පොල් ක්‍රීම් වලින් පොප්සිකල්ස් හදමු!

Yashodha Jayalath
June 28, 2020
${article.image}

පොල් ගැන මා අමුතුවෙන් ඔබට හදුන්වාදිය යුතු නැහැ නේද? ශ්‍රී ලාංකික අපට පොල් කියන්නේ ආගන්තුකයෙකු නොවේ. ශ්‍රී ලාංකික ආහාර වලින් බොහොමයක් පිළියෙළ කිරීමට අප පොල් කිරි භාවිතා කරනවා. සුප්,ව්‍යංජන,මැල්ලුම්,සම්බෝල, ස්මුදිස් සහ අතුරුපස සැකසීමේදී පොල් භාවිතා වනවා. පොල් වතුර වලින්ද අපට බොහෝ ප්‍රතිලාභ ලබාගන්නට පුළුවනි. පොල් භාවිතා කොට කෙටි ආහාරයක් ලෙස එහෙම නැතිනම් අතුරුපසක් ලෙස පොප්සිකල්ස් සාදාගන්නා ආකාරය අද ඔබට මා කියා දෙන්නම්. 

මේ පොප්සිකල්ස් සාදාගැනීමට අප භාවිතා කරන්නේ පොල් ක්‍රීම් ය. පොල් ක්‍රීම් යනු පොල් කිරි නොවෙයි. පොල් කිරි වලට වඩා පොල් ක්‍රීම් උකුගතියෙන් වැඩියි. නිර්මාංශ ආහාර පමණක් ගන්නා පුද්ගලයින් එළකිරි වලින් සැකසු ක්‍රීම් වලට ආදේශකයක් ලෙස පොල් ක්‍රීම් භාවිතා කරන නිසා විදේශීය වෙලදපොල්වල් වල ටින් කල පොල් ක්‍රීම් මිලට ගැනීමට තිබෙනවා. නමුත් අපට නිවසේදී පොල් ක්‍රීම් සාදාගන්නට පුළුවනි. එසේනම් අප පළමුව පොල් වලින් ක්‍රීම් සාදාගන්නේ කෙසේදැයි ඉගෙනගනිමු. නිවසේදී පොල් ක්‍රීම් සාදාගන්නා වට්ටෝරු කිහිපයක්ම සොයාගන්නට මට හැකිවුනා. නමුත් එයින් පහසුම ක්‍රමය මා මෙහිදී සදහන් කරන්නට සිතුවා. 

අවශ්‍ය ද්‍රව්‍ය : 

  • ගා ගත් පොල් ගෙඩි 1

  •  පොල් වතුර

සාදන ක්‍රමය : 

පොල් වතුර සහ ගාගත් පොල් එකට එකතුකොට පොල් කිරි  සාදාගන්න. එය භාජනයකට දමා පැය 12ක් පමණ ශීතකරණයේ තබන්න. මෙහිදී පොල් කිරි වල ඇති (මේදය සහිත) මිටි කිරි ටික උඩින් මිදී තිබෙනවා ඔබට දැකගන්නට පුළුවනි. හැන්දක් ගෙන එම මිටි කිරි කොටස වෙන් කර ගන්න. එම කොටස වෙනත් භාජනයකට ගෙන ක්‍රීම් ගතියක් ලැබෙන තුරු රවුමට ගසා ගන්න (whisk). මෙසේ සාදාගන්නා පොල් ක්‍රීම් ශීතකරණයේ දින 5ක් පමණ තබා ගත හැකිය. 

පොල් ක්‍රීම් සාදාගත් පසු එමගින් පොප්සිකල්ස් සදාගනා ආකාරය දැන් අපි බලමු. 

අවශ්‍ය ද්‍රව්‍ය : 

  • පොල් ක්‍රීම් කෝප්ප 3/4 

  • පොල් කිරි කෝප්ප 3/4 

  • ගාගත් පොල් කෝප්ප 1/3 

  • ලුණු ස්වල්පයක් 

  • (කැමතිනම් පමණක්) කුඩාවට කපා ගත් අන්නාසි කැබලි කෝප්ප 3/4/ (ග්‍රේටරයකින් ගාගත හැකිනම් වඩාත් හොඳයි) හෝ ගාගත් ස්ට්‍රෝබෙරි කෝප්ප 3/4ක් 

  • අවශ්‍යනම් පමණක් සීනි එකතු කරන්න.

සාදාගන්නා ක්‍රමය : 

භාජනයක් ගෙන ඉහත සදහන් කල ද්‍රව්‍ය එයට එකතු කොට හොදින් මිශ්‍ර කරගන්න. පොප්සිකල් අච්චු වලට සමාන ලෙස මිශ්‍රණය වත් කොට පැයක් පමණ අධිශීත කොට පොප්සිකල් කෝටු (popsical sticks) ගසා නැවත පැය 8ක් පමණ අධිශීතකරණයේ තබන්න. ඔබ කැමතිනම් ගාගත් පොල් නිකන්ම එකතු කරන්නේ නැතිව ඒවා කබලේ බැද (toast කොට) එකතු කරන්න.