යාඥා කිරීම, වන්දනාමාන කිරීම සහ ආගමික වත් පිළිවෙත් අපගේ යහපැවැත්ම කෙරෙහි බලපෑම් කරන්නේ කෙසේද ?

Yashodha Jayalath
April 17, 2020
${article.image}

ඔබ සිතන්නේ කෙසේද? විසදාගත නොහැකි ගැටලුවකට මුහුණ දී සිටින විට මිනිසුන් විවිධ ආගමික වත් පිළිවෙත් වල යෙදී දෙවියන්ගෙන් පිහිට  පතනවා. මෙය අනවශ්‍ය දෙයක්ද? නැතිනම් යම් බලපෑමක් ඇති දෙයක් ද? මා සිතන ආකාරයට නම් මෙසේ ආගමික වත් පිළිවෙත්වල යෙදීමෙන් අපගේ සිතට විශාල සහනයක් ලැබෙනවා. මෙම ලිපියෙන් මා කතා කරන්න බලාපොරොත්තුවන්නේ එසේ ආගමික වතාවත් වල යෙදීම සහ අපගේ යහපැවැත්ම කෙරෙහි ඉන් ඇතිවන බලපෑම පිළිබදව ඇති විද්‍යාත්මක පදනම පිලිබදවයි. 

ඇත්තෙන්ම මෙම විෂය අධ්‍යනය කිරීමට අපහසු විෂයක් බවයි කෙනෙටිකට් සරසවියේ මනෝවිද්‍යාව පිළිබද මහාචාර්ය ක්‍රිස්ටල් පාර්ක් කියා සිටින්නේ. මීට හේතුව වන්නේ ආගමික වතාවත්වල දිනපතා යෙදෙන සහ තම පවුල සහ අන්‍යන් හා යහපත් සම්බන්ධතා පවත්වන පුද්ගලයින් සාමාන්‍යයෙන් නිවැරදි තීරණ ගන්නා අතර දුම්පානය කිරීම, මත්පැන් භාවිතය සහ වැරදි සම්බන්ධතා පැවැත්වීමෙන් මිදී යහපත් ජීවිත ගත කරන අතර අන්ධ විශ්වාසයන් මුල්කොට ගනිමින් විවිධ කල්ලි සාදාගෙන මෙවන් පිළිවෙත් වල යෙදන පුද්ගලයින්ගේ ජීවිත සෝචනීය තත්වයක පැවතීමයි. 

ආගමික වතාවත් වල යෙදීමේදී, සිතට දැනෙන එම සහනය, සාමකාමී හැගීම, මානසික පැහැදිලිබව ඇත්තෙන්ම ධනාත්මක ලක්ෂණ වනවා. නිවැරදි තීරණ ගැනීමට සහ සතුටින් ජීවත් වීමට එම මානසික තත්වය උපකාරී වනවා. එපමණක් නොව එම මානසික සහනය අපගේ ශරීරයටද යහපත් ලෙස බලපානවා. එනම් අපේ හර්ධය සහ රුධිර සංසරණ පද්ධතිය සන්සුන් කිරීමටත් ආතතිය අඩු කිරීමට එය දායක වනවා. 

දිනපතා ආගමික වත්පිළිවෙත් වල යෙදීමේදී තමන්ට වඩා වැඩි බලයක් සහිත පුද්ගලයෙකු හෝ යමක් සමග අපගේ සිතේ යම් සම්බන්ධතාවයක් (connection) ගොඩනැගෙනවා. එමගින් අපට එදිනෙදා කටයුතුවලින් ඔබ්බට එහා ගිය යම් අරමුණක් හෝ ජීවිතයට අර්ථයක් පිලිබදව යම් හැගීමක් ඇති වනවා. මෙය චිත්තවේගී යහපැවැත්මට ඉතා වැදගත් වනවා. 

බොදු ජනතාව වෙසක් දිනවල ගායනා කරන භක්ති ගීත සදහා දායක වීම, කිතුනුවන් නත්තල් සැමරීමේදී කැරොල් ගායනය වැනි  ප්‍රජා සහභාගීත්වයට අදාළ ක්‍රියාකාරකම් චිත්තවේගීය සෞඛ්‍යයට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකිය. අධ්‍යාත්මික කටයුතු වල නියැලීමෙන් අනපේක්ෂිත හෝ  ඍණාත්මක සිදුවීම් සමඟ කටයුතු කිරීම සඳහා යහපත් වාතාවරණයක් සැපයිය හැකිය. උදාහරණයක් ලෙස, ආදරණීයකුගේ වියෝවෙන් පසු සිත සදාගැනීමේදී දිනපතා බණ ඇසීම, දාන මාන දීම, පිරිත් ඇසීම හෝ දෙවියන්ට යාඥා කිරීම, ස්ත්‍රෝත්‍ර ගායනය වැනි ආගමික කටයුතු වල නිරත වීමෙන්, විශාදීය තත්වයන් ඇතිවීම වලක්වාලීමට උපකාරිවනවා. 

වර්තමානයේ දී විද්‍යාඥයින් විසින් යාඥා කිරීම අපගේ මොළයට ඇති කරන්නේ කුමන ආකාරයේ බලපෑමක්ද යන්න පිලිබදව අධ්‍යනය කරමින් සිටිනවා. මෙම ක්ෂේත්‍රය හදුන්වන්නේ “නියුරෝතියොලොජි” (neurotheology) ලෙසයි. මෙම අධ්‍යයන වලට අනුව නිතරම වන්දනාමාන සහ ආගමික කටයුතුවල නිරත වන පුද්ගලයන්ගේ සහ නිතර භාවනා කරන පුද්ගලයන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය අනෙක් පුද්ගලයන්ට වඩා වෙනස් බව හදුනාගෙන තිබෙනවා. භාවනාව, පිරිත් ශ්‍රවනය, යාඥා කිරීම වැනි ආධ්‍යාත්මික කටයුතුවල යෙදෙන විට මිනිස් මොළයේ ඉදිරිපස කොටස වැඩිපුර ක්‍රියාත්මකවන බව පෙන්සේල්විනියා සරසවියේ විද්‍යාඥයෙකු වන ඇන්ඩ්රු නිව්බර්ග් පවසනවා. අවධානය පවත්වා ගැනීම කෙරෙහි වැඩි වශයෙන් දායක වන්නේ මොළයේ ඉදිරිපස කන්ඩිකා වේ.  මෙහි වැදගත් දෙය වන්නේ මෙසේ අධ්‍යාත්මික කටයුතුවල නිරත වීමේදී මොළයේ පාර්ශ්වික කොටස්/කන්ඩිකා එතරම් ක්‍රියාකාරි නොවන බවයි. මෙම පාර්ශ්වික කන්ඩිකා වැදගත් වන්නේ ඉන්ද්‍රිය සංවේදන හදුනාගැනීමට වන අතර එමගින් පංචඉන්ද්‍රියන්ගෙන් සංවේදන ලබාගෙන, පුද්ගලයා තමාව හදුනා ගනියි. එනම් “මම” යන සංකල්පයට අනුව ලෝකය අත්විදින්නේ මෙසේ ඉන්ද්‍රිය සංවේදන ලබාගැනීමෙන් තමාව “පුද්ගලයෙකු” ලෙස හදුනාගැනීම නිසාය. ආගමික වතාවත්වල යෙදීමේදී මෙසේ පාර්ශ්වික කන්ඩිකාව එතරම් ක්‍රියානොකිරීම නිසා හා ඉදිරිපස කන්ඩිකාව හොදින් ක්‍රියාකිරීම නිසා පුද්ගලයා තමාව පුද්ගලයෙකු ලෙස “මම” යන සංකල්පයෙන් තොරව පොදුවේ ලෝකය අත්විදින්නට හැකියාව ලැබේ. තන්හාවෙන් තොරව,පරාර්ථකාමී හැගීමෙන් සහ අනුකම්පාවෙන් යුතුව ලෝකය දෙස බැලීමට මෙමගින් හැකියාව ලැබේ.  නිව්බර්ග් නම් ඉහත කී විද්‍යාඥයාගේ පර්යේෂණයේ දී විවිධ ආගම් වලට අයත් පුද්ගලයන්ගෙ මොළය ක්‍රියාකොට ඇත්තේ එකම ආකාරයටය."කිතුනුවකු නැත, යුදෙව්වෙක් නැත, මුස්ලිම්වරයෙක් නැත, ඒ සියල්ලම එකකි," නිව්බර්ග් පවසයි.

මෙසේ පරාර්ථකාමී ලෙස ලෝකය දකින්නට  සිදුවීමෙන් පුද්ගලයාට තමාව යහපත් අයෙකු ලෙස දැනෙන්නට පටන් ගන්නා අතර එමගින් ආත්ම අභිමානය ඉහල යනවා. ඊර්ෂ්‍යාව ආදී ඍණාත්මක හැගීම් ඇතිවීමට හේතුව වන්නේත් දුර්වල ආත්ම අභිමානයයි. තමන් ආරක්ෂිතබවට  ඇතිවන හැගීම ද අපගේ යහපැවැත්මට හේතුවනවා. තමා අනාරක්ෂිත බව දැනුනු විට මිනිසුන් නොසන්සුන් බවට පත්වනවා. එමහින් කලකෝලාහල, රණ්ඩු සරුවල්, දුර්වල පුද්ගල සම්බන්ධතා, වැරදි ජීවන පුරුදු ආදියට පදනම වැටිය හැකිය. මේනිසා අපගේ යහපැවැත්ම කෙරෙහි ආධ්‍යාත්මික කටයුතු වලට විශාල බලපෑමක් ඇති කිරීමට පුළුවන් බව අපට සිතන්නට පුළුවනි. ඔබ, ඔබගේ ආහාර, මානසික තත්වය, ශාරීරික යෝග්‍යතාවය පිලිබදව සැලකිලිමත් වන්නා සේම ආධ්‍යාත්මික සුවතාවය ගැනද අවධානය යොමුකළ යුත්තේ මේනිසයි.