තරුණ බව දිගු කලක් පවත්වා ගැනීමට නම්!

Yashodha Jayalath
November 07, 2020
${article.image}

කුඩා අවධියේදී ඉක්මනින් ලොකු වෙන්නට ආස කලත් දැන් අපි සැවොම ආසයි වයසට නොයා ඉන්න. දිගු කාලයක් තරුණ බව රැකගෙන නිරෝගිව ඉන්නට ඇත්නම් එය ඉතා අගෙයි නේද ? ඒ සදහා වැදගත් වන දෙයක් තමයි ශාරීරික යෝග්‍යතාවය පවත්වාගැනීම කියන්නේ. එසේ වැදගත් වන ශාරීරික යෝග්‍යතාවය යනු කුමක්දැයි අපි හදුනාගනිමු. 

ශාරීරක යෝග්‍යතාවය යන්නෙන් අදහස්වන්නේ ආකර්ශනීය සිරුරක් පවත්වා ගැනීම පමණක් නොවෙයි. ශරීරයේ ක්‍රියාකාරිත්වය හොදින් පවත්වා ගැනීම යන්න එයින් මූලිකව අදහස් වනවා. නමුත් වඩා හොදින් ශාරීරික යෝග්‍යතාවය යන්න හදුනාගැනීමට නම් ඊට අදාළ අනෙකුත් අංග පිලිබදව දැනගැනීම වැදගත් වනවා. මා මෙම ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තුවන්නේ හොඳ ශාරීරික යෝග්‍යතාවයක් පවතින පුද්ගලයෙකුගේ දැකිය හැකි ලක්ෂණ කිහිපයක් පිලිබදවයි. ඒ තුලින් ඔබට ශාරීරික යෝග්‍යතාවය පිලිබදව නිවැරදි අදහසක් ලබාගත හැකිවේවි. 

යහපත් ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන පුද්ගලයෙකු හට එදිනෙදා වැඩකටයුතු කර ගැනීමේදී මහන්සියකින් තොරව එම වැඩකටයුතු කරගැනීමේ හැකියාව පවතිනවා. වර්තමානයේ සියලු වැඩකටයුතු පහසුවෙන් කරගැනීමට අප තාක්ෂණික මෙවලම් භාවිතා කරන නිසා හා අවිවේකි ජීවන රටාව නිසා අපගේ ශරීරයට එම වැඩකටයුතු පහසුවෙන් කර ගැනීමේ හැකියාව ක්‍රමයෙන් නැති වෙමින් යනවා. සුළු වැඩක යෙදුනු විටත් තද මහන්සිගතියක් දැනෙන්නේ මේ නිසාය.  විවිධ ව්‍යායාම වල නිරතවීම තුලින් අපට නැවතත් යහපත් ශාරීරික යෝග්‍යතාවයක් පවත්වා ගත හැකිය. එසේ ව්‍යායාම වැඩසටහනක් තෝරා ගැනීමේදී ශාරීරික යෝග්‍යතාවයට අයත් පහත අංග වලින් වැඩි ප්‍රමාණයක් වැඩි දියුණු කරගැනීමට අවධානය යොමු කලයුතුය. 

  1. සමබරතාවය 

  2.  ශරීර සංයුතිය

  3.  හෘද-රුධිරවාහිනී පද්ධතියේ දරාගැනීමේ හැකියාව 

  4.  ශරීරයේ නම්‍යශීලිබව

  5. කායික පේශි වල ශක්තිය සහ ඒවාහි දරාගැනීමේ හැකියාව

  6. ඉක්මනින් සහ පහසුවෙන් සංචරණය කිරීමට ඇති හැකියාව නොහොත් වේගය. 

සාමාන්‍යයෙන් හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන පුද්ගලයෙකුහට යම්කිසි කාර්යයක් ඉටුකිරීමට යෙදවිය යුතු ශරීර ශක්තිය අඩුවන අතර වැඩි වෙලාවක් එම කාර්යයේ අපහසුවකින් තොරව යෙදීමේ හැකියාවක් ඇත. යහපත් ශාරීරික යෝග්‍යතාවයක් නොමැති පුද්ගලයෙකු හට එම කාර්යය වඩා වැඩි ශක්තියක් යොදවා සිදුකිරීමට සිදුවන අතර එනිසාම වැඩි වේලාවක් එම කාර්යයේ යෙදීමට ද නොහැකියි. ඔහු ඉක්මනින් විඩාවට පත්වනවා. 

හර්ධ- රුධිර වාහිනී පද්ධතියේ දරාගැනීම යනු  සෛල වෙතට ඔක්සිජන් හා පෝෂ්‍ය පදාර්ථ ලබා දීමට සහ සෛල වලින් අපද්‍රව්‍ය ඉවත් කිරීමට සංසරණ හා ශ්වසන පද්ධතියට ඇති හැකියාව මැනීමකි. ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීමේදී ඔබේ මාංශ පේශිවලට ඉන්ධන සැපයීම සඳහා ඔබේ සෛල වලට ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වේ. ඔබේ සෛල ක්‍රියා කරන විට ඒවා අපද්‍රව්‍ය නිපදවයි. එම අපද්‍රව්‍ය බහිශ්‍රාවී අවයව වෙතට ගෙනයායුතුවේ. ඔබේ ශරීරය මෙම කාර්යයන් කෙතරම් කාර්යක්ෂමව කරන්නේද යන්න ඔබගේ හෘද - රුධිරවාහිනී පද්ධතියේ දරාගැනීම ලෙස හැදින්විය හැකිවේ.

“ඇරොබික්ස් ව්‍යායාම” කිරීමෙන් ඔබට හර්ධ - රුධිර වාහිනී පද්ධතියේ දරාගැනීම වැඩිදියුණු කරගත හැකිය.  ඇරොබික්ස් ව්‍යායාම යනු වචනාර්ථයෙන් ඔක්සිජන් භාවිතා කරන ව්‍යායාමයකි. ජෝගින් (Jogging) කිරීම, බයිසිකල් පැදීම, බෝට්ටුවක් පැදීම ආදී අඩු හා මධ්‍යස්ථ තීව්‍රතාවයකින් කරන සහ යම් කාලයක් යොදවා සිදුකරන  ක්‍රියාකාරකම් ඇරොබික්ස් ව්‍යායාම ගණයට අයත් වේ. ඇරොබික්ස් ව්‍යායාම වැදගත් වන්නේ එය ඔබේ හදවත සහ පෙනහළු ශක්තිමත් කරවන නිසා ඒවා වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කරන බැවිනි. ක්‍රීඩකයින්ගේ හර්ධ ස්පන්දන වේගය අඩු බව ඔබ අසා තිබෙනවාද ?  එයට හේතු වන්නේ ඉහල ශාරීරික යෝග්‍යතාවයක් ඇති විට හර්ධය ශක්තිමත් වීම නිසා හර්ධය අඩු වාර ගණනක් ස්ඵන්ධනය වනවිට වැඩි රුධිර ප්‍රමාණයක් පොම්ප කිරීමට  හැකියාව ලැබීමයි. 

කායික පේශිවල ශක්තිය යනු යම් කාර්යක නිරතවීමේදී ඇතිවන ප්‍රතිරෝදයට එරෙහිව බලය යෙදවීමට මාංශ පේශියකට  හෝ මාංශ පේශි සමූහයකට ඇති හැකියාවයී. මාංශපේශි වල ශක්තිය ඉහල යාම නිසා තල්ලු කිරීම, බර එසවීම ආදී ක්‍රියාකාරකම් වඩා පහසුවෙන් කරගැනීමට හැකියාව ලැබෙයි. බර එසවීමේ ව්‍යායාම, “push ups”, ඔබේ මාංශ පේශින්හි ශක්තිය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. 

කායික පේශිවල දරාගැනීම යනු මාංශ පේශි හෝ මාංශ පේශි සමූහයකට අපහසුවකින් තොරව යම් කාලයක් පුරා කාර්යයක් කිරීමට බලය යෙදවීමට ඇති හැකියාවයී. 

බයිසිකල් පැදීම, “ට්‍රේඩ් මිල්” යන්ත්‍රය පැදීම ආදිය කායික පේශින්හි දරාගැනීම වැඩිදියුණු කර ගැනීමට සුදුසු ව්‍යායාම වේ. 

නම්‍යශීලීභාවය යනු සන්ධි චලනය කිරීමට සහ මාංශ පේශි ඒවායේ සම්පූර්ණ චලිත පරාසය හරහා භාවිතා කිරීමට ඇති හැකියාවයි. ඇදීමේ ව්‍යායාම මගින් සහ යෝග ව්‍යායාම මගින් ශරීරයේ නම්‍යශිලිතාවය වැඩිදියුණු කරගත හැකිය. 

තායි චී අභ්‍යාස වල නියැලීමෙන් ශරීරයේ සමබරතාවය වැඩිදියුණු කර ගත හැකිය.  

ශරීර සංයුතිය යනු ශරීරයේ පේශි, ඇට කටු සහ අවයව වලට සාපේක්ෂව ශරීරයේ ඇති මේද ප්‍රමාණයයි. ශරීරයේ මේදය තැන්පත් වී ශරීරය මහත් වුවද ඒ හා සමානව ඔබගේ ඇටකටු සහ අවයව විශාල වන්නේ නැත. මේ නිසා ශරීරය ස්ථුල වීමේදී ඔබගේ ඇට කටු වලට (සැකිලි පද්ධතියට) විශාල ශක්තියක් යෙදිය යුතුවනවා. මේ නිසා ඔබ ඉක්මනින් විඩාවට පත්වනවා. ශරීර සංයුතුය මෙහිදී වැදගත් වන්නේ මේ නිසයි. 

නිතිපතා ව්‍යායාම කිරීම සහ ශාරීරික ක්‍රියාකාරිබව ශක්තිමත් මාංශ පේශි සහ ශක්තිමත් අස්ථි ඔබට ලබා දේ. එසේම එය ශ්වසන සෞඛ්‍යය, හෘද සෞඛ්‍යය සහ ඔබගේ ශරීරයේ සමස්ත සෞඛ්‍යය වැඩි දියුණු කරයි. ක්‍රියාශීලීව සිටීම ඔබට සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමටත්, දෙවන වර්ගයේ දියවැඩියාව, හෘද රෝග සඳහා ඇති අවදානම අඩු කිරීමටත්, සමහර පිළිකා සඳහා ඇති අවදානම අඩු කිරීමටත් උපකාරී වේ.

ඔබේ දෛනික කාලසටහනට නිතිපතා ව්‍යායාම කිරීම මුලදී දුෂ්කර යැයි ඔබට සිතේවි. ආරම්භයේ දී දිනපතා වරකට මිනිත්තු දහයක් කිරීම පවා ප්‍රමාණවත් වේ. පසුව ක්‍රමයෙන් නිර්දේශිත ව්‍යායාම ප්‍රමාණය දක්වා වැඩි කිරීම ඔබට  කළ හැකිය. ඔබට කොපමණ ව්‍යායාම අවශ්‍යද යන්න ඔබේ වයස සහ සෞඛ්‍යය තත්වය මත රඳා පවතී. එම නිසා ව්‍යායාම වැඩසටහනක් ආරම්භ කිරීමට පෙර සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හෝ ශාරීරික යෝග්‍යතා උපදේශකයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම යහපත් වනවා. එම උපදෙස් මත ඔබට නිවසේ සිට තනිවම හෝ පවුලේ අය හෝ මිතුරු මිතුරියන් සමග හෝ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයකට ගොස්  හෝ ව්‍යායාම කල හැකිය. තරුණබව පවත්වා ගත හැකි හොඳම ඖෂධය වන්නේ ව්‍යායාම කිරීම බව අමතක කරන්නට එපා.