බීට් රූට්

Yashodha Jayalath
May 31, 2020
${article.image}

බීට් වගාවක් වශයෙන් වගා කිරීම ආරම්භ කරන ලද්දේ රෝමානුවන් විසිනි. බීට් මගින් සිනි නිපදවිය හැකි බව සොයා ගැනීමත් සමග 19 වන සියවසේදී බීට් වලට ඉහල පිළිගැනීමක් ලැබුනා. ලෝකය පුරා විවිධ ආහාර වට්ටෝරු වල බීට් වලට හොඳ තැනක් ලැබී තිබෙනවා. ශ්‍රී ලංකික අප බීට් ආහාරයට ගන්නේ ව්‍යංජනයක් ලෙසිනි. නමුත් නැගෙනහිර, බටහිර සහ මධ්‍යම යුරෝපිය රටවල් වල සුප් වර්ග ලෙස, සලාද වර්ග ලෙස, අතුරුපසක් ලෙස සහ බොහෝ ක්‍රීඩකයින් පෝෂණීය පානයක් යක් ලෙස බීට් ප්‍රයෝජනයට ගන්නවා.

නිවිති අයත් වන කුලයටම අයත් බීට් වල අලය මෙන්ම කොලද ආහාරයට ගනියි. බීට් කොලයේ පැණි රැසක් නොමැති වුවත් එහි අලයේ පැණි රසක් ඇත. එනිසා එය අමුවෙන් ආහාරයට ගැනීමටද හැකිය.රතු පැහැයට හුරු දම් පැහැයක් ගන්නා බීට් පොශ්‍යපදර්ථ වලින් සපිරි එළවළුවකි. කැල්සියම්, යකඩ, මැන්ගනීස්, පොටෑසියම්, විටමින් A  සහ විටමින් C බහුලව එහි අඩංගු වේ.  එසේම ළදරුවන්ගේ මොලය වර්ධනය සහ ගැබිණි මව්වරුන් සදහා වැදගත් වන ෆොලික් අම්ලය අඩංගු වන හොඳ ප්‍රභවයකි.  බීට් කොළ පිසින විට ප්‍රමාණය ඉක්මවා පිස නොගත යුතුය.


අමු බීට් ග්රෑම් 100 කින් පහත පෝෂණය ලබා දෙයි.

  • කිලෝකැලරි 36
  • ප්‍රෝටීන් ග්‍රෑම් 1.7  
  • මේදය ග්‍රෑම් 0.1
  • කබෝහයිඩ්රේට් ග්රෑම් 7.6
  • තන්තු ග්රෑම් 2.5


බීට් වල දීප්තිමත් වර්ණය ගෙන දෙන්නේ එහි අඩංගු වන බිටාලෙයින්ස් නම් වර්ණකය මගිනි.  බීට් වල සෞඛ්‍ය ප්‍රතිලාබ බොහොමයක් ලැබෙන්නේ එහි ඇති බිටාලෙයින්ස් මගිනි. සුදු රුධිරානු ප්‍රමාණය ඉහල නැංවීම කෙරෙහි බීට් වල අඩංගු තන්තුවලට හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. ප්‍රති ඔක්සිකාරක බහුලවම අඩංගු වන එළවලු අතර බීට් ඉදිරියෙන් සිටියි.  එසේම ඇමයිනෝ අම්ලයක් වන ග්ලුටමින් වැඩිපුර අන්තර් ගත වන ආහාරයකි. බීට් රූට් යුෂ පානය කිරීමෙන් රුධිර පීඩනය පහල යන බව සනාථ කෙරුණු පර්යේෂණ ඇත.  පර්යේෂකයින් සදහන් කරන පරිදි දිනකට බීට් යුෂ අවුන්ස 8ක් දිනපතා පානය කල පුද්ගලයින්ගේ රුධිර පිඩනය අඩු වී ඇත. බීට් වල අඩංගු වන නයිට්‍රේට සංයෝග රුධිරය තුලදී නයිට්‍රික් අම්ලය බවට පත්වන අතර එමගින් රුධිර නාල පුළුල් වී සැහැල්ලු වීම එයට හේතුව බවයි සදහන් වන්නේ.

2012 දී පලපුරුදු බයිසිකල්කරුවන් පිරිසක් යොදා ගෙන  සිදු කරන ලද කුඩා අධ්‍යනයකට අනුව බීට් යුෂ පානය කිරීමෙන් රුධිරයේ ප්ලසමා නයිට්රේට් ප්‍රමාණය ඉහල යන බවත් එමගින් ශරීරයට ශක්තිය ලැබන බව සොයා ගෙන ඇත. 2015 දී සිදු කොට ඇති අධ්‍යනයකින් කියා සිටියේ බීට් යුෂ පානය කොට පැය දෙකක් ගතවූ පසු හර්ධය දුර්වල පුද්ගලයන් ගේ  ශරීර ශක්තිය 13% කින් ඉහල ගිය බවය.  එයටද හේතුව ලෙස ඔවුන් ඉදිරිපත් කලේ බීට් වල නයිට්‍රේට් අඩංගු වීමයි.

2011 දී සිදු කරන ලද පර්යේෂණයකින් අමතක වීමේ රෝගය වර්ධනය වීම පමා කිරීමට බීට් වලට හැකි බවට තොරතුරු ඉදිරිපත් කරනු ලැබුවා. වයස් ගත පුද්ගලයන්ගේ මොලයට වැඩි රුධිර ප්‍රමාණයක් ගෙන යාමට බීට් වල අඩංගු වන නයිට්‍රේට් වලට හැකි වීම නිසා ප්‍රජානන හැකියාවන් (cognitive skills) අඩු වීම පමා වීම එයට හේතුව බව ඔවුන් සදහන් කළා. මෙම අධ්‍යයනයේ දී සහභාගි වුවන්ට නයිට්‍රේට් වැඩිපුර අඩංගු වන ආහාර වේලක් (බීට් යුෂ පානය සමග)ලබා දී  ඔවුන්ගේ මොලයේ MRI පරීක්ෂණ සිදු කොට තිබෙනවා. එහිදී මොලයේ ඉදිරිපස කොටස් වලට (frontal lobes) රුධිරය ගල ඒම වේගවත් වූ බව ඔවුන් නිරීක්ෂණය කොට තිබෙනවා. මොලයේ ඉදිරිපස කොටස් (frontal lobes) ප්‍රජානන ක්‍රියාකාරකම් (cognitive skills) සහ චර්යාව සමග ඍජුව සම්බන්ධ වේ.  නමුත් මෙය සනාථ කිරීමට තව තවත් පර්යේෂණ සිදු කිරීම අවශ්‍ය වේ.

බීට් වල වර්ණය ලබාදෙන වර්ණකය ගැන පෙරදී ද සදහන් කළා ඔබට මතක ඇති. බිටාලෙයින් යනු ජලයේ දියවන ප්‍රති ඔක්සිකාරකයකි. පිලිකා සෛල වලට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් එය සතුව ඇති බව පැවසේ.  

අක්මාවේ මේදය තැන්පත් වීම පිලිබදව ඔබ අසා ඇති.  පෝෂණයෙන් අඩු මේදය අධික අහාර ගැනීම,  ව්‍යායාම නොමැති ජිවන රටාව,  අධික ලෙස මත්පැන් භාවිතය ආදිය අක්මාවේ මේදය තැන්පත් වීමට ඉවහල් වේ. බිට්‍ රූට් වල අඩංගු බිටෙයින් (betain) නම් සංයෝගය අක්මාවේ මේදය තැන්පත්වීම අඩු කරයි හෝ වලක්වයි. එපමණක් නොව බිටෙයින් විෂ සහිත සංයෝගවලින් අක්මාව ආරක්ෂා කරයි.

කොලෙස්ටෙරෝල් අඩු කරීමට සහ ට්‍රයි ග්ලිසරයිඩ ප්‍රමාණය අඩු කිරීමට හැකි බව 2011 දී මියන් යොදා කරන ලද පර්යේෂණයකින් සොයා ගෙන ඇත.  එයට හේතුව ලෙස ඔවුන් ඉදිරිපත් කලේ බීට් වල අඩංගු වන ෆ්ලෙවනොයිඩ් සංයෝගයි.

බීට් රූට් වලින් රුධිර පීඩනය පහල හෙලන් බැවින් ඔබගේ රුධිර පීඩනය අඩු අගයක් ඇති කෙනෙක් නම් වැඩි පුර  බීට් පානය සුදුසු නොවේ. එනිසා නිතරම රුධිර පීඩනය පිලිබදව සැලකිල්ලෙන් සිටින්න.

ඔබගේ වකුගඩු වල ගල් ඇත්නම්, බීට් වල ඔක්සලේට්  අඩංගු වන නිසා බීට් පානය සුදුසු නොවේ.

මොන ආකාරයෙන් ආහාරයට ගත්තද බීට් යනු ගුණදායක ආහාරයකි. නමුත් පිසීමේදී එහි පෝෂණය අඩු වීමක් සිදුවන නිසා බීට් යුෂ පානයක් ලෙස ලබා ගැනීම වඩාත් හිතකරය. බීට් පානයේ රසය වැඩි කර ගැනීම උදෙසා එයට ඇපල් පෙත්තක් හෝ මිංචි කොලයක් හෝ දෙහි හෝ ලෙමන් බින්දු කිහිපයක් හෝ කුඩා කැරට් කැබලි කිහිපයක් එකතු කර ගන්න.

මෙහි සදහන් වන්නේ බීට් සතු පෝෂණ ගුණයයි. රෝගයකට ප්‍රතිකාරයක් ලෙස බීට් භාවිත කිරීමට මෙයින් උපදෙස් නොදෙන අතර එදිනෙදා අහාර වේලට එකතු කර ගැනීමේ වටිනා කම පෙන්වා දීම මෙම ලිපියේ අරමුනයි. ඔබ යම් රෝගී තත්වයකින් පෙලෙනවානම් වෛද්‍ය වරයෙකු ගේ උපදෙස් මත ක්‍රියා කරන්න.