අමිහිරි අත්දැකීමක් මතකයෙන් ඉවත් කරන්නේ කොහොමද?
Yashodha Jayalath
May 29, 2021

යහපැවැත්ම ගැන කතා කිරීමේදී මානසික යහපැවැත්ම නොහොත් සිතේ සතුට ගැන කතා නොකරම බැහැ. අපි කායික වශයෙන් කෙතරම් නිරෝගී වුවද අපේ හිත සතුටින් නොමැතිනම් අපි හොඳ ශරීර සෞඛ්‍යකින් ජිවත්වන බව අපට කියන්නට බැහැ. අපේ සිතේ සතුට නැති වන එක හේතුවක් වන්නේ අමිහිරි මතකයන් ය. අපි මේ වන විට කෙතරම් හොඳින් ජිවත් වුවද ඇතැම් විට අතීතයේ සිදු වූ අමිහිරි අත්දැකීමක් අපගේ සිත යටට වී විටින් විට අපට පිඩා කරන්නට පුළුවනි. මෙවන් අමිහිරි අත්දැකීම් අපගේ සිතින් ඉවත් කොට සිත සතුටින් තබා ගැනීමේ ක්‍රම ශිල්ප කිහිපයක් පිලිබදව මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කෙරෙයි.
- පළමුව ඔබට එම අමිහිරි අත්දැකීම මතක් කරවන ස්ථාන වලින් සහ දේවල් වලින් ඇතැම් විට පුද්ගලයින්ගෙන් ඉවත් විය යුතුය. නමුත් ඇතැම් විට එසේ දේවල් තම ජිවිතයෙන් ඉවත් කිරීමට අපහසුයි නම්, එම මතකයේ බලය (power), නැතිනම් තිව්රතාවය අඩු වන තුරු ඒ ගැන හොදින් මෙනෙහි කරන්න. අපි අමිහිරි මතකයක් සිතෙන් යටපත් කරන්නට වැයම් කරනවිට එහි ප්‍රබලතාවය තවත් වැඩි වේ. මේ නිසා එහි ප්‍රබල බව අඩු කිරීමට එය සිතෙන් යටපත් නොකර එය හොදින් මෙනෙහි කිරීම කල යුතුය. මෙහි දී වද වීම (worrying)නොකල යුතුය. සිද්ධියට අදාළ කාරනා සහ එවන් දෙයක් සිදු නොවීමට කල හැකි දේවල් ඉගෙන ගත යුතුය. සිතට වේදනාවක් ගෙන දෙන මතකයක් වුවත් මෙසේ මෙනෙහි කරන විට එය වේදනාවක් නැති, “මතකයක් පමණක්” බවට පත් වේ. සිතට බරක් ලෙස මෙම මතකය දැනේ නම් ව්‍යායාමයක් කිරීම වැනි දෙයක් මගින් එහි බර අඩු කර ගත හැකිය.
- මෙහිදී ඔබ කල්පනා කල යුතු දෙයක් වන්නේ, ඔබට අමිහිරි අත්දැකීමක් ලබා දුන් සිද්ධිය දැන් අවසන් වී ඇති බවය. ඔබට කවුරුන් හෝ සිනාසුනේද, ඔබට නරක ලෙස සලකුවේද, ඔබ අනතුරකට මුහුණ දුන්නේද දැන් එය අතීතයට අයත් දෙයකි. ඉන් තවදුරටත් ඔබට සම්බන්ධයක් නැත. ඔබ එය මතකයේ තබා ගෙන සිටීම නිසයි තවමත් ඔබට ඉන් බලපෑමක් තිබෙන බව සිතෙන්නේ.
- ඇතැම් විටෙක මෙලෙස පැරණි අමිහිරි අත්දැකීමක් පිළිබදව සිතා මතා සිතීම අසහනකාරී හැඟීමක් ගෙන දෙනවා. මෙහිදී ඔබ මෙම මතකය අවධි කරමින් ඊට අදාලව ඔබගේ සිතෙහි ඇතිවන ස්වභාවය නිරීක්ෂණය කරන්න. ඔබට දැනෙනවානම්, මෙසේ මතකය ඔබගේ කැමැත්තෙන්ම අවධි කිරීමේදී පවා එම මතකයට ඔබට රිදවීමේ බලය තවමත් තිබෙන බව, ඔබ වෙනස් ක්‍රමයක් අනුගමනය කල යුතුය.
- මතකය වෙනස් කිරීමට උත්සහ ගන්න. අපි යම් මතකයක් මෙනෙහි කරන සැම විටක දීම එම මතකය සුළු වශයෙන් වෙනස් වීමකට ලක් වෙයි. අපට දේවල් අංගසම්පුර්නව මතක්කර ගත නොහැකිය. අපගේ මතකයේ තැනින් තැන හිදැස් පවතියි. මේ හිදැස් අපගේ මොලය විසින් සත්‍ය නොවන කරුණු වලින්(false information) පුරවා සම්පුර්ණ මතකයක් ලෙස අපට ඉදිරිපත් කරනවා. සත්‍ය අත්දැකීමට වඩා අපගේ මතකය කාලයත් සමග වෙනස් වන්නේ මේ නිසයි. මෙය අපට නොදැනීම සිදු වෙන දෙයකි. මොලයේ මෙම ක්‍රියාව අපට ප්‍රයෝජනවත් කර ගත හැකිය. අපි විසින් අපගේ මතකය මෙනෙහි කරන විට යහපත් කරුණු වලින් අපගේ මතකය වෙනස් කරන්නට පුළුවනි. අවසානයේදී අපට ඉතුරු වන්නේ අප විසින් වෙනස් කරනලද යහපත් මතකයයි.
- අපගේ මොලය තරමක් ඍන පැත්තට බරය. ධනාත්මකව සිතීම තරමක් අපහසු වන්නේ මේ නිසයි. ජිවිත කාලය පුරාම ඇති යහපත් මතකයන් අභිබවා අමිහිරි මතකයන් සිතේ රජ කරන්නේ මේ නිසයි. ඔබට දැනෙනවානම් ඔබත් මෙසේ ඍණාත්මක මතකයන් වල එල්බ සිටින කාලය වැඩි බව, ඔබට හිත මතා යහපත් මතකයන් වලට මාරු වී ඒවා මෙනෙහි කරන්නට පුළුවනි. මේ සදහා ඔබව සතුටට පත් කල මතකයන් කිහිපයක් highlight කොට තබා ගන්න. ඔබ ජිවිතයේ වැඩිපුරම සතුටු වූ දින මෙනෙහි කරන්න පුළුවනි. ඔබට යහපත් මතකයන් රැගෙන ආ පුද්ගලයින්ව මතක් කරන්න. ඔබගේ සුරතලුන්, ඔබ යාළුවන් සමග කෙළිදෙලෙන් ගත කල දිනයන් විශේෂයෙන් මතක තබා ගන්න. නරක මතකය අවධි වන විටම මෙමෙ යහපත් මතකය මෙනෙහි කරන්න. ඔබට පුලුවන්නම් එම අවස්ථාවල ජයාරූප ඔබට හොදින් අස ගැටෙන තැන වල ප්‍රදර්ශනය කොට තබන්න. ඒවා නිතරම අනෙක් අයට පවසන්න. ඔවුන් සමගද ඒ සතුට විදිමින් එම යහපත් මතකය අලුත් කර ගන්න.
- වර්තමානය තුල ජිවත්වන්න පුරුදු වන්න. මෙය බුදුදහමේද පෙන්වා දෙන වටිනා උපදෙසකි. මෙම මොහොත තුල සිහියෙන් ජිවත් වීමට හැකිනම් ඔබ බොහෝ අමිහිරි අත්දැකීම් වලින් බේරෙනු අත. සියලු දෙයෙහි අනිත්‍ය දකින්න. ඔබගේ මතකයන් පවා අනිත්‍ය වේ. අප ජිවත්වන මෙම සුළු කාලය තුල මෙම අමිහිරි මතකයන් හා පොර බැදිම කිසිදු තේරුමක් නැති වැඩක් බව දකින්න. ඒ නිසා එම මතකයන්ට ඔබෙන් ඈතට යන්න ඉඩ දෙන්න.
- සිහිය පවත්වා ගැනීම අපට අපහසු වී ඇත්තේ අප අපගේ මනසට ඉබාගාතේ යන්න ඉඩ දෙන නිසයි. එසේ මනසට ඉබාගාතේ යන්න නොදී එම මොහොත විදින්න. නිශ්ශබ්දව සිටිමින් ඔබගේ හුස්මට කන් දෙන්න, ඔබට දැනෙන ගඳ සුවද විදින්න. සුළගේ හඬ අසන්න. කිසිවක් නොසිතා ඔහේ නමුත් සිහියෙන් සිටින්න කාලය වෙන් කර ගන්න.
- ඔබගේ සිත පාලනයෙන් තොර වන විට මන්තරයක් ලෙස භාවිත කල හැකි යම් වාක්‍යයකට හුරු වන්න. ඔබ බුදුදහම අදහන්නේ නම් බුදුගුණ අනන්තයි! ලෙස සිතෙන් සිතන්න පුළුවන්. එසේ නොමැතිනම් සියලු සත්වයින් සුවපත් වේවා ලෙස සිතන්න පුළුවන්. එහෙමත් නොමැතිනම් සියලු දෙනාට යහපතක්ම වේවා, මම හොදින් සිටිමි! ආදී යහපත් දේවල් කෙරෙහිම සිතන්න.
- අලුතින් යහපත් මතකයන් වැඩි කර ගන්න, එසේම කිසිම දෙයකට ඇලීමක් - ගැටීමක් තියා ගන්න එපා. එවිට ඔබට තව තව මිහිරි මතකයන් රැස් වේවි. ඔබව සතුටට පත් කරන මිනිසුන් සමග වැඩි පුර කාලය ගත කරන්න. ඔබ ගැන ඇතැමුන් බොරු කතා ගොතමින් ඕප දුප කියවයි නම් ඒවාට අවධානය දෙන්න එපා. ඔබ වටා සිටින ඇතැමුන් ඔබ ගැන පැතිරෙන බොරු කතා පිළිගනීවි. ඒ ගැන දුක්වෙන්න එපා. බුද්ධිමත් අය එසේ තමන්ගේ කනට ඇසෙන සැම දෙයක් ම ඇත්ත ලෙස පිළිගන්නේ නැත. ඔබට ආදරය කරන්නන් ඒවා පිළිගන්නේද නැත. ඒවා පිළිගන්නේ ඔබ වැටෙනවා දකින්නට කැමති අය නිසා ඔවුන් ඔබගේ ජිවිතයෙන් අයින් කරන්න දෙවරක් නොසිතන්න. නමුත් කාටවත් වෛර කරන්නත් එපා, හොදින් සතුටින් ජිවත් වන්න.
- කාර්ය බහුල ජිවිතයක් ගත කරන්න. අලුත් විනෝදාංශ වලට යොමු වන්න. ව්‍යායාම කරන්න පටන් ගන්න. මෙමගින් ඔබගේ මොලය උත්තේජනය වනවා. ඔබගේ ජීවිතය තව ඉදිරියට ගෙන යාමේ ශක්තිය ඇති වන්නේ එවිටය. ඔබගේ උදව් අවශ්‍ය පුද්ගලයන්ට ඔබගේ සහය ලබා දෙන්න. අසරණ මිනිසුන්ට උදව් කරන්න. මෙමගින් ඔබගේ පුණ්‍ය ශක්තියත් වැඩි වෙනවා. ඔබගේ පින වැඩි වනව්ට ඔබගේ ධනාත්මක ශක්තිය අවදි වී ඔබව යහපත් මාර්ගයක රැගෙන යනවා. ඔබගේ රැකියාව හොදින් කරන්න. ඔබගේ වගකීම් සහ යුතුකම් හොදින් ඉටු කරන්න. මෙමගින් ඔබව යහපත් පුද්ගලයෙකු බවට පත් වනවා.
- ඔබගේ අමිහිරි අත්දැකීම් දුරු කරන්න යයි සිතා මත්ද්‍රව්‍ය හෝ මත් පැන් භාවිතා කරන්නට එපා. මධ්‍යසාර වලට ඔබගේ වේදනාව තව වැඩි කරන්නට හැකියාව තිබෙනවා. තව තවත් විශාදිය තත්වය වැඩි වන නිසා ඔබට පිහිටක් ලැබෙන්නේ නැහැ. ඔබ නිතර මත් පැන් භාවිත නොකරන අයෙක් විය හැකිය. නමුත් ඔබගේ අමිහිරි අත්දැකීම් අමතක කරන්න යයි සිත ඔබ මත්පැන් භාවිතා කරන විට ඔබ ඊට ඇබ්බැහි වන්නට විශාල හැකියාවක් තිබෙනවා. මත් පැන් පමණක් නොව ඇතැමුන් තම මනස වෙනතකට හැරවීමේ අරමුණින් සුදුව, ආහාර වැඩි පුර අනුබව කිරීම්, ගණිකාවන් ආශ්‍රය කිරීම ආදී දේවල් වලට යොමු වනවා. මෙයින් තත්වය තවත් නරක අතට හැරෙන නිසා එවන් දෙයට යොමු වෙන්න එපා.
- ඔබට සහයෝගය අවශ්‍යයයි නම් සුදුසුකම් ලද මනෝවිද්‍යා උපදේශක වරෙයෙකු හෝ වෛද්‍යවරයෙකු හමු වන්න පසු බට වන්න එපා.
- ඔබ අමිහිරි මතකයක් තුල ජිවත් වන විට ඔබට ඔබ ගැන සැලකිලිමත් වීමට අමතක වනවා. මේ නිසා නිරෝගිව ජිවත් වීමට අවශ්‍ය කරන සියලු දේ පිලිබදව සැලකිලිමත් වන්න. පිරිසිදු ඇදුම් අදින්න. සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ගන්න. ඔබ ජිවත් වෙන වටපිට ද සුන්දරව තබා ගන්න. මියුරු සංගීතයකට සවන් දෙන්න. ඔබට හොදින් සිටීමට හැකි සේම දෙයක් ම කරන්න.
- ඔබට හිතට බරක්ව තිබෙන අමිහිරි අත්දැකීම විස්තර ඇතිව තනිවම පවසන්න. (හිතෙන නොව, හඬ නගා) හැකි නම් අඩන්න, බනින්න ඕනේ නම් තනිවම බනින්න. අදාල පුද්ගලයා ඔබේ ඉදිරියේ සිටින බව මවා ගෙන කියන්න තියෙන හැම දේම කියල බනින්න(ඇත්තටම නොවෙයි) එම පීඩනය ඔබේ හිතෙන් ඉවත් කරන්න. හිත සැහැල්ලු කරගන්න.
- මයිත්‍රී භාවනාව මෙනෙහි කරන්න.