ඔබ, අනෙක් පුද්ගලයාව හොද හැටි තේරුම් ගත්තා ද?

Yashodha Jayalath
November 09, 2020
${article.image}

මිනිසා යනු සමාජ සත්වයෙකි. අනෙක් පුද්ගලයින් හා සබදතා පැවැත්වීම අපගේ ජිවිතයට ඉතා වැදගත් වේ. නමුත් අපට බොහොමයක් ගැටළු වලට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙන්නේත් අප සබදතා පවත්වන පුද්ගලයින් ගෙන් නේද? මෙයට ප්‍රධානම හේතුවක් ලෙස මා දකින්නේ අප අනෙකාව නිවැරදිව වටහා නොගැනීම සහ අනෙක් පුද්ගලයාට දිය යුතු නිවැරදි ප්‍රතිචාරයන් නොදන්නා කමයි. මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොතුවන්නේ නිවැරදිව පුද්ගලයින්ව වටහා ගැනීම සහ ඔවුන් සමග නිවැරදිව, ගැටුම් වලින් තොරව සාර්ථකව ගනු දෙනු කරන්නේ කෙසේද යන්නත් පිලිබදවයි.

  • එයා නම් ටිකක් අමුතුයි නේ! - ඔබත් මේ විදිහට පුද්ගලයින්ව ලේබල් කිරීමට යොමු වන කෙනෙක් ද? ඔබගේ සිතුවිල්ල සාධාරණියකරණයට ඔබ සාධක ඉදිරිපත් කරාවි. නමුත් ඔබ සිතන පතන විදිහට සහ හැසිරෙන විදිහට වඩා වෙනස් ලෙස කටයුතු කරන කෙනෙකුව මේ ලෙසින් ලේබල් කිරීම නම් වැරදියි. පුද්ගලයෙකු අමුතු බව දැනුනොත් ඔබ ඔහු හෝ ඇය පිළබදව යම් අදහසක් ගැනීමට හෝ ඒ පිලිබදව තව අයෙකුට පැවසීමට පෙර ඒ පිලිබදව හොදින් සිතන්න. “ඇයි එයා අමුතුයි කියල මට සිතෙන්නේ?” ඔබ යමෙකුගෙන් බලාපොරොත්තුවන  හැසිරීම ඔහු/ඇය තුල නැති නිසා ද? ඔබට කියන්නට බැහැ ඔබ හැසිරෙන විදිහ තමයි නිවැරදි කියල. ඇතැම් විට ඔබගේ හැසිරීම තව අයෙකුට “අමුතු” වන්නට පුළුවනි. එම පුද්ගලයාගේ හැසිරීමෙන් කාටවත් හිරිහැරයක් නොමැති නම් එම පුද්ගලයාටද හානියක් නොමැති නම් ඔබගේ සිතුවිල්ල අත හැර දමන්න. නිකරුනේ ඔහු/ ඇය “අමුතු” පුද්ගලයෙකු ලෙස ලේබල් කිරීමෙන් වලකින්න.

 

  • ඔබගේ වැරදි විනිශ්චයන් නිසා ඔබට හොඳම මිනිසුන් මග හැරෙනවා ඇති! ඔබ හා වැඩි කතා බහක් නොමැති අයෙකු අහංකාර පුද්ගලයෙකු ලෙස හෝ වෙන කුමන ආකාරයක හෝ “නරක” පුද්ගලයෙකු ලෙස ඔබ විනිශ්චය කලාද? ඉන් පසුව ඔබ දන්නා කියන හැමෝටම අර පුද්ගලයා “නරක” කෙනෙකු බව නැතිනම් අහංකාර අයෙකු බව ඔබ පැවසුවාද?  එසේනම් ඔබ එම වරද සකස් කර ගත යුතුය. මිනිසුන් සමග “ඉතා සුහදව” කතා කරන අයෙගෙන් බොහෝ දෙනෙක් එසේ කරන්නේ ඔබගෙන් වාසි බලපොරෝතුවෙන් බව ඔබ දන්නවද? තමා ගැන යහපත් ප්‍රතිරූපයක් මවා එතුලින් ඔබගේ විශ්වාසය ගොඩ නගා ගැනීම ඔවුන්ගේ අභිලාශයයි. (හැමෝම මෙහෙම නැහැ) මෙවන් පුද්ගලයින් ඔබ නැති තැන නම් ඔබ ගැන බොහොම නරක ලෙස කතා කරන අය වෙන්න පුළුවනි. මොවුන් කෙදිනකවත් ඔබගේ දුර්වලකමක්, වරදක් ඔබට පෙන්වා දෙන අය නෙවෙයි. මොකද ඔවුන්ට අවශ්‍ය ඔබව “හොදින්” තියා ගන්න මිසක ඔබ සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට නොවේ. ඔබගේ දියුණුව ඔවුන් ප්‍රර්ථනා කරන්නේ නැහැ. වැඩි පුර කතා බහ නොකරන පුද්ගලයින් එසේ හැසිරීමට එක හේතුවක් තමයි ඔවුන් අනෙක් පුද්ගලයන් ගෙන් ස්වාධීන වීම. ඔවුන්ට ඔබව හොදින් තියා ගෙන ඔබගෙන් වාසි ගැනීමේ වුවමනාවක් නැහැ. අවශ්‍යතාවයක් ඇති වුනොත් ඔවුන් උදව් ඉල්ලාවී නැතිනම් තනිවම ඔවුන්ගේ කාර්යය සිදු කර ගනීවි. ඔබ උදව් කළහොත් ඔබ සමග මිතුරු වී ඉන් පසුව ඔබ හා දිගටම කතා කරාවි. ඔබට යම් පුද්ගලයෙකු හා මිතුරු වීමට හෝ කතා බහ කිරීමට අවශ්‍යනම් පළමුව ඔබ කතා කරන්න. ඔබට එසේ අවශ්‍යතාවයක් නොමැති නම් පාඩුවේ සිටින්න. ඔබ මිතුරු වීමට කැමති කෙනා පළමුව ඔබට කතා නොකළ බැවින් ඔබට ඔහු/ ඇය “නරක” කෙනෙකු ලෙස ලේබල් කරන්නට අයිතියක් නැත. ඇය හෝ ඔහු කතා බහේ යෙදීමට කැමති අය සමග ඔවුන් කතා කරාවි. ඔවුන්ට අකමැති අය හෝ අවශ්‍යතාවක් නොමැති අය සමග කතා නොකර සිටීවි. මේ ලෝකයේ සිටින කාටවත් සියලුම දෙනා කැමති කර ගත නොහැකි  බව ඔබ වටහා ගන්න.  ආඩම්බරකාර අහංකාර මිනිසුන් මේ අතර ඉන්න පුළුවනි. ඒ ඔවුන්ගේ ස්වභාවය. එය සමග සිතෙන් ගැටීම් ඇති කර ගන්න එපා. ඔවුන් සමග කතා කිරීමට ඔබට අවශ්‍යතාවයක් නැහැනේ, නමුත් එසේ කියා ඔවුන්ට බලහත්කාරයෙන් අකමැත්ත පෙන්වීමට යයි සිතා කරදර කරන්න යන්න එපා. එමගින් ඔබගේ තත්වය පහල වැටේ. 

​​​​​​​

  • අපට අකමැති මිනිසුන් මේ ලෝකයේ සිටින බව තේරුම් ගන්න. ඇතැම් විට එයට හේතුව අප විසින් ඔවුන්ට කල වරදක් වෙන්න පුළුවනි. ඔබ වරදක් කර ඇත්නම් එයට සමාව ගන්න. ඔහු හෝ ඇය සමාව දීම නොදීම ඔවුන්ගේ වැඩකි. අප වරදක් කලා නම් සමාව ගැනීම  අපගේ ගුණාත්මක බවයි. අකමැති මිනිසුන් සමග ගැටෙන්නට යන්න එපා. ඔවුන් ඔබට කරදර හිරිහැර කරයි නම් ඔවුන් කරන දෙයට ඔබ අකමැති බව ඔවුන්ට පවසන්න. ඔබට දිගින් දිගට හිරිහැර කරනවානම් ඔවුන් ව මග හරින්න. ඔවුන් සමග ගනු දෙනු ඇති කර  ගන්න එපා. ඔබ වරදක් නොකර ද ඇතැම් මිනිසුන් ඔබට අකමැති වන්නට පුළුවනි. ඊර්ෂ්‍යයව හෝ වැරදි වැටහීමක් හෝ කුමක් හෝ හේතුවක් තිබිය හැකිය. ඔබගේ හිතේ මේ නිසා ඇතිවන අසහනය දුරු කර ගැනීමට අදාල පුද්ගලයා සම්බන්ධයෙන් නරක ප්‍රකාශ කිරීමෙන් වලකින්න. මෙමගින් ගැටළු නිරාකරණය වනවා වෙනුවට ගැටළු තවත් සංකීර්ණ වේ.

 

  • මානසික තත්ව ගැන අවබෝධයෙන් සිටින්න. ඕනෑම පුද්ගලයෙකුට ඔහුගේ හෝ ඇයගේ හැසිරීමට තුඩු දෙන හේතුවක් තිබේ. ඔබට එය තේරුම් ගැනීමට නම් හොඳ අවබෝධයක් තිබිය යුතුය. මේ අවබෝධය ලැබීමට නම් ඔබ අත්දැකීම්වලින් සහ දැනුමෙන් පෝෂණය විය යුතුමයි. එසේ නොමැතිව ඔබේ සිතට නැගෙන සියලුම අදහස් ප්‍රකාශයට පත් කොට අදාල පුද්ගලයා අපකිරිතියට පත් නොකළ යුතුය. මෙමගින් පසු කාලීනව ඔබ අපකීර්තියට පත් වන්නට පුළුවනි. සෑම විටම අනෙත් පුද්ගලයාගේ පැත්තෙන් ඔහු එසේ හැසිරීම සාධාරණ වන කරුණක් ගැන සිතන්න. අප මිනිසුන් විනිශ්චය කරන විට ඔවුන්ට මෛත්‍රී කිරීමට සහ ආදරය කිරීමට අපට ඇති අවස්ථාව අහිමි වන බව තෙරේසා මව් තුමිය ප්‍රකාශ කොට ඇත. මෙම ලෝකයට අවශ්‍යවන්නේ විවේචනය සහ අඩ දබර නොව ආදරය සහ මෛත්‍රි යයි.

​​​​​​​

  • වෙනස් කම් වලට ගරු කරන්නට ඉගෙන ගන්න. සමාජ සම්බන්ධතා ගැන කතා කරන විට වෙනස් කම් වලට ගරු කිරීමේ ගුණය ඉතා වැදගත් වේ. අපගේ රට සිංහල - බෞද්ධ සන්කෘතියෙන් පෝෂණය වූ රටක් වුවද වෙනත් ආගම් අදහන වෙනත් ජාතිකයින් ද සිටිනවා. මෙම වෙනස් කම් විවේචනය කරන්නට යාම යහපත් දෙයක් නොවෙයි. එකිනෙකාගේ සංස්කෘතීක වටිනාකම් අගය කල යුතුය. ආහාර පාන බෙදා ගැනීම, උත්සව වලට සහභාගි වීම ආදියෙන් ජාතින් අතර එක මුතු කම ගොඩ නැගේ. විවිධත්වය වැඩි වන තරමට අපුරත්වයද වැඩි වේ. මිනිසුන් අතර ඇති වෙනස් කම් නිසයි ලෝකය ලස්සන වන්නේ. ජාතින් අතර පමණක් නොවේ එකම ජාතියේ එකම ආගමේ වුවද විවිධ පළාත් වල, පවුල් පසුබිම් වල ජිවත්වන පුද්ගලයන්ගේ ගතිගුණ, හුරු පුරුදු  විවිධ වේ. මෙම විවිධත්වය රස විදින්න පුරුදු වන්න. බලන්න අපේ රටට එන සංචාරකයෝ දිහා. එයාල මේ රටට ඇවිත් අප රටේ  ඇදුම් ඇදගෙන අපගේ සංගීතය අසාගෙන අපගේ ආහාර පාන බුක්තිවිදිමින් කරන්නේ කුමක්ද? විවිධත්වය රස විදීමයි. සුපුරුදු දෙයට වඩා වෙනස් දෙයක අත්දැකීම ලබන්න නම් වෙනස් ජාතින් වෙනස් පවුල් පසු බිම්වල විවිධ ප්‍රදේශ වල පුද්ගලයින් ඇසුරු කරන්න අවශ්‍යයි.  මිනිසුන් ගැන අනෙකුන් කියන කතා නොව ඔබම ඉගෙන ගන්න!

​​​​​​​

  • අනෙක් අයගේ ඇස් වලින් ලෝකය දෙස බලන්න එපා! ඔබ මොහොතකට කල්පනා කොට බලන්න, ඔබ ඔබගේ ජිවිතයේ එක දවසක හරි තමන්ට කිසිම වරදක් නොකළ අයෙක් තව කෙනෙකුගේ කීම මත වැරදි කාරයෙකු ලෙස හෝ “නරක” අයෙකු ලෙස  හදුනාගෙන තිබෙනවද? අප සිදු කරන බරපතලම වරද වන්නේ මෙයයි. ඇතැම් පුද්ගලයින් තවත් පුද්ගලයෙකුට වරදක් කොට ඉන් නිදහස් වීමට අනෙක් පුද්ගලයා මත වරද පටවනවා. එසේම තව පුදගලයින් විවිධ හේතු නිසා මිනිසුන් ගැන අසත්‍ය ප්‍රකාශ සිදු කරනවා. සමහර විට ඇත්තටම එකී පුද්ගලයාගේ වරදක් කර තිබෙන්නටත් පුළුවනි. නමුත් වැරදි කරන්නේ ඔවුන් විතරද? මිනිසුන් ලෙස අප සියලුම දෙන ගෙන් වැරදි සිදු වනවා. එසේ නම් අප සියලුම දෙනා කාගේ හෝ ඇසින් “නරක” අයෙකු වන්නට පුළුවනි. මේ නිසා තමන්ට වරදක් නොකළ පුද්ගලයින්ව වැරදි කාරයෙක් කරන්නට පෙර සිතා බලන්න. තමන්ට වරදක් කල අයෙක් නම් ඔහු හෝ ඇය සමග එය කතා කොට විසදා ගන්න. ඊට අකමැතිනම් හිතින් සමව දී පාඩුවේ සිටින්න. මෙමගින් ගැටුම් ඇති වීම වැලක්වා ගන්න පුළුවනි.

​​​​​​​

  • අප සියලු දෙනා තුල දුර්වලකම් ඇති බව සිහි තබා ගන්න. මා දැක තිබෙනවා ඇතැම් පුද්ගලයින් සමාජයේ කැපී පෙනීමට ඔවුන් “ඉතා හොඳ” අගනා පුද්ගලයින් බව පෙන්වීමට අනෙක් පුද්ගලයින්ගේ සුලු දුර්වලකම්, නොහැකියාවන්, අතපසුවීම් අනවශ්‍යලෙස හුවා දක්වන ආකාරය. ඔබ මෙවන් දේ කරනවානම් ඔබ, ඔබ ගැන සිතා සිටින තරම් “අගනා” පුද්ගලයෙකු නොවෙයි. ඔබ ඉදිරියේ යම් අයෙකු තව කෙනෙකුගේ අඩු පාඩුවක් හුවා දක්වමින් තමන් හොඳ වීමට උත්සහ ගනියි නම් ඔබ මේ සත්‍ය වටහා ගත යුතුය. අප සියලු දෙනාගේ අඩුපාඩු ඇත. අංගසම්පුර්ණ පෘතක්ජන මිනිසුන් නැත. අඩුපාඩු කම් ඇතිනම් ඒවා හොඳ සිතින් කෙනෙකුට වේදනාවක්  ඇති නොවන පරිදි පෙන්වා දීම හොඳය. එසේ නොමැති නම් ඔබ පාඩුවේ සිටින්න. අනෙක් පුද්ගලයින් ගේ අඩුපාඩු කම් හුවා දක්වමින් තමන් හොඳ වන්න යන අයටත් සිත නොරිදෙන සේ මෙය පහදා දිය හැකිනම් ඉතා හොඳය. දුර්වලකම් නැතිකර ගැනීමට එකිනෙකට උදව්කර ගැනීම යහපත් දෙයකි.

​​​​​​​

  • අපගේ සතුරා තව අයෙකුගේ කල්‍යාණ මිතුරා විය හැකිය. යමෙකුට අප අකමැති හෝ අපට වරදක් කල හෝ යන හේතුව මත අප එම පුද්ගලයා නරක අයෙකු ලෙස ලේබල් කිරීම නිවැරදි නොවෙයි. මොකද අපට නරක විදිහට සැලකුවත් ඔවුන් තව අයෙකුට ඉතාම හොදින් සලකන අයෙකු විය හැකිය. අපට හතුරුකම් කරන්නා දෙමව්පියන්ට ඉතා හොඳ කීකරු දරුවෙක් විය හැකිය, යහපත් සහෝදරයෙක් විය හැකිය, ආදරණිය ස්වාමියෙක්, බිරිදක් හෝ දෙමුපියෙක් විය හැකිය. වෙන අයට හොඳ මිතුරෙක් විය හැකිය. මේ හ්තුව නිසාම ඇතැම් විට ඔබට ඔබගේ සතුරා කෙරෙහි තරහ වැඩි වන්නට පුළුවනි. එසේ කියා ඔබ අනෙක් පුද්ගලයින්ව ඔහු/ඇය කෙරෙහි බිදවන්නට තැත් කරනවානම් එය ඉතාම නරක වැඩකි. මෙය තේරුම් ගන්න. එම පුද්ගලයා අපට අකමැති වීම එම පුද්ගලයාගේ වැඩකි. අපට ඉන් වැඩක් නැත්තේ මේ ලෝකයේ සිටින සියලුම දෙනා අපට කැමති විය යුතු නැති බව අප දන්නා නිසයි. වැරදි නොකර සිටිය යුත්තේ අපයි. උදාර ලෙස ජිවත් විය හැක්කේ එවිටය. 

 

  • මිනිසුන් ගේ රුචි අරුචි කම් වටහා ගන්න. පුද්ගල සබදතා සාර්ථක වීම කෙරෙහි වැදගත් වන ප්‍රධාන කාරණාවක් තමයි මිනිසුන්ගේ රුචි අරුචිකම් වටහා ගැනීම. ඒ ඒ පුද්ගලයා හා ගනු දෙනු කිරීමේදී ඔවුන් අකමැති දේවල් නිතර නිතර සිදු නොකිරීම ඉතා වැදගත් වේ. ඔබට එය කිරීමට අවශ්‍යම නම් අදාල පුද්ගලයා නැති තැනක හෝ ඔහුට හිරිහැරයක් නොවන ලෙස හා එය කරන්නට සිදු වීම පිලිබදව කණගාටුව ප්‍රකාශ කොට එය කරන්න පුරුදු වන්න. එසේම පුද්ගලයින් මිතුරු කර ගැනීමට ඔවුන් අශා කරන්නේ කුමකටද යන්න දැන සිටීමෙන් වාසි අත්වන්නේ ඔබටම වේ. ඔබ කරන යම් දෙයක් නිසා  යම් පුද්ගලයෙකුට හිරිහැරයක් වන්නේ නම්, ඒ නිසා ඔහු /ඇය එයට  අකමැතිනම් සහ ඔහු ඔබට හිරිහැරයක් නොවන ලෙස එය පවසා සිටි නම් ඔහුගේ/ ඇයගේ අකමැත්ත වටහා ගන්න. එම අකමැති වැඩය කිරීමට හෝ එය ඉවසා සිටීමට ඔහුට/ඇයට බල නොකරන්න, මා දැක තිබෙනවා ඇතැම් පුද්ගලයන් තමන් ඇසුරු කරන කණ්ඩායමේ සිටින යම් පුද්ගලයෙකු අනෙක් අය කරන යම් දෙයකට අකමැති වුවහොත් එම පුද්ගලයාව කන්ඩායාමෙන් කොන් කිරීමක්. මෙය ඉතාම නුගත් ප්‍රතිචාරයකි. අප කරන දෙයට යම් අයෙකු අකමැති නම් ඔහුව කොන් කිරීමට හෝ එම දේ කිරීමට බල කිරීම ඉතා අයහපත් දෙයකි. ඔබ කැමත්තෙන් කරන දෙයකට වෙන අයෙකු විරුද්ධවනවා නම් ඒ මන්දැයි කියා කරුණු සොයා බලන්න. ඔබ කරන දෙය තව කෙනෙකුට හිරිහැරයක් නම් ඔබ ඊට පිලියමක් යෙදිය යුතුය.  ඔබට එය සිදු කරන්නට එපා කියා ඔබට ඔහු හිරිහැර කරනවානම් ඔබ හොදින් ඔහුට/ඇයට පවසන්න ඔබට හිරිහැර කිරීම නවත්වන ලෙසට. ඔබට හිරහැර කිරීම නොනවත්වනවා නම් ඔබ එම පුද්ගලයාගෙන් දුරස් වන්න. එකට එක කිරිම නොකළ යුතුය. වඩා වැදගත් වන්නේ ඔබ අනුන්ට හිරිහැර නොවන ලෙස ජිවත් වීමයි.