රාත්‍රී ආහාරය සඳහා චිකන්, නූඩ්ල්ස් සහ බිත්තර සුප් සාදමු

Yashodha Jayalath
November 13, 2020
${article.image}

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා අප රජෙකු ලෙස උදෑසන ආහාරය, කුමාරයෙකු ලෙස දිවා ආහාරය සහ හිඟන්නෙකු ලෙස රාත්‍රී ආහාරය අනුභව කළ යුතු බවට පොදු මතයක් අප අතර පවතිනවා. නමුත් ඇත්ත වශයෙන්ම අපගේ කාර්යබහුල ජීවන රටාව සමඟ අපි කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. අප අතරින් බොහෝ දෙනෙකු අපේ උදෑසන ආහාරය හිඟන්නෙකු ලෙසත්, දිවා ආහාරය කුමාරයෙකු ලෙසත්, රාත්‍රී ආහාරයත් රජෙකු ලෙස ලබා ගන්නට පුරුදු වී ඇත්තෙමු. ශ්‍රී ලාංකික අප බොහෝ දෙනෙකු බර රාත්‍රී ආහාරයක් ලබා ගැනීමට පුරුදු වී ඇත. එයට හේතුව වන්නේ, අපි දවස පුරාම වෙහෙසට පත්ව සිටින නිසා රාත්‍රි කෑම මේසය මත උණුසුම් හා රසවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් බලාපොරෝතුවෙන් සිටීමයි. එමගින් අපගේ මනස තෘප්තිමත්වනවා. බත් සහ ව්‍යංජන අපගේ ජනප්‍රිය ආහාරය වේ. බොහෝ දෙනෙකු වේල් තුනටම ආහාරයට ගන්නේ බත් සහ ව්‍යංජන වේ. බොහෝවිට අපට උණුසුම් දිවා ආහාරයක් ගැනීමට නොහැකි වන අතර, උදේ ආහාරය සහ දිවා ආහාරය සඳහා එකම දේ අනුභව කරන්නට සිදුව තිබෙනවා. උදේ පාන්දරම නිවසේදී ආහාර වේල් දෙකම පිසීම සහ කාර්යාලයේ දී අනුභව කිරීමට ඒවා ඇසුරුම් කොට රැගෙන ආ යුතු නිසා බොහෝ විට අප දිවා ආහාරය සදහා අනුභව කරන්නේ  සීතල වුනු බත් පතකි. ආහාරවල පිරිසිදු බව, ගුණාත්මකභාවය සහ ආරක්ෂාව ගැන සිතන නිසා අප පිටින් ආහාර ගැනීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. රාත්‍රියේදී අපි උණුසුම් හා රසවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් සොයන්නේ එබැවිනි.

ඉතින්, මම සුප් එකක් සෑදීම සඳහා වට්ටෝරුවක් ඔබට  ලබා දීමට සිතුවා. මෙම සුප් රාත්‍රි ආහාරය සඳහා හොදින් ගැලපේ. එය පෝෂ්‍යදායී, රසවත් සහ සැහැල්ලු ආහාරයක් ලෙස හදුන්වන්නට පුළුවනි. එබැවින් ඔබේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන්නේ නැතිව ඔබට රජෙකු ලෙස රාත්‍රී ආහාරයක් ලබාගත හැකිය. මෙම සුප් වල ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ කුකුළු මස්, අර්තාපල් සහ බිත්තර ය. එහෙත් ඔබ කැමති නම් ලීක්ස්, බෝංචි සහ කැරට් වැනි එළවළු ද එකතු කළ හැකිය. මෙම වට්ටෝරුව අනුව ඔබට අර්තාපල් අල දෙකක් අවශ්‍යවන  නමුත් ඔබ වෙනත් එළවළු එකතු කළහොත් එක් අර්තාපල් අලයක්  පමණක් එකතු  කරන්න. නැතිනම් එය බර ආහාරයක් බවට පත්වේවි. 

මෙම වට්ටෝරුව දෙදෙනෙකුට  ප්‍රමාණවත් වන අතර ඊට වඩා වැඩි පිරිසකට සාදන විට  ඔබට අවශ්‍ය පරිදි එය වෙනස් කරගන්න. මෙම රසවත් රාත්‍රී භෝජන සංග්‍රහය භුක්ති විඳීමට ඔබට ටෝස්ට් කරන ලද පාන් පෙති කිහිපයක් පිළියෙළ කර ගත හැකි නම් එය තවත් කදිමයි. 

අවශ්‍ය ද්‍රව්‍ය: 

  • අර්තාපල් 2 යි

  • කුකුල් මස් ග්රෑම් 100 ක් (කෑලි කපා ගත් )

  • බිත්තර 2 යි

  • කුඩා නූඩ්ල්ස් පැකට්ටුවක්(එක නූඩ්ල්ස් කේක් එකක් දෙදෙනෙකුට  ප්‍රමාණවත් වේ.)

  • ඉඟුරු කැබැල්ලක්  (කුඩාවට කපාගත්)

  • සුදුළූනු බිකි 3 ක් (කුඩාවට කපාගත්)

  • කහ (කැමතිනම්, එය ඔබගේ සුප් එකට වර්ණයක්  ලබා දෙයි)

  • ගම්මිරිස් (ඔබේ රසය අනුව)

  • ලූනු පෙති අවශ්‍ය පමණ 

  • අමු මිරිස් කරල් එකක් 

  • ඔබේ රසය අනුව ලුණු

  • පොල් කිරි කෝප්පයක්

  • පොල්තෙල් / එළවළු තෙල් / සූරියකාන්ත තෙල් (ඔබේ කැමැත්ත පරිදි)

සාදන ක්‍රමය: 

පළමුව අර්තාපල් සහ කුකුල් මස් තම්බා එම වතුර  පසෙක තබා ගන්න. ඔබ කැමති නම් කහ එකතු කළ හැකිය. ඔබ අර්තාපල් සහ කුකුල් මස් තම්බා ගන්නා විට වතුරට ලුණු එකතු කරන්න. නූඩ්ල්ස් සහ බිත්තර වෙන වෙනම තම්බා ගන්න. පෑන් එකකට තෙල් ස්වල්පයක් ගෙන ඉඟුරු, ළූණු, සුදුළූණු සහ අමු මිරිස් තෙම්පරාදු කර  ගන්න. එයට තම්බා ගත් කුකුල් මස් හා අර්තාපල් කෑලි එකතු කරන්න. දැන් ඔබට ගම්මිරිස් එකතු කළ හැකිය. ඔබ කැමති නම් ඔබට අර්තාපල් හැන්දකින් පොඩි  කළ හැකි නමුත් මම කැමති අර්තාපල් කෑලිවලට නිසා මම එසේ අර්තාපල් පොඩි කරන්නේ නැත. ඊට පසු, එයට කුකුල් මස් තැම්බූ වතුර වත් කර එයට නූඩ්ල්ස් එකතු කරන්න. තම්බා ගත් බිත්තර හතරට හෝ දෙකට  කපා සුප් එකට එක් කරන්න. අවසානයේ පොල් කිරි වත් කර ඔබේ රසය අනුව ලුණු එකතු කරන්න. දැන් ඔබේ සුප් සූදානම්!