ඔබගේ ගර්භාෂය හොදින් රැකබලා ගන්න නම්...

Yashodha Jayalath
June 13, 2021
${article.image}

කාන්තාවන්ගේ ශරීරය තුල පිහිටා තිබෙන මාලිගාව (inner  palace) ලෙස චීන ජාතිකයන් ගර්භාෂය හදුන්වන බව ඔබ දන්නවාද? අනාගත පරම්පරාව නිර්මාණය කරන්නේ සහ පෝෂණය කරන්නේ මෙම මාලිගය තුලය. මාලිගාවක් මෙන්ම එය සුවිශේෂි ස්ථානයක් නිසා එයට විශේෂ අවධානයක් සහ රැක බලා ගැනීමක් අවශ්‍ය වේ.

කාන්තාවන්ගේ ප්‍රජනන ගැටළු, ඔසප් චක්‍රයේ අක්‍රමිකතා, මඳ සරු බව, එන්ඩොමෙට්‍රියෝසිස් ආදී රෝග, ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත අසාදන බොහොමයක් ඇති වීමට බලපානු ලබන සාධකයක් ලෙස ගර්භාෂය හොදින් රැක බලා නොගැනීම හදුනාගත හැකිය.

ගර්භාෂය රැකබලා ගැනීම උදෙසා කල හැකි දේවල් කිහිපයක් ගැනයි මේ ලිපිය.

  1. Xenoestragens අඩංගු නිෂ්පාදන භාවිතයෙන් වැලකීම

මේවා මගින් ස්වභාවික ඊස්ට්‍රජන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති කරන අතර අපගේ හෝමෝන වල සමතුලිතතාවයට බධා ඇති කරයි. අධිකව ඔසප් වීම,  මනෝ භාවයේ සිදුවන වෙනස්කම් (mood swings), PMS, ෆයිබ්‍රොයිඩ් ඇති වීම ආදිය කෙරෙහි බලපායි. මෙපමණක් නොව Xenoestragens මගින් ගර්භාෂ බිත්තියේ ඇදෙන සුළු බව අඩු කරන අතර එහි ඝනකම අඩු කිරීමෙන් එහි ශක්තිමත් බව ද අඩු කොට දමයි.

 Xenoestragens අඩංගු නිෂ්පාදන අතර පහත සදහන් දෑ පවතිනවා.

  • භාවිතයෙන් පසු ඉවතලීමට සකසා ඇති බොහෝ සනීපාරක්ෂක තුවා වල අඩංගු වන ක්ලෝරීන්, සුවදකාරක, ඉටි, surfactants ආදිය අහිතකරය. මේ නිසා සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමේදී සහ භාවිතා කිරීමේ දී ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සකසා ඇති සහ පුළුවන් වලින් සකසන ලද සනීපාරක්ෂක තුවා හෝ නැවත නැවත භාවිතා කල හැකි සනීපාරක්ෂක තුවා හෝ ඔසප් බදුන් (menstrual cups) භාවිතා කිරීම වඩා සුදුසු වේ.
  • වාණිජව නිෂ්පාදන කරන මාංශ වර්ග වන කුකුල් මස් ආදියේ සහ කිරි නිෂ්පාදන වල bovine වර්ධක හෝමෝන අඩන්ගු වන අතර නිතර නිතර මෙම ආහාර පරිභෝජනය කිරීමෙන් ඉහත කි අහිතකර ප්‍රතිපල වලට අපට මුහුණ දෙන්න සිදුවන්නට පුළුවනි. ඔබ කුකුල් මස්, බිත්තර සහ කිරි පරිභෝජනය කිරීමට බලාපොරොත්තුවන්නේ නම් ස්වභාවික පරිසරයේ ජිවත්වන සතුන්ගෙන් සකස් කර ගන්නා ආහාර ලබා ගැනීමට උත්සහ ගන්න.  (කරි චිකන් නොහොත් ගම් කුකුල් මස් සහ බිත්තර සොයා ගන්න)  
  • කෘමිනාශක යෙදු එලවලු සහ පලතුරු භාවිතයෙන් දුරස් වන්න.
  • ඔබ භාවිතා කරන රුපලාවන්‍ය නිෂ්පාදන වල paraben හෝ phenoxyethanol  අඩංගු වේ දැයි සොයා බලන්න. shampoo, බොඩි ලෝෂන්, සබන්, දන්තාලේප ආදිය සියල්ල පරීකෂා කොට බලන්න. රුපලාවන්‍ය නිෂ්පාදන වල අඩංගු Xenoestragens කෙලින්ම සම හරහා ශරීරයට අවශෝෂණය වන බව පර්යේෂකයෝ පවසනවා.
  • ආහාර සැකසීමේ දී සහ පරිභෝජනයේදී හැකි තාක් ප්ලස්ටික් භාවිතා කිරීම අවම කරන්න. උණු වතුර පානය සදහා ප්ලාස්ටික් බදුන් හෝ බෝතල් භාවිතා කරන්න එපා.
  • සකසන ලද ආහාර වලින් හැකිතාක් ඈත් වන්න.

2. ශ්‍රී ලාංකික කාන්තාවන්ට මෙම කරුණ එතරම් අදාළ නොවුනද ලිංගික සහකරුවන් කිහිපදෙනෙකු ආශ්‍රය කිරීම ද ගර්භාශයේ නිරෝගී භාවයට අහිතකර වේ.

3. ඔමේගා 3 මේද අම්ල වැඩි පුර අඩංගු මාළු වර්ග නිතර ආහාරයට ගැනීම ඔබගේ ගර්භාෂයට ඉතා හිතකර වේ. prostaglandin යනු හෝමෝනයක් වැනි සංයෝගයකි. ගර්භාෂ බිත්තිය තදින් සංකෝචනය කිරීමට  prostaglandin වලට හැකියාව ඇත. එමගින් ඔසප් වීමේ දී අධික වේදනාවක් ඇතිවන අතර ගර්භාශයේ නිවැරදි පිහිටීමට බාධා ඇති කල හැකිය. සැමන්, මැකරල් ආදී මාළුවන්ගේ ඔමේගා 3 මේද අම්ල බහුලව අඩංගු වන අතර එමගින් prostaglandin ශ්‍රාවය වීම සහ එහි ක්‍රියාව අඩු කිරීමට හැකි වේ. සතියකට දෙතුන් වතාවක් ඔබගේ ආහාර වේලට මාළු එකතු කර ගන්න. ඔබ නිර්මාංශ නම් flax seed ආහාරයට එකතු කර ගන්න.

4. ව්‍යායාම කිරීමේදී උකුලට වැඩිපුර ව්‍යායාම ලබා දෙන්න. මේ සදහා ඇවිදීම, බයිසිකල් පැදීම, නර්තනයේ යෙදීම, දිවීම ආදිය සම්පුර්ණ ශරීරයට වගේම ගර්භාශයේ නිරෝගී භාවයටත් වැදගත් වනවා. උකුල් ප්‍රදේශයට හොදින් රුධිරය සංසරණය වීම මෙමගින් සිදුවේ. මිට අමතරව පිහිනිමද ගර්භාශයේ නිරෝගී බවට හිතකරය.

5. දීර්ඝ කාලයක් පුරා උපත් පාලන පෙති භාවිතා කිරීම ඔබගේ ගර්භාශයේ නිරෝගී බවට අහිතකරව බලපානවා.

6. වැඩි වෙලාවක් මුත්‍රා පහ නොකර සිටීම ඔබට අහිතකර බව ඔබ දැන සිටියාද?  මේ නිසා සිරුරෙන් බැහැර කල යුතු බහිශ්‍රාවී ද්‍රව්‍ය මුත්‍රාශය තුල එකතු වන නිසා මුත්‍රා අසාදන, යෝනි මාර්ගයේ ආසාදන හා ශ්‍රෝණිය ආශ්‍රිත අසාදන ඇතිවීමට පුළුවනි. එසේම නිතරම මෙසේ මුත්‍රාශය පිරි ඇති නිසා ගර්භාෂය මත අනවශ්‍ය පීඩනයක් ඇති වී එහි පිහිටීම වෙනස් විය හැකිය.

7. දුම් පානය කිරීම අපගේ ශරීරයට අහිතකර බව අප කවුරුත් හොදින් දන්නා කරුණකි.  දීර්ඝ කාලීනව සිගරට් දුමට නිරාවරණය වීම හෝ දුම් පානය කිරීම ගර්භාශයේ සුවදායක බව නැති කිරීමට හේතු වේ.

8. සිරුර තරබාරු වීම මෙන්ම සිරුර ඉතා සිහින් වීමද කාන්තාවන් තුල ප්‍රජනන ගැටලුවලට හේතු වේ. ප්‍රමාණවත් තරම් මේදය ශරීරයේ නොමැති විට ගර්භාෂය නියමිත ස්ථානයේ රදවා තබා ගැනීමට අපහසු වීමෙන් ගර්භාෂය පහත් වීමට පුළුවනි. මෙමගින් ඔසප් වේදනා ඇති වීමටත්, අසාදන ඇති වීමටත් හැකියාව තිබෙනවා.  එපමණක් නොවේ, ඔබගේ ඊස්ට්‍රජන් හෝමෝනයේ ඌනථාවයක් ඇති වීමටත් එය හේතුවක් විය හැකිය. මානසික සුවතාවයටත්, ක්‍රියාශිලිබවටත්, චිත්ත ඒකාග්‍රතාවයටත්, ලිංගික ආශාවන් සහ සරු භාවයටත් අනිසි බලපෑම් ඇතිවීමට එය හේතුවේ.

9. බොහෝ වේලාවක් වාඩි වී සිටීම, කායික ව්‍යායාම අඩු වීම, උකුල් ප්‍රදේශයට හොදින් රුධිරය සංසරණය වීම වළක්වාලන බව ඔබ දන්නවාද? මේ නිසා ගර්භාෂ බිත්තිය ඝනකම් වීම සහ එන්ඩෝමෙට්‍රියෝ සිස් තත්ත්වය ඇතිවීමේ හැකියාව ඉහල යාමත් සිදුවේ.   ඔබ බොහෝ වෙලාවක් වාඩි වී සිටින අයෙකු නම් පැයකට සැරයක්වත් සිටගෙන එහා මෙහා ඇවිදීමේ යෙදෙන්න.

10. රෝස වතුරෙන් ඔබේ යටි බඩ පිරි මැදීම මගින් ඔසප් වේදනාවට සහනයක් ලබාගත හැකිය. මේ සදහා රෝස වතුර බින්දු දෙකක් පමණ අත්ලට ගෙන හොදින් අත්ල අතුල්ලා උණුසුම් කොට ගෙන ඔබගේ උදරයේ ඉහල කොටසේ සිට පහලට පිරිමදින්න. මෙමගින් උදරය තරමක් උණුසුම් කල හැකිය. ඔසප් දිනවල ගර්භාෂය ඇතුලත සිසිල් වීම, වේදනාකාරී ඔසප් වීමකටත් මද සරු භාවයටත් හේතු වන බව පෙරදිග වෛද්‍ය මතය වේ. ඔසප් දින වල සහිත අහරයන්ගෙන් වැලකිමත් වැඩි වෙලා වතුරෙහි ගත නොකිරීමත් අමුවෙන් ආහාර වර්ග නොගැනීමත් යහපත් වේ.

11. ධාන්‍ය වර්ග වලින් සමන්විත උදෑසන ආහාර වේලකට යොමු වීම තුලින් බිටා කැරොටින් සහ ෆෝලික් අම්ලය ඇතුළු අනෙකුත් විටමින් සහ ඛනිජ ලවන හොදින්ම ශරීරයට අවශෝෂණය වේ. උදැසන දී මෙසේ විටමින් සහ ඛනිජ පහසුවෙන් ශරීරයට උරා ගන්නා බව පැවසේ. ඔබගේ ජීවන රටාව අනුව ඔබට අවශ්‍ය පෝෂක ඔබට හොදින් නොලැබෙන ඔබට දැනෙනවානම් ගුණාත්මක බැවින් වැඩි මල්ටි විටමින් වර්ගයක් භාවිතා කරන්න.

12. ඔබගේ ලිංගික සහකරුගේ / ස්වාමි පුරුෂයාගේ පිරිසිදු බව කෙරෙහි ද අවධානය යොමු කරන්න.

13. විටමින් සී  යනු ශරීරයේ ප්‍රතිශක්තිය ඉහල නංවන විටමිනයකි. ගර්භාශයේ ප්‍රතිශක්තිය වැඩි කර ගැනීමට ඔබට විටමින් සී භාවිතා කල හැකිය. ලෙමන්, දෙහි ආදියේ විටමින් සී බහුලව අන්තර් ගත වන නිසා උදෑසන උණුසුම් දෙහි වීදුරුවක් පානය කිරීම කදිම පිළියමකි.

14. ඔබගේ යෝනි ශ්‍රාවයන් පිලිබදව සැලකිලිමත් වන්න. ඔබට අධික ලෙස ශ්‍රාවයන් පිට වේ නම්, පිටවන් ශ්‍රාවයන් වතුර ලෙස පිටවේ නම්, චීස් වැනි ශ්‍රාවයක් පිටවේ නම්, කහ පැහැති ශ්‍රාවයක් පිටවේ නම්, දුර්ගන්ධයෙන් යුතු ශ්‍රාවයක් පිට වේ නම්, ඔබගේ ප්‍රජනන පද්ධතියේ යම් අකර්මන්‍ය තාවයක් හෝ රෝගයක් පිලිබදව අනතුරුව හැගවීමක් ලබා දේ. ඒ ගැන අවධානයෙන් සිටින්න.

ඔබ හොදින් මතක තබා ගන්න ඔබගේ ගර්භාෂය යනු ඔබ ලජ්ජා විය යුතු පව්කාර ස්ථානයක් නොවන බව.  නව ජීවයක් උපදවිමේ ස්ථානයයි. අපගේ ස්ත්‍රීත්වය ඇති කරනු ලබන ස්ථානයයි. එම සුවිශේෂී ස්ථානය හොදින් රැක බලාගත යුතුය.