රසැති ගුණැති පැණි කොමඩු

පැණි කොමඩු යනු මාගේ ප්‍රියතම පලතුරුවලින් එකකි. එය ඉස්ම සහිත බවින් හා පැණි රසින් යුතු අතර ග්‍රීස්ම කාලයේ උණුසුම මැඩපැවැත්වීමට කදිම සංග්‍රහයක් ද වේ. කොමඩු වල විටමින් ඒ, විටමින් බී 6, විටමින් සී, ඇමයිනෝ අම්ල, ප්‍රතිඔක්සිකාරක වැනි පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ. ඒවායේ මේදය රහිත වන අතර සෝඩියම් හා කැලරි ප්‍රමාණය ද ඉතා අඩුය.
කොමඩු වල අඩංගු වන පෝෂ්‍ය පදාර්ථ පහත පරිදි දැක්විය හැකිය. (පැණි කොමඩු කෝප්ප 1ක් සදහා)
-
කැලරි ප්‍රමාණය - 46 (154 g ප්‍රමාණයකට)
-
සම්පූර්ණ මේදය - 0.2 g
-
පොටෑසියම් - 4 % (දෛනික අවශ්‍යතාවයෙන්)
-
සීනි - 6g
-
තන්තු - 0.4 g
-
ප්‍රෝටීන් - 0.6 g
-
විටමින් A - 11% (දෛනික අවශ්‍යතාවයෙන්)
-
විටමින් C - 13 % (දෛනික අවශ්‍යතාවයෙන්)
-
යකඩ - 1 % (දෛනික අවශ්‍යතාවයෙන්)
-
විටමින් B1, B5 සහ B6 - 3 % (දෛනික අවශ්‍යතාවයෙන්)
කොමඩු වල 92% ක් පමණ ජලය අඩංගු වන අතර එමඟින් ඔබට විජලනය නොවී සිටීමට උපකාර කරයි. කොමඩු වල අන්තර්ගත වන අධික ජල ප්‍රමාණය සහ එහි අඩංගු වන තන්තු මගින් ඔබගේ කුස පිරී ඇති බවට හැඟීමක් ඔබට ඇති කරයි, එයින් අදහස් කරන්නේ කොමඩු ආහාරයට ගැනීමෙන් ඔබට කැලරි විශාල ප්‍රමාණයක් ලබා නොගෙන කුස පිරෙන්න හොඳ ආහාර ප්‍රමාණයක් ආහාරයට ගත හැකි බවයි. බර අඩු කර ගැනීමේ ආහාර සැලසුම් සදහා කොමඩු සදහා වැඩි අවධානයක් ලැබෙන්නේ එබැවිනි.
කොමඩු යනු ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වන ආහාර ප්‍රභවයකි. බීටා-කැරොටින්, ලයිකොපීන්, කුකර්බිටැසින් ඊ (Cucurbitacin E)යනු කොමඩු වල අඩංගු ප්‍රතිඔක්සිකාරක වේ.
බීටා කැරොටින් යනු අපගේ ශරීරය තුළ දී විටමින් A බවට පරිවර්තනය වන කැරොටිනොයිඩ් වර්ගයකි. ලයිකොපීන් යනු එසේ විටමින් A බවට වෙනස් නොවන ප්‍රතිඔක්සිකාරකයකි. ලයිකොපීන් සමග සෞඛ්‍යමය වාසි රැසක් සම්බන්ධ වන බවට පර්යේෂණ මගින් තහවුරු වී ඇති අතර එය කොමඩු හා තක්කාලි වැනි ආහාර සඳහා රතු පැහැය ලබා දෙයි. අපගේ දෙඇස් නිරෝගීව තබා ගැනීමට ලයිකොපීන් උපකාරී වේ. විද්‍යාත්මක පර්යේෂකයන් සොයාගෙන ඇති ආකාරයට ලයිකොපීන් වල පිළිකා නාශක බලපෑමක් ඇත. විශේෂයෙන් ආහාර ජීර්ණ පද්ධතියේ පිළිකා විනාශ කිරීමේ හැකියාව ලයිකොපින් සතුව ඇත. Cucurbitacin E හි ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිප්‍රදාහක ගුණ ඇත. එසේම එහි පිළිකා වර්ධනය වැළැක්වීමේ හැකියාව පිළිබඳව ද විමර්ශන සිදුකොට ඇත.
කොමඩු, හෘද සෞඛ්‍යයට ද ගුණදායකය. අධ්‍යයනවලට අනුව කොමඩු වල ඇති ලයිකොපීන් කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ. Citrulline යනු කොමඩු වල අඩංගු ඇමයිනෝ අම්ලයක් වන අතර එය ශරීරයේ නයිට්‍රික් ඔක්සයිඩ් මට්ටම ඉහළ නංවන අතර එමගින් රුධිර පීඩනය අඩු කිරීමට දායක වේ. විටමින් ඒ, විටමින් බී 6, විටමින් සී සහ පොටෑසියම් සහ මැග්නීසියම් වැනි ඛනිජ ද හෘද සෞඛ්‍යයට යහපත් ය.
ව්‍යායාම කිරීමෙන් පසු කොමඩු යුෂ පානය කිරීම යහපත්ය. මන්ද කොමඩු වල ඇති Citrulline මගින් මාංශ පේශි කැක්කුම අඩු කල හැකි අතර කොමඩු යුෂ පානය කිරීම මගින් ශරීරයට Citrulline අවශෝෂණය වැඩි කරන බව සනාථ වී තිබේ.
අපි හැමෝම කැමතියි ලස්සන වෙන්න, එහෙම නේද? කොමඩු ද මෙහි දී අපට උදව් කිරීමට පැමිණේ. කොමඩු විටමින් ඒ සහ විටමින් සී යන දෙකින්ම පොහොසත් බැවින් එය සමට සහ හිසකෙස් වලට හිතකර ප්‍රතිඵල ලබා දේ. කොලජන් යනු අපගේ සම සහ අපගේ හිසකෙස් ශක්තිමත් කිරීමට වැදගත් වන ප්‍රෝටීනයකි. කොලජන් සෑදීම සදහා විටමින් සී අපගේ ශරීරයට උපකාරී වේ. විටමින් A ඔබේ සමට ඉතා වැදගත් වේ, ප්‍රමාණවත් විටමින් A නොමැතිව ඔබේ සම වියළි වී කොරල ඇතිවිය හැකිය. කොමඩු වල ඇති කැරොටිනොයිඩ් ඔබේ සම අව් රශ්මියෙන් ආරක්ෂා කර ගැනීමට ද උපකාරී වේ.
සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ජීර්ණය වීම සඳහා කොමඩු වල තන්තු හා ජලය වැදගත් වේ. කොමඩු මෘදු හා මාංසමය වන නිසා එමගින් ආහාර දිරවීම පහසුකරවයි.
බොහෝ අය බීජ රහිත කොමඩු වලට කැමතියි. එනමුත් කොමඩු බීජ වල පෝෂක විශාල ලෙස අඩංගු වන අතර ඒවාහි කැලරි ප්‍රමනය ද අඩු වේ. ඔබට කෙලින්ම අමු කොමඩු බීජ හෝ රොස්ට් කරන ලද කොමඩු බීජ ආහාරයට ගත හැකිය. කොමඩු බීජ වල සින්ක් අඩංගු වේ. සින්ක් යනු ප්‍රතිශක්තිය, සෛල වර්ධනය හා බෙදීම, ආහාර ජීර්ණ හා ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා වැදගත් වන ඛනිජයකි.
මා සිතනවා දැන් කොමඩු ඔබට ගුණදායක වන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔබට ලැබී ඇති බව. ඇත්තෙන්ම කොමඩු රසවත් පමණක් නොව ගුණදායක පළතුරක් නිසා ඔබගේ දෛනික ආහාර වේලට කොමඩු එකතු කරගැනීමට අමතක කරන්නට එපා.