පෝෂණීය ආහාර රටාවක් ගොඩ නගා ගැනීමට අපට තවමත් අපහසු වී ඇත්තේ ඇයි?

Yashodha Jayalath
April 14, 2020
${article.image}

පෝෂණීය ආහාර රටාවක් ගොඩ නගා ගැනීමට අපට තවමත් අපහසු වී ඇත්තේ ඇයි?

අපි හැමෝම කැමතියි සෞඛ්‍ය සම්පන්නව ජිවත් වෙන්න. නිරෝගී ජිවිතයක් පවත්වා ගැනීම කෙරෙහි මූලිකවම බලපාන දෙයක් තමයි පෝෂණීය ආහාර. අද කාලයේ ආහාර ගැනත් එහි පෝෂණය ගැනත් මෙන්ම විවිධ ලෙඩ රෝග ගැනත් බොහෝ තොරතුරු අපට ලේසියෙන්ම ලැබෙනවා. අප ඒ පිලිබදව දැනුවත්! නමුත් අපගේ ආහාර රටාව හෝ ශාරීරික ව්‍යායාම රටාව අපි දැන් වෙනස් කරගෙන තියනවද? බොහෝ දෙනෙකුගේ පිළිතුර වන්නේ නැත යන්නයි. එහෙම නැත්නම් අපි ආහාර රටාව පොඩ්ඩක් වෙනස් කර ගන්න හිතලා ටික දවසක් වෙනස් කර ගන්නවා. නමුත් අපිට දිගටම ඒක පවත්වා ගෙන යන්න බැහැ. මෙහෙම වෙන්නේ ඇයි යන්න සහ ඒ සදහා අපට කල හැකි දේ කුමක් ද යන්න පිලිබදව කල විමසුමකි මෙහි ඉදිරිපත් කරන්නේ.

  • කාලයත් සමග පුරුදු වුනු ආහාර පුරුදු වෙනස් කිරීමට ඇති අකමැත්ත.

ආසියාතික රටක් වන අපි බොහෝ දෙනෙක් තුන් වේලටම බත් කෑමට පුරුදු වී සිටිනවා. එදා මිනිසුන් ලොකු බත් පිගානක් අනුභව කොට ශරීරය වෙහෙසවා වැඩ කරනු ලැබුවා. අද මිනිසුන් ශරීරය එතරම් වෙහෙසවන්නේ නැහැ. නමුත් බත් ගොඩක් කෑමට ගන්නවා. ලොකු බත් පිගානක් කෑවේ නැතිනම් කාපුබව දැනෙන්නේ නැහැ. නමුත් අපි එදාට වඩා මොලය වෙහෙසා වැඩ කරන උදවියයි. රෑ වන තුරු කාර්යාලයේ සිට නිවසට පැමිණෙන මහත්වරුන් රසවත් අහාර වේලක් බලාපොරොත්තුවෙන් තමයි පැමිණෙන්නේ. ඉතින් රැට හිගන්නෙක් වගේ කන්න ඕන කියල කිව්වට එක කරන එක තරමක් දුෂ්කර වෙලා තියනව අද කාලයේ ජිවන රටාවත් එක්ක. උදේට රජෙක් වගේ අහාර ගන්න කි දෙනෙකුට පුලුවන් ද? වෙලාවට රාජකාරි ස්ථානයට යා ගන්න තමයි හැමෝම උත්සහ ගන්නේ. හොඳ සමබල අහාර වේලක් උයා ගන්න වෙලාවක් නැහැ උදේට. බොහෝ දෙනෙක් ව්‍යංජන දෙකක් වගේ තමයි සකසා ගන්නේ. කාලයක් පුරා අප මේ ක්‍රමයට දැන් අනුගත වෙලා. අනික ආහාර වල රසයට තමයි මුල් තැන ලැබෙන්නේ. ගුණය පිලිබදව සැළකිල්ලක් නැහැ.

 

  • පවුලේ සාමාජිකයින්ගෙන් සහ ඇසුරු කරන්නන්ගේ සහයෝගය නොමැති වීම

අප විසින් ආහාර රටාව වෙනස් කරන්න ඕන කියල සිතුවත් අපගේ පවුලේ අයගෙන් ඒ සදහා සහයෝගය ලබා ගැනීම හරිම දුෂ්කරයි නේද? එයාල පුරුදු රසය වෙනස් කර ගන්න කැමති නැහැ නේද? අපි බාගෙට තැම්බු එළවලු කමු කිව්වොත් කී දෙනෙක් මුණ ඇඹුල් කර ගන්නවද? තෙල් දමා පිසූ කිසිවක් නොමැති නම් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන සාමාජිකයින් පවුලේ ඉන්නවා නේද? එසේම ඇතැම් විට කාර්යාලයේදී ඔබගේ ආහාර වේලට සිනා සෙන අයත් ඉන්නවා... සෝබන වැඩ කරනවා කියල... ඉන්න ටිකේ හොදින් කල බීලා ඉන්න ඕනේ කියල තමයි එයාල කියන්නේ. පුංචි දරුවන් සිටින විටදී දෙමව්පියන්ට මුහුණ දෙන්න සිදුවන ගැටලුව තමයි වෙළද දැන්වීම් වල පෙන්වන ආහාර ඉල්ලා දරුවන් කරදර කිරීම. පැණි රස සහ ලුණු රස අධික මෙම අහාර වලට දරුවන් පුරුදු වූ පසු ඔවුන් සාමන්‍ය ආහාර ප්‍රතික්ෂේප කරනවා.

  • අවශ්‍ය තරමින් කාලය නොමැති වීම.

විවිධත්වයකින් යුතුව ආහාර සැකසීමට කාලය අවශ්‍ය කරනවා. ශාකමය හෝ සත්වමය ප්‍රෝටීන්, අල, බතල, ධාන්‍ය, මැල්ලුම් සහ පළා වර්ග, පලතුරු, කිරි අහාර ආදී මේ සියල්ලම අඩංගු වන ලෙසට අහාර වේලක් ඉක්මනින් දිනපතා සකසා ගැනීම අපහසු කටයුත්තක්. අහාර රටාව වෙනස් කරනට නම් දිනපතා හෝ වැඩි වශයෙන් සෞඛ්‍ය සම්පන්න අහාර ලබාගන්නට ඕන.

 

  • ආහාර සකස් කිරීමේ වෙනස් ක්‍රම වලට පුරුදු වීමට අපහසු බව. මෙයත් කාලයක් සමග පුරුදු වුනු ආහාර රසය වෙනස් කිරීමට ඇති අකමැත්ත සමග බැදී පවතිනවා. ගැබුරු තෙලෙන් බදින ලද ආහාර වලට වඩා බේක් කරන ලද ආහාර හොඳ නමුත් අපි එළවලු සහ මස් මාළු වර්ග බේක් කර ගැනීම අඩුයි නේද? එසේම බේක් කිරීමට විදුලිය සහ කාලය වැය වන නිසා අපි එතරම් ඒ සදහා යොමු වන්නේ නැහැ. එළවලු ආදිය සලාද ලෙස සකසා ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායක මෙන්ම ඒවා රසවත් ලෙස සකසා ගත හැකිද වේ. නමුත් රැකියාවට යන අපට සලාද සකසා ගෙන බත් පාර්සලයට ඔතා ගෙන යා නොහැකිය. නිවසේ සිටිනා විට දී නම් සලාද ආහාරයට ගත හැකිය.

 

  • ගුණාත්මක ආහාර වල දුලබතාවය

පෝෂණ ගුණයෙන් අධික ඇතැම් ආහාර දුර්ලබයි. සොයා ගැනීම දුෂ්කරයි. පලතුරු වර්ග බොහොමයක් වස විස මිශ්‍රව පවතිනවා. නිර්මාංශ අහාර ලබා ගන්නන් හට වෙනත් රටවල් වල බොහෝ ආදේශක අහාර පවතිනවා. නමුත් අප රටේ එවන් අහාර අඩුයි. ආපනශාලා වල ගුණාත්මක ආහාර අඩුයි. සෝස් වර්ග, අජිනමොටෝ, ලුණු, තෙල් සහ මිරිස් අධික ආහාර තමයි හෝටල් සහ අවන්හල් වල තිබෙන්නේ. මේ නිසා කාර්ය බහුල දිනවලදී පිටින් අහාර ගැනීමත් ගැටළුවක් වෙලා.

 

  • ආහාර වල මිල

ආහාර වල මිල පෝෂණීය සම බල ආහාර වේලක් ලබා ගැනීමට අතිශයින්ම බලපනවා. ඇතැම් එළවලු සහ පලතුරු මෙන්ම කිරි අහාර මිලෙන් අධික ය. එසේම විවිධ ගුණාත්මක අහාර නිෂ්පාදන වෙළද පොලේ පැවතියද ඒවගේ ද මිල සාමාන්‍ය පුද්ගලයෙකුට දැරීමට අපහසු බවක් දකින්නට තිබෙනවා. පෝෂණවේදීන් පවසන පරිදි අප පිෂ්ටය අඩංගු ආහාර අඩු ප්‍රමාණයකුත් කෙදි සහිත සහ විටමින්, ඛනිජ ලවන වැඩිපුර අඩන්ගු වන එළවලු වැඩි පුර ආහාරයට එකතු කර ගත යුතුය. ඒ අනුව එක පුද්ගලයකු යම් එළවලු කෝප්පයක් ආහාරයට ගනී නම් නිවසක පුද්ගලයන් 5ස් දෙනෙකු සිටිනම් එළවලු විශාල ප්‍රමාණයක් අවශ්‍ය වනවා. එළවලු සහ පලතුරු කල්තබා ගත හැකි ආහාර නොවේ. මේ නිසා එක් වරම විශාල එළවලු ප්‍රමාණයක් මිලදී ගත නොහැකිය. එළවලු වලට ස්ථිර මිලක් නොමැති හෙයින් ඇතැම් දින වල මිල සැහෙන්න ඉහල යනවා. මෙයත් සමහරවිට දී ගුණාත්මක ආහාර රටාවකට මාරු වීමේදී ගැටළුවක් වනවා.

මෙම ගැටළු සියල්ලටම අපට පිළිතුරු සොයන්නට බැහැ, නමුත් අපට කල හැකි යම් යම් දේවල් තිබෙනවා. ඒ පිලිබදව අපි වෙනම ලිපියකින් සොයා බලමු.