඇති පෝෂ්‍ය පදාර්ථ හා ඒවායේ සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන දැනගන්න.

කැරට් විටමින්, ඛනිජ හා තන්තු වලින් පොහොසත් එළවළුවකි. විශේෂයෙන් එහි ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ. ලුටින් සහ සියාසැන්තින් යනු කැරට් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක දෙකකි. පිළිකා වලින් ආරක්ෂා වීමට ප්‍රතිඔක්සිකාරක අපට උදව් වේ. 

  • ලියුකේමියාව:  කැරට් යුෂ නිස්සාරණයේ ඇති පෝෂ්‍ය පදාර්ථ ලියුකේමියා සෛල විනාශ කර ඒවායේ ප්‍රගතිය මන්දගාමී කිරීමට හෝ නතර කළ හැකි බවට 2011 දී පර්යේෂකයන් විසින් සාක්ෂි සොයා ගෙන ඇත.
  • පෙනහළු පිළිකා:  2011 දී පර්යේෂකයන් නිගමනය කළේ කැරට් යුෂ පානය කිරීමෙන් දුම් පානය කරන්නන් තුළ පෙනහළු පිළිකා ඇතිවීමට ඉඩ ඇති හානිය වළක්වා ගත හැකි බවයි.

පුද්ගලයන් 893 දෙනෙකුගේ දත්ත ලබාගෙන  2014 දී  සිදුකරන ලද පර්යේෂණයකට  අනුව, කැරොටිනොයිඩ් බහුල ආහාර පරිභෝජනය කිරීමෙන් මහා බඩවැලේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු විය හැකි බව පෙන්වා දී තිබේ. තවත් අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ  තන්තු ඉහළ ප්‍රමාණයක් ඇති  ආහාර ගන්නා පුද්ගලයින්ට අඩු තන්තු ප්‍රමාණයක් ඇති ආහාර  පරිභෝජනය කරන අයට වඩා මහාන්ත්‍රයේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු බවයි.

කෑලි කපන ලද කැරට් කෝප්පයක් මගින් තන්තු ග්‍රෑම් 3.58 ක් සපයයි. කැරට් යනු අඩු කැලරි සහිත, ඉහළ තන්තු සහිත ආහාරයකි. මෙම හේතුව නිසා එහි ග්ලයිසමික් ​​අගය  (GI) අඩුය. මෙම දර්ශකය දියවැඩියාවෙන් පෙළෙන අයට රුධිරයේ සීනි මට්ටම ඉහළ නැංවිය හැකි ආහාර මොනවාදැයි වටහා ගත හැකිය. ග්ලයිසිමිය අගය ගැන දැන ගැනීමට මා විසින් පෙර ලියන ලද “ග්ලයිසමීය අගය ගැන දැනගනිමු” ලිපිය කියවන්න. තම්බාගත් කැරට් වල ගල්යිසමීය අගය (GI)  39 ක් පමණ වේ. මෙයින් අදහස් කරන්නේ තම්බාගත් කැරට් ආහාරයට ගැනීමෙන්  රුධිරයේ සීනි වැඩිවීමක් ඇති කිරීමට අපහසු බවත් දියවැඩියාව ඇති අයට ඒවා ආහාරයට  ගැනීමට ආරක්ෂිත  බවත්ය. 

කැරට් වල ඇති තන්තු සහ පොටෑසියම් රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වේ. ඇමරිකානු හෘද සංගමය (AHA) කැරට් වැනි පොටෑසියම් අඩංගු ආහාර වැඩිපුර අනුභව කරන්නට සහ ලුණු එසේ නොමැතිනම් සෝඩියම් අඩුවෙන් ආහාරයට එකතු කරගැනීමටත්  මිනිසුන් උනන්දු කරයි. පොටෑසියම් මගින් රුධිර නාල ලිහිල් කිරීමට සහ  අධි රුධිර පීඩනය හා අනෙකුත් හෘද වාහිනී ගැටළු අවම කිරීමට අපට උපකාරී වේ. එක් සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් අලයක් මගින් පුද්ගලයෙකුගේ දෛනික පොටෑසියම් අවශ්‍යතාවයෙන් 4 %ක් සපුරාලිය හැකිය. 

මීට අමතරව තන්තු අඩංගු ආහාර බහුලව  ආහාරයට ගැනීමෙන් රුධිරයේ අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් හෝ “නරක” කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට උපකාරී වන බවද පෝෂණවේදීන් පෙන්වාදේ. 

කැරට් මගින් ලබා ගත හැකි තවත් ප්‍රතිඔක්සිකාරකයක් වන්නේ විටමින් සී ය. විටමින් සී කොලජන් නිෂ්පාදනයට දායක වේ. කොලජන් යනු සම්බන්ධක පටක වල ප්‍රධාන අංගයක් වන අතර තුවාල සුව කිරීමට සහ ශරීරය නිරෝගීව තබා ගැනීමට ද අත්‍යවශ්‍ය වන දෙයකි. 

හොඳ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වා ගැනීමටද විටමින් c වැදගත් වේ. නිරෝගී ප්‍රතිශක්තිකරණ පද්ධතියකට පිළිකා මගින් ශරීරය ආරක්ෂා කිරීමටද පුළුවනි.  යම් පුද්ගලයෙකු අසනීප තත්වයකින් පෙලේ  නම්, ඔහුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වඩා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවේ. මේ නිසා ශරීරයේ විටමින් සී මට්ටම අඩුවේ. 

මානසික ආතතියෙන් පෙළෙන විට  විටමින් සී අතිරේක ගැනීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවිය හැකි බව ඇතැම්  ප්‍රවීණයන්ගේ  විශ්වාසය වේ. සෙම්ප්‍රතිශ්‍යාව සෑදුන විට විටමින් c ලබාගැනීමෙන් ඉක්මනින් සුව වීමට හැකිවන්නේ ද මේ නිසාය. 

කැරට් වල විටමින් K අඩංගු වන අතර කැල්සියම් හා පොස්පරස් කුඩා ප්‍රමාණයක් අඩංගු වේ. මේ සියල්ල අස්ථි සෞඛ්‍යයට දායක වන අතර ඔස්ටියෝපොරෝසිස් වැළැක්වීමට උපකාරී වේ.

ප්‍රතිඔක්සිකාරක වන ඇල්ෆා සහ බීටා කැරොටින් කැරට් වලට දීප්තිමත් තැඹිලි පැහැය ලබා දෙයි. බඩවැල් හරහා බීටා කැරොටින් අවශෝෂණය කර ආහාර දිරවීමේදී විටමින් A බවට පරිවර්තනය කරයි. ශ්‍රී ලංකාවේ දැකිය නොහැකි වුවද දම් පැහැති, රතු පැහැති සහ සුදු පැහැති කැරට් ද ඇත. මෙම ප්‍රභේදවල ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති වෙනත්  සංයෝග අඩංගු වේ: දම් කැරට් වල ඇන්තොසයනින් ද  කහ කැරට් වල ලුටීන් ද  රතු කැරට් වල ලයිකොපීන් ද බහුලව අඩංගු වේ.

කැරට් ගබඩා කරන විට  සීල් තබන ලද ප්ලාස්ටික් බෑගයක අසුරා  ශීතකරණයක් තුළ ගබඩා කිරීම වඩාත් සුදුසුය. මෙහිදී මුදුන් ප්‍රදේශයේ තිබෙන කොළ පැහැ වූ කොටස කපා ඉවත් කිරීම සුදුසු වේ. 

එළවළු තැම්බීමේදී  විටමින් ප්‍රමාණය අඩු වීම  හෝ විනාශ වීම සිදුවිය හැකිය. අමු හෝ හුමාලයෙන් තැම්බූ කැරට් වඩාත් පෝෂණ ගුණය සපයයි. එසේම, කැරොටිනොයිඩ් සහ විටමින් ඒ මේදය මගින්  වඩා හොඳින් අවශෝෂණය කර ගනී. මේ නිසා සෞඛ්‍යට හිතකර මේද ප්‍රභවයක් සමග කැරට් ආහාරයට ගැනීම වඩා ගුණදායකය.