ආතතිය මගහරිමු!

ඇත්තෙන්ම අප සියලු දෙනාම ජිවිතයේ විවිධ අවස්තාවලදී ආතතියට පත් වනවා. ඇතැම් විට එම ආතතිය අපව ධෛර්යමත් කොට අපගේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට උදව් වනවා. නමුත් සමහර විට එම ආතතිය ඔබව අධෛය්ර්යමත් කොට ඔබව පහතට ඇද දමනවා පමණක් නොව ඔබව රෝගී කරනවා.
ආතතිය යනු ස්වභාවික ප්‍රතිචාරයකි. ආතතිය මානසිකව මෙන්ම ශාරීරිකව ද ඔබට දැනෙන දෙයකි. ඔබට ඔබගේ පළමු ආදරණිය හමුවීම මතකද? ඔබට දැනුන දෙය මතකද? ත්‍රාසජනක හෝ භීතිය දනවන චිත්‍ර පටයක් නරඹන විට ඔබට දැනුනේ කුමක්ද? මෙම අවස්ථා දෙකෙදිම ඔබට ආතතිය ශාරීරිකව මෙන්ම මානසිකවද දැනුනා නේද?
දඩයම් යුගයේ ජිවත් වූ අපගේ ආදී කාලින මුතුන්මිත්තන්ගේ ජිවිත බේරා ගැනීමට ආතති ප්‍රතිචාරය වැදගත් වුනා. අවධානමකට මුහුණ දුන් විට ඉන් බේරීමට හෝ එයට විසදුමක් ලබාගැනීමට ආතති ප්‍රතිචාරය ක්‍රියාත්මක වුනා. එහිදී අඩ්රිනලින් ආදී හෝමෝන ශ්‍රාවය වීම අධික වී හර්ධ ස්ඵන්ධන වේගය ඉහල යයි. රුධිර පීඩනය ඉහල ගොස් ශරීරයට එක්වරම වැඩි ශක්තියක් ලැබේ. එමගින් ප්‍රතිවාදියා හා සටන් කිරීම හෝ ඉන් පලායාම සාර්ථක කරගැනීමට හැකිය. අතීත මිනිසා වරින් වර මුහුණ දුන් මෙවැනි අවස්ථාවන් අද අපට මුණනොගැසුනද ආතති ප්‍රතිචාරය ඇති කිරීමට සමත් සිදුවීම් සහ අභියෝග රාශියකට මුහුණ දීමට අපට සිදුවී තිබෙනවා. මේ නිසා නිරතුරුවම අප සිරුර තුල ආතති ප්‍රතිචාරය සිදුවනවා. මේ නිසා අපට විවිධ අහිතකර ප්‍රතිපල වලට මුහුණ දීමට සිදු වී තිබෙනවා.
කුඩා සිදුවීමකින් පවා යම් බලපෑමක් ඇති කරන්න ආතතියට පුළුවනි. උදාහරනයකයට ගෙන බලන්න, ඔබට යම් ඉදිරිපත්කිරීමක් කරන්නට පෙර හෝ අසීරු විභාගයකට මුහුණ දීමට තිබෙද්දී ආතතිය නිසා උදර වේදනා ඇති වීමට හැකියි. වඩා බරපතල සිද්ධියකට මුහුණ දෙන විට ඇතිවන ආතති ප්‍රතිචාරය විශාල නිසා එහිදී ශරීරයට සිදුවන හානිය වැඩිය. හර්ධාබාධ ඇතිවීම හෝ තිබෙන හර්ධාබාධ තත්ත්ව නරක අතට හරිම මේ නිසා සිදුවිය හැකිය.
කල්පවතින / නිදන්ගත ආතතිය ...
සාමාන්‍ය ජිවිතයක් ගත කිරීමට නොහැකි වන තරමට දිගු කාලයක් ආතතිය ඔබට බලපෑම් එල්ල කරනවා නම් එය වඩා භයානක තත්වයකි. ආතතිය කල් පවතින තරමට එයට ඔබගේ මනසට හා ශරීරයට එල්ල කරන බලපෑම් වැඩිය. මෙහිදී දැකගත හැකි ලක්ෂණ අතර හේතුවක් නොමැතිව නොරිස්සුම් සහගත බවක් දැනීම, හිසරදය, තෙහෙට්ටුව, අවධානය යොමු කිරීමට නොහැකි වීම ආදිය දැකිය හැකිය.
දිගු කාලින ආතතියෙන් මිදීමට සුදුසු ක්‍රමයක් වන්නේ තමන්ට ආතතිය දනවන සිදුවීමට අදාලව නරක හෝ රිනාත්මක දේවල් සිතීමෙන් වැලකීමයි. මෙවන් සිතුවිලි ආතතියෙන් පෙලෙනවිට සිතට නැගෙනවා පමණක් නොව ආතතිය පෝෂණය කරමින් තව තවත් ඔබව ආතතියට පත් කරනවා. “catastrophizing” ලෙස හදුන්වන්නේ මෙයයි. ආතතියෙන් පෙලෙන විට ඉන් මිදීමට ඇතැමුන් සීනි, තෙල් සහ පිටි අධික ආහාර වැඩිපුර අනුභව කිරීමට පෙලබෙනවා. ඇතැමුන් දුම් පානයටත් තවත් සමහරුන් මත්පැන් පානයටත් යොමුවනවා දකින්නට පුළුවනි. ආතතිය මගින් ඔබව අසනීප කරනවා මෙන්ම ඉන් මිදීමට ඔබට බාධා ඇතිකරනවා.
අපට කල හැකි දේ...
ආතතියෙන් මිදීම දිගු කාලිනව ඔබගේ සෞඛය සම්පන්න බව සහ ජිවිතයේ ගුණාත්මක බව පවත්වා ගැනීමට ඉතා වැදගත් වේ. එක්තරා අධ්‍යනයක දී සතුට, ප්‍රීතිය, සන්තෘප්තිය ආදී ධනාත්මක ප්‍රතිචාර හා හර්ධාබාධ අතර සම්බන්ධය පිලිබදව අවුරුදු දහයක් පුරා පර්යේෂණයක් පැවැත්වුවා. එහිදී ධනාත්මක ප්‍රතිචාර මගින් 22% කින් හර්ධාබාධ පහත හෙළිය හැකි බව පර්යේෂකයෝ සොයාගනු ලැබුවා. මේ නිසා දිනපතා සතුට ගෙනෙන ක්‍රියාකාරකම් වල යෙදෙන ලෙස ඔවුන් යෝජනා කොට තිබෙනවා.
ආතති කාරක/ ආතතිය ඇතිවීමට මුල්වන දේ හදුනාගැනීම...
ඔබගේ මානසික තත්වය පිලිබදව අවධානයෙන් සිටින්න. ඔබට ආතතියක් දැනුනොත් එය අත්හිවිමට හේතුව සොයා බලන්න. හැකිනම් පොතක ලියා ගන්න. ඔබට ආතතිය ඇති කරන දෙය පිලිබදව හොදින් අවබෝධකොට ගන්න. ඇතැම් විට අපට නියම ආතති කාරකය මඟහැරී වෙනත් දෙයක් වෙත චෝදනාව එල්ල වන අවස්ථා ඇතිවනවා. මේ නිසා නියම ආතති කාරකය සොයා ගත යුතුය. එය අවබෝධ කොටගත් පසු ඉන් මිදීමේ සැලසුම සකස් කොට ගත යුතුය. ඔබට ආතතිය ඇති වන්නේ ඔබගේ ඉටුකර නොගත් බලාපොරොත්තු නිසා නම්, ඔබට ඉටු කරගත හැකි බලාපොරොත්තු බවට ඒවා පත් කරගත යුතුය. එනම් ඔබගේ අපේක්ෂාව කුඩා කොටස් වලට කඩා සරල කුඩා අරමුණු රාශියක් පිලිවෙලින් ඉදිරියට යන ආකාරයට සකසා ගත යුතුය. ඔබට දැරීමට ඇති අධික වගකීම් නිසා ඔබ ආතතියට පත්වේ නම් වගකීම් බෙදාගැනීමට ඔබට කටයුතු කල හැකිය. ඔබ මුලිකත්වය දියයුතු දෙයට වැඩි අවධානයක් ලබා දිය යුතුය.
ශක්තිමත් සම්බන්ධතා පවත්වා ගැනීම ...
අනෙක් පුද්ගලයින් සමග ශක්තිමත් සම්බන්ධතා පවත්වා ගන්නා පුද්ගලයින් ආතතියට පත්වීම එසේ නොවන පුද්ගලයින් ආතතියට ලක්වීමට වඩා අඩුය. එසේම අනෙක් පුද්ගලයින් සමග පවත්වන සම්බන්ධතාම ද ආතති කාරක විය හැකිය. අප අකමැති පුද්ගලයන් හා ගනු දෙනු කිරීම ආතතියකි. අපගේ අකමැත්ත පෙන්වීමට යාම මෙන්ම බොරුවට ඔවුන්ට කැමති බව පෙන්වීමට සිදුවීම ද ආතතියකි. මේ නිසා ඔබ බුද්ධිමත් විය යුතුය. ඔබ ශක්තිමත් සම්බන්ධතා පවත්වා ගත යුත්තේ ඔබගේ පවුලේ අය, ඔබේ සමීපම මිතුරන් සහ ඔබට ඇත්තෙන්ම හිතැති නෑදෑයන් සමග ය. පාර තොටේ සිටින මිනිසුන් හා රැකියා කරන ස්ථානයේ සිටින මිනිසුන්ව අපට වෙනස් කල නොහැකිය. ඔවුන්ගේ අභන්තර අරමුණු අපට දැනගත නොහැකිය. මේ නිසා ඔවුන්ව පිනවන්නට යාම නතර කල යුතුය. සිතේ තරහක් නොමැතිව ඔවුන් හා කටයුතු කල යුතුය. ඔබ අවධානය දිය යුත්තේ ඔබගේ කටයුතු සාර්ථකව කරගැනීමටය. ශ්‍රී ලංකාව වැනි රටවල සාමාන්‍ය ජනතාව අනෙකාගේ පුද්ගලිකත්වයට ගරු කිරීම, පුද්ගල නිදහස හා සාධාරණත්වයට මුල්තැන දීමට වඩා ධනය, බලය සහ තනතුරු වලට මුලිකත්වය දීමත් තමන්ට වාසි සිදුවන දෙසට පක්ෂපාතිත්වය දැක්වීමත් නිසා අපගේ වැඩකටයුතු කර ගැනීම තරමක් අපහසු වී ඇත. නමුත් මේ සැමට වඩා හර්ධ සාක්ෂියට අනුව නිවැරදිව ජිවත් වීම වඩා වැදගත් වනවා. ඒ තුලින් ඔබට සාර්ථකත්වය කරා අමන කල හැකිය. බලය ලබා ගැනීමට අයුතු මාර්ග වල ගමන් නොගෙන අයහපත් මිනිසුන් දුරින් තබා ගැනීමෙන් ඔබට කරදර වලින් ඈත් විය හැකිය.
හොඳ ආර්ථික ශක්තියක් ලබා ගන්න..
මුදල් මගින් සතුට මිලදී ගැනීමට නොහැකි බව පැවසුව ද මුදල් වලට යම් සතුටක් ලබා දිය හැකියි නේද? ඔබට හොදින් මුදල් ඇති විට ඔබගේ සිහින සැබෑ කරගත හැකියි. ඔබට අනෙක් අයට හොදින් උදව් කල හැකියි. ඔබගේ ආදරණියයන්ට හොදින් සලකන්නට ඔබට පුළුවනි. මේ තුලින් ඔබට විශාල සතුටක් ගෙන දෙනවා නේද? ඒ නිසා හොඳ ආර්ථිකයක් ගොඩ නගා ගැනීමට උත්සහ ගන්න. මුදල් හදල් යහමින් ඇති අයට ඊර්ෂියා කරන්නට පෙලෙබෙන්න එපා.
ආතතියෙන් මිදීමට ඔබට කල හැකි අනෙකුත් දේ..
විනෝදාංශ වල යෙදෙන්න.ඔබ තරහෙන් සිටින විට තීරණ ගැනීමට මෙන්ම රණ්ඩු කිරීමට නොයන්න. වෙනත් දෙයකට අවධානය යොමු කරන්න. සංගීතයට සවන් දෙන්න. ව්‍යයාමවලයෙදෙන්න. තරහ පෝෂණය කරන ක්‍රියාවලින් මිදෙන්න. හොඳ නින්දක් ලබා ගන්න.දිනපතා එකම වෙලාවකට නිදන්නට යාමට පුරුදු වන්න. යෝග ව්‍යායාම සහ භාවනාව ජීවිතය එක් කර ගන්න.
දිගින් දිගටම ආතති තත්වය පවතී නම් සහ ඔබට එය ඉතා අසහනකාරී නම් මනෝවිද්‍යා උපදේශක වරෙයෙකු හෝ මනෝ චිකිත්සකයෙකු හමුවී උපදෙස් පතන්න.