Relax වෙන්න චිත්‍ර අදිමු!

Yashodha Jayalath
June 06, 2020
${article.image}

මනෝවිද්‍යාවේ දී art therapy / කලා චිකිත්සාව ලෙස හදුන්වන්නේ  මානසික ආබාධවලට ප්‍රතිකාර කිරීම සහ මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා කලාත්මක ක්‍රම භාවිතා කිරීමයී.කලා චිකිත්සාව යනු නිර්මාණාත්මක ප්‍රකාශනය මගින් සුවය සහ මානසික යහපැවැත්ම පෝෂණය කළ හැකිය යන අදහස මුල් බැස ගත් චිකිත්සක තාක්‍ෂණයකි. තමන් විසින් කලාත්මක නිර්මාණයක් සිදුකිරීම හෝ වෙනත් අයෙකුගේ කලා කෘතියක් රසවිදීම මගින් මිනිසුන්ට ඔවුන්ගේ හැඟීම් ගවේෂණය කිරීමට, තමන් කවුදැයි හදුනාගැනීමට, ආතතිය සමඟ කටයුතු කිරීමට, ආත්ම අභිමානය ඉහළ නැංවීමට සහ සමාජ කුසලතා වැඩිදියුණු කරගැනීමට හැකියාවක් ලැබේ. 

ඇමරිකානු කලා චිකිත්සක සංගමය (The American Art Therapy Association) කලා චිකිත්සාව, මානසික සෞඛ්‍යයට ප්‍රවේශයක් ලෙස විස්තර කරන අතර එය මානසික, ශාරීරික හා චිත්තවේගීය සුවතාවය වැඩි දියුණු කිරීම සඳහා කලා නිර්මාණ උපයෝගී කරගැනීමේ  ක්‍රියාවලියක් ලෙස හදුන්වාදෙයි. 

කළා චිකිත්සාව සඳහා භාවිතා කරන ශිල්පීය ක්‍රමවලට චිත්‍ර ඇඳීම, පින්තාරු කිරීම, වර්ණ ගැන්වීම, මූර්ති නිර්මාණය  හෝ කොලාජ් ක්‍රමය  ඇතුළු බොහෝ ක්‍රම භාවිතා කල හැකිය. චිකිත්සාවක් ලෙස කලාව භාවිතා කිරීමේදී සේවාලාභින්ට  ඔවුන් විසින් නිර්මාණය කරන ලද දේ සහ එය ඔවුන්ට දැනෙන්නේ කෙසේද යන්න විශ්ලේෂණය කිරීමට අවස්තාවක් ලැබේ. ඔවුන්ගේ කලාව ගවේෂණය කිරීමෙන්, මිනිසුන්ට ඔවුන්ගේ සිතුවිලි, හැඟීම් සහ හැසිරීම් වලට බලපාන තේමාවන් සහ ගැටුම් සොයා බැලිය හැකිය. මේ සදහා කලා හැකියාවක් හෝ විශේෂ කලා කුසලතාවක් තිබීම අවශ්‍ය නොවේ. 

කළා චිකිත්සාව භාවිතා කල හැකි අවස්ථා වන්නේ, 

පාසැලේදී හෝ නිවසේදී චර්යාත්මක හෝ සමාජීය ගැටලුවලින් පෙළෙන දරුවන් සදහා,ඉගෙනීමේ දුර්වලතා ඇති දරුවන් සදහා, ආතතියෙන් පෙලෙන  වැඩිහිටියන්, කම්පන සහගත සිදුවීමක් (trauma) අත්විඳ ඇති ළමුන් හෝ වැඩිහිටියන්, හිසට සිදුවූ අනතුරකින් පීඩා විදින පුද්ගලයින් සදහා ය. මීට අමතර පිළිකා රෝග වලින් පෙලෙන පුද්ගලයින්, විශාදිය තත්ත්ව වලින් පෙලෙන්නන්, වයස්ගත පුද්ගලයන් සදහා ද කලා චිකිත්සාව සාර්ථකව භාවිතා කල හැකිය. 

එක්තරා අධ්‍යනයකට අනුව පර්යේෂකයින් සොයාගනු ලැබු දෙයක් වූයේ, පර්යේෂණයට සහභාගිවූ පිරිස චිත්‍ර අදිමින් සිටියදී මිනිත්තු 45ක් ඇතුලත ඔවුන්ගේ රුධිරයේ කොටිසොල් මට්ටම 75% කින්  අඩුවුන බවයි. කොටිසොල් යනු ආතතිය හා සම්බන්ධ වන හෝමෝනයකි. 

සාමාන්‍ය පුද්ගලයින් වශයෙන් එදිනෙදා කටයුතු නිසා ආතතියට පත්වන අපට චිත්‍ර ඇදීම මගින් සැහැල්ලු වීමට පුළුවනි. මේ සදහා ඔබට විශේෂ හැකියාවක් තිබීම අනිවාර්ය නැහැ. ඔබට කැමති දෙයක් අදින්නට, පාට කරන්නට, අබන්නට පුළුවනි. පාට කිරීම සදහා සකසන ලද පොත් ඔබට වෙළද පොලෙන් මිලදී ගන්නට පුළුවනි. සුන්දර දර්ශන සහිත විශාල අවර්ණ පෝස්ටර් වල ගෑ යුතු වර්ණය අංකනය කොට හෝ පබළු වැනි දෙයක් ඇලවීමට හැකිවන පරිදි සකස් කරන ලද නිර්මාණ  “Ali express” හරහා ඔබට නිවසටම ගෙන්වා ගත හැකිය. ඔබ විසින් සකස්කරන ලද නිර්මාණ ඔබගේ පවුලේ අයෙකුට, යහළුවෙකුට, නෑදෑයෙකුට තෑග්ගක් ලෙස දීමට ඔබට පුළුවනි. උපන්දින සුභපැතුම් පත් නිර්මාණය ද සිතට සතුට ගෙන දෙන කාර්යකි.   

චිත්‍ර ඇදීම හෝ පාට කිරීම මගින් සතුට ඇතිවන්නේ කෙසේදැයි කියා දැන් අපි බලමු. 

  1. ඔබට නැවත ඔබගේ  ළමා කාලයට ගියා සේ හැගීම. 

චිත්‍ර ඇඳීම හෝ පින්තාරු කිරීම සඳහා ඔබ දක්ෂයෙකු  විය යුතු නොවේ. අප කුඩා කාලයේදී චිත්‍රයේ සෞන්දර්යාත්මක සුන්දරත්වය ගැන පවා නොසිතා අපි කැමති ඕනෑම දෙයක් ඇඳීම හා පින්තාරු කිරීම සිදු කලා. අප එයින් කෙතරම් සතුටු වුවාද? ඔබ වැඩිහිටියෙකු වී එසේ චිත්‍ර ඇඳීම හෝ පාට කිරීම කරනවිටදීද එම සතුට ඔබට ලඟා වේ. කෙතරම් වයසට ගියද අප සැවොම තුල කුඩා දරුවෙකු ජීවත් වේ. අප චිත්‍ර ඇදීමේදී සහ පාට කිරීමේදී අප තුල ජීවත්වන කුඩා දරුවා හා සම්බන්ධවීමට අවස්තාවක් අපට ලැබේ. කුඩා දරුවන් යනු සතුටින් සිටිනා අයයි. නිතැතින්ම අපට සතුටක් ලගාවන්නේ ඒ නිසයි. 

  1. චිත්‍ර ඇදීමේදී අපගේ මනස වෙනතකට යොමු කර ගත හැකිය. 

දෛනික ජීවිතයේ ඇති ඒකාකාරී බව නිසා හෝ ඔබට මුහුණ දීමට සිදුව ඇති ගැටළුවක් නිසා ඔබ ආතතියට පත්ව සිටිනවානම් චිත්‍ර ඇදීමෙන් ඔබගෙ මනස එයින් වෙනතකට ගෙනයා හැකිවේ. ඔබ චිත්‍ර අදින අතර තුර ඔබ අනවශ්‍ය දේවල් ගැන සිතීම නවත්වන බවට  ඔබට  සෙමෙන් වටහා ගත හැකිවේ. අවසානයේ දී ඔබේ මනස වඩාත් පැහැදිලිව ඇති බව ඔබට තේරුම් යනු ඇත.

  1. චිත්‍ර ඇදීම හෝ පාට කිරීම භාවනාවක් වැනි දෙයකි.

ඒ නිසා ඔබගේ මනස සන්සුන් වේ. මනස සන්සුන්වන විට ආතතිය ඉබේම තුරන් වී යයි. 

  1. ඔබගේ අවධානය වැඩි කරගැනීමට ද චිත්‍ර ඇදීම සහ පාට කිරීම උපකාරී වේ. 

 චිත්‍ර ඇදීමේදී සහ පාට කිරීමේදී ඔබ ඔබගේ සම්පූර්ණ අවධානය ඒ වෙතට යොමු කරයි. ඔබ චිත්‍ර අදින අතරතුර ඔබ වර්ධනය කරන මෙම අවධානය මගින් ඔබේ මනස නිරවුල් වේ. එමගින් පැහැදිලි  මනසකින් දෛනික ජීවිතයේ ගැටළු වෙත අවධානය යොමු කොට නිවැරදි තීරණ ගැනීමට ඔබට හැකියාව ලබා දෙයි.

  1. ඔබගේ නිර්මානශිලිබව වැඩිවේ. 

 මෙනිසා ඔබ අලුත් ලෙස, වෙනස් ලෙස සිතීමට පටන් ගනියි. ඔබ ආදරය කරන අයෙකුට ආදරය ප්‍රකාශ කරන ආකාරය වෙනස් වේවි. ඔබ ඔවුන් වෙනුවෙන් යම් යම් දේවල් නිර්මාණය කරන්නට පටන් ගනීවි. මේ නිසා ඔබගේ ජීවිතය වඩාත් රසවත් වේවි. 

  1. වර්ණ මගින් මොලය උත්තේජනය වේ. 

සමහර අවස්තාවලදී  ඔබ දුකෙන්, කලබලයෙන් හෝ මානසික අවපීඩනයෙන් පෙළෙන විට, වර්ණ මගින්  ක්ෂණිකව ඔබේ මනෝභාවය ඉහළ නංවා ඇති බවට ඔබට අත්දැකීම් ඇති. ලස්සන වර්ණවත් මලක්, මල් වත්තක් දුටු විට, කොළ පැහැති තණ බිමක් දිටුවිට, නිල් අහස දුටුවිට සිතට සතුටක් ඇති වනවා නේද? ඇත්තෙන්ම නිල්, කහ, කොළ, දම් සහ තැඹිලි වැනි වර්ණ දීප්තිමත් මනෝභාවයක් ඇති කිරීමට සමත් වර්ණ වේ. ඔබ මෙම වර්ණ සමඟ සෙල්ලම් කරන විට (චිත්‍ර අදින විට) ඔබේ මනස සැහැල්ලු වී ඔබගේ ආතතිය සෙමෙන් අඩු වනු ඇත.

බොහෝ වෙලාවට පාසල් යන කාලයේ චිත්‍ර, නැටුම්, සංගීතය සහ ක්‍රීඩා කල අය රැකියාවක් ලද පසු හෝ විවාහ වීමෙන් පසු මෙම ක්‍රියාවන්ගෙන් සෙමින් ඈත් වනවා. බොහෝ අයගේ ප්‍රධාන විනෝදාංශය වන්නේ රූපවාහිනිය නැරබීම සහ පරිගණකය හෝ ජංගම දුරකථනය භාවිතයයි. සතුටින් ජිවත් වීමේදී අපහට තිබිය යුතු විනෝදාංශ සහ රසවින්දන පරාසය වැඩි විය යුතුය. මේ නිසා ඔබ පාසල් වියේදී සහ ළමා වියේදී ආදරයෙන් සිදුකල චිත්‍ර ඇදීම්, පාට කිරීම, සංගීත භාණ්ඩ වාදනය, නර්තනය සහ ක්‍රීඩා කිරීම ආදී ක්‍රියාකාරකම් නවත්වන්නට එපා.