සමාවදීමේ බලය ඔබත් අත්විඳ තිබෙනවාද?

Yashodha Jayalath
April 14, 2020
${article.image}

අපගේ  ජීවිත කාලයේ දී අනෙකුත් පුද්ගලයන් අපට කරන ලද වැරදි නිසා අප දුකට පත් වූ අවස්තාවන් බොහොමයක්  තිබෙන්නට පුළුවනි. සමහරවිට ඒ ඔබගේ යහළුවකු යයි සිතාගෙන සිටිකෙනා හෝ ඔබගේ පවුලේ සාමාජිකයෙකු හෝ ඔබ වැඩකරන ස්ථානයේ කෙනෙකු හෝ ඔබගේ ප්‍රධානියා ද විය හැකිය. කෙසේ නමුදු සාර්ථක ජීවිතයක් ගත කිරීමට නම් මෙම අමිහිරි මතකයන්ට අපගෙන් ඉවත්ව යා දිය යුතුය. එසේ නොමැති වුවහොත් අපගේ ජීවිතය දුකින් පිරි යා හැකිය. 

 

නමුත් අප කෙතරම් හොදින් මේ පිලිබදව දැන සිටිය ද අපට වැරදි කරන ලද පුද්ගලයා හට සමාව දීම එතරම් පහසු කාරණයක් නොවේ.  නමුත් එවන් පුද්ගලයන් හට සමාව දීමට ඔබ ඉගෙන ගත හොත් එම අමිහිරි මතකයට තවදුරටත් ඔබව රිදවීමට හැකියාවක් නොමැති වී නිකන්ම මතකයක් බවට පත් වේවි. 

 

මා මේ ලිපියෙන් කතාකරන්න බලාපොරොත්තුවන්නේ එසේ සමාවදීමට තරම් ශක්තිමත් පුද්ගලයෙකු වන්නේ කෙසේද කියාය. 

 

සමාවදීමේ ආකාර දෙකක් පවතියි. ඉන් එකක් වන්නේ ඔබ විසින් අදාළ පුද්ගලයාට හානියක් නොකිරීමට ඔබ කල්පනා කොට ගන්නා තීරණයයි (Desicional). මෙහිදී ඔබ අදාළ පුද්ගලයාට නරකක් ප්‍රාර්ථනා නොකරයි. මෙසේ සමාවදීම තරමක් පහසු දෙයකි. නමුත් ඔබේ සිතේ එම තරහ සහ එම පුද්ගලයා කෙරෙහි අකමැත්ත එලෙසම පැවතිය හැකිය. අනෙක් සමාවදීමේ ආකාරය වන්නේ  ඔබ ඔබේ හදවතින්ම එම පුද්ගලයාහට සමාවදීමයි(Emotional).එනම් ඔබ එම පුද්ගලයාගේ ස්වභාවය හදුනාගෙන එම අමිහිරි, ඍණාත්මක සිතුවිලි වලින් සදහටම ඈත් වීමයි. මෙහිදී එම පුද්ගලයා කෙරෙහි ඔබට තරහක් හට නොගනී. නමුත් මෙසේ සමාවදීම තරමක් අපහසු, යම් කාලයක් ගන්නා ක්‍රියාවකි. 

 

මාගේ අත්දැකීමක් අනුව මා ඔබට මෙය විස්තර කරදෙන්නම්. මා කුඩා කාලයේදී එනම් මාගේ වයස අවුරුදු 8 හෝ 9ක් වැනි කාලයේ දී අප පාසැලේ අපට ඉංග්‍රීසි උගන්වන ලද ගුරුතුමිය මාගේ මව්පියන් හා ඇති යම් අමනාපයක් හේතුවෙන් පාසලේදී මාහට නොයෙකුත් කෙනෙහිලිකම් කරන්නට විය. ඇය කෙතරම් කෙනෙහිලිකම් කලද මා හොදින් ඉගෙනගත් අතර ඇය ගැන මාගේ දෙමව්පියන්ටවත් නොකීවෙමි. නමුත් කුඩා මාගේ සිත සෑහෙන්න පෑරී තිබුණි. මාගේ වාසනාවකට ඇයට  වෙනත් පාසලකට මාරු වීමක් ලැබුණි. නමුත් ඇය මට කල කී දේවල් හොදින් මා මතකයේ තිබුණි. මා ඇය ගැන කිසිවෙකුට පැමිණිලි නොකලද ඇයට මා සිතින් සමාව දී තිබුනේ නැත. මා හොදින් ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයට ද ඇතුළු වී අවසන් වසරේ ඉගෙනුම ලබන අවධියක, මා මව සමග වෙළදසලක සිටින විට එම ගුරුතුමියව මා දුටුවෙමි. මා සිනාසී ඇය අසලට ගොස් ඇයට කතා කලෙමි. මාගේ විස්තර පැවසුවෙමි. ඇය බොහෝ පැහැදීමට ලක්වූ බව ඇයගේ ඇස් දෙකින් මා දුටුවෙමි. ජිල් බෝල දෙකක් මෙන් එම දෙනෙත් එලිය වී තිබුණි. එම මොහොතේම මා ඇයට මාගේ හදවතින්ම සමාව දුන්නෙමි. එම ගුරුතුමිය ගැන දැන් මාගේ සිතේ කිසිදු තරහක් නැත. මා ඇයට වැඳ මව සමග ආපසු පැමිනෙණ විට මාගේ මව මට පැවසුවේ එම ගුරුවරිය මාගේ සහෝදරයන්ට ද පාසලේදී කෙනෙකිලිකම් කොට ඇති බවය. එම ගුරුවරිය එදා මාගේ පාසලෙන් මාරු වී ගොස් තිබුනේ මාගේ සහෝදරයන් ඉගෙනගත් පාසලටය. එම අවස්ථාවේදී මා මගේ මවට පැවසුවේ සහෝදරයන්ට පමණක් නොව ඇය  මටද පාසලේ දී කෙනෙහිලි කම් කල බවයි. නමුත් දැන් මා සිතෙහි ඇය ගැන කිසිදු තරහක් නැත. මෙසේ ඇයට මුළු හදින්ම සමාවදීමට මට අවුරුදු ගණනාවක් ගත වුනි. නමුත් මම එම අමිහිරි මතකයෙන් දැන් සම්පූර්ණයෙන්ම නිදහස ලබා ඇත්තෙමි. 

 

මෙසේ සමාව දීමෙන් අපට ලැබෙන ඵලය කුමක්ද?

 

අප සිතෙහි කුමක්හෝ කාරනාවක් හේතුවෙන් සිතෙහි කලකිරීමක් ඇතිවිට එය වෙනත් මාර්ගයකින් අපගෙන් පිටතට පැමිණිය හැකිය. කේන්තිගැනීමක්, කාට හෝ බැනවැදීමක්, ඉර්ෂ්‍යාසහගත සිතුවිලි ඇතිවීමක් ලෙස, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමක් ලෙස  එය අපගේ සාමන්‍ය ජීවිතයට බලපෑම් ඇතිකළ හැකිය. එමගින් අවසානයේදී අපව අප්‍රසන්න, දුර්වල පුද්ගලයන් බවට පත්වීම සිදුවේ. එම කලකිරීම් හෝ අප්‍රසන්න අත්දැකීම් වලින් නිදහස ලැබුන විට අප වඩා ප්‍රසන්න සහ ශක්තිමත් පුද්ගලයන් බවට පත් වේ. විශාදීය තත්වයන් මගහරවා අප ජීවිතයට සන්තෘප්තිය ලබාගැනීමට සමාවදීමට අප පුහුණුවිය යුතුය. නමුත්  එසේ සමාවදීම පහසු කාරණයක් නොවේ. සමාවදීම පහසුවීම සදහා ඔබට රිදවන පුද්ගලයාගෙන් ඈත් වීම ඔබ සිදු කල යුතුය. එවිට ඔබට නිදහසේ සිතීමට සහ තීරණ ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. එසේ නොමැති වුවහොත් ඔවුන් දිගින් දිගටම අපට රිදවන නිසා නිවැරදි තීරණ ගැනීමේ හැකියාව අපගෙන් දුරස් වී අපගේ ආත්ම විශ්වාසය ද දුර්වල වීමට ලක්වේ.  

 

විශාල ලෙස ඔබට වැරදි කරන ලද පුද්ගලයන්ට සමාවදීමට ප්‍රථම ඔබට පුළුවනි එදිනෙදා සිදුවන සුළු වැරදිවලට අදාළ පුද්ගලයන් හට සමාවදීම පුරුදු කරගන්න. එමගින් ලෙහෙසියෙන්ම තරහා ගැනීම සහ එක්වරම ඍණාත්මක ලෙස හැසිරීම පාලනය වෙනවා. 

මිනිසුන් ඔබට වැරදි කරන විට ඔබ එකට එක කොට පලිගැනීමට යාමෙන් නාස්ති වී යන්නේ ඔබගේම ජීවිතයයි. ඇතැම්විට අතහැර දැමීම හොඳම පලිගැනීම වන අවස්ථාව ද විය හැකිය. අප වඩා අවධානය දිය යුත්තේ අප නිවැරදිව ජීවත්වීමටයි. එවිට කෙදිනක හෝ අප මෙම ජීවිතය හැරයන දවසක සතුටින් සහ සිතේ නිදහසින් අපට එම සමුගැනීම සිදුකල හැකිවේවි.